brand logo
logo
ඩෙංගු දත්ත පද්ධතියටත් උණ ගනී

ඩෙංගු දත්ත පද්ධතියටත් උණ ගනී

26 June 2026 | •ශිරාන් රණසිංහ

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත පද්ධතිය ඊයේ (25 වැනිදා) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී යාමෙන් දත්ත යාවත්කාලීන කිරීම මුළුමනින්ම ඇනහිට ඇත. බලාපොරොත්තු නොවූ පරිදි විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තාවීම හේතුවෙන් දත්ත පද්ධතිය මෙලෙස අක්‍රිය වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ‘අරුණ’ට පැවැසීය.


ජුනි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 14,446ක් වාර්තා වූ අතර ඉකුත් සඳුදා (22 වැනිදා) දිනය තුළ ඩෙංගු රෝගීන් 1069ක් වාර්තා විය.

මීට අමතරව ඉකුත් සති දෙකක පමණ සිට මෙරටින් දිනකට හමුවන ඩෙංගු රෝගීන් ගණන 500 ඉක්මවා යමින් දෛනිකව 750ත් 1000ත් අතර ප්‍රමාණයක් හමුවීය. රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග දත්ත පද්ධතියේ ධාරිතාව ඊට ඔරොත්තු නොදීම මෙම බිඳ වැටීමට හේතුවී ඇත.


ඊයේ (25 වැනිදා) පෙරවරුව වන විට ඩෙංගු රෝගීන් 49,000ක් වාර්තා වී තිබිණි.


ඩෙංගු රෝගීන් දත්ත එක්රැස් කරන පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් ඊයේ (25 වැනිදා) සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලින් දත්ත යාවත්කාලීන කිරීමට නොහැකි වූ බවද වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේය.


මෙම පද්ධතිය තවත් පුළුල් කළ යුතුව ඇතැයිද තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට එම කටයුතු භාරදී ඇතැයිද ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය හමුවේ අද (26 වැනිදා) ඩෙංගු දත්ත යාවත්කාලීන කිරීම පමාවීමට ඉඩ ඇත.

 

More News..