brand logo
logo
පොසොන් සතියේදී අනුරපුරයට ටොන් 650ක කසළ

පොසොන් සතියේදී අනුරපුරයට ටොන් 650ක කසළ

04 July 2026 | සාලිය කුමාර ගුණසේකර

පොසොන් සතියේදී අනුරාධපුර පූජා භූමිය සහ නගර ප්‍රදේශය තුළ මෙට්‍රික් ටොන් 650ක පමණ කැළි කසළ එකතු වී තිබූ බව අනුරාධපුර මහ නගර සභාව සඳහන් කරයි.


අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශය තුළ සාමාන්‍යයෙන් දිනකට එකතු වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35කි. තවද පොසොන් සතිය තුළ එකතු වූ අපද්‍රව්‍ය අතරින් වැඩි ප්‍රමාණයක් ආහාර අපද්‍රව්‍ය බව පැවසේ.


අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑය ආශ්‍රිතව දන්සල් කලාප තිබූ අතර දන්සල් පනහකට අධික සංඛ්‍යාවක් එහි පැවැති බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත ප්‍රකාශ කළේය. එම දන්සල්වලින් ලබාදුන් බත්, පාන්, කිරිබත් හා කඩල වැනි ආහාර බැතිමතුන් විසින් ආහාරයට නොගෙන මෙලෙස ඉවතලා තිබූ බව මහ නගර සභා සේවකයෝ පැවසූහ.

තවද දන්සල්වලින් ලබාදුන් ආහාර ඇතැම් බැතිමතුන් විසින් අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියවලද දමා ගොස් තිබූ බව දුම්රිය සේවකයෝ ප්‍රකාශ කළහ.


ඉකුත් 27 වැනිදා සිට ක්‍රියාත්මක වූ පොසොන් සතිය තුළ අනුරාධපුර පුදබිමට ලක්ෂ දහයකට ආසන්න ජනකායක් පැමිණෙතැයි අනුමාන කළද මෙවර පැමිණ ඇත්තේ ඊට වඩා අඩු පිරිසක් බව අනුරාධපුර පොලිසිය සඳහන් කළේය.

 

More News..