brand logo
logo
මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළේ කටුවැල්ලේගම සුරේෂ් - පොලිසියට සැකයක්

මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළේ කටුවැල්ලේගම සුරේෂ් - පොලිසියට සැකයක්

07 July 2026 | අනීෂා මානගේ / රේමන් අපොන්සු - මීගමුව


මීගමුව බන්ධනාගාරය ඊයේ (6 වැනිදා) එකම යුද පිටියක් බවට පත්විය. එය පරාද වූයේ එල්.ටී.ටී.ඊ. යුද සමයේ උතුරේ වූ යුද මෙහෙයුමකට පමණක් බව කීම අතිශොක්තියක් නොවේ. එහෙත් මෙදා මීගමුව බන්ධනාගාරය යුද පිටියක් බවට පත්වූයේ ත්‍රස්තවාදීන් නිසා නොව බන්ධනාගාර රැඳවූවන් හේතුවෙනි.


මේ බන්ධනාගාර යුද්ධය ආරම්භ වූයේ ඊයේ (6 වැනිදා) නොවේ පෙරේදා (5 වැනිදා) පස්වරුවේය. එයට හේතු වූ බව කියැවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවා දුන්නැයි කියන සිද්ධියකි. මේ මත්ද්‍රව්‍ය සිද්ධියට නම ගෑවී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා​ගේය. ඔහු ද සිට ඇත්තේ මීගමුව බන්ධනාගාරයේය. ආයුධවලින් පහරදීම්, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඔහුට තිබූ බව පොලිසිය කියයි.


මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලට තටු ලැබී පෙරේදා (5 වැනිදා) රාත්‍රිය වන විට මීගමුව බන්ධනාගාරය ඇතුළේ තැන තැන ගාලගෝට්ටි හට ගත්තේය. පිරිසක් බන්ධනාගාර රෝහලට පැන ඖෂධ පැහැර ගත්හ. කාන්තා රැඳවියෝ පිරිසක් වහලයක් මතට නැග්ගෝය. එක් කාන්තාවක් වෙද නලාවක් ද කරෙහි දමාගෙන කෑ ගැසුවාය. මහා පිරිසක් එකවර වහල මතට නැගීමෙන් බර දරාගත නොහැකි වූ වහලයක් කඩා වැටිණි. ඉන් රැඳවියන් සිව් දෙනකු තුවාල සිදුවිය. ගහමරාගත් තවත් තිහක පමණ පිරිසක් රෝහල්ගත කෙරිණි. බරපතළ තුවාල ලැබූ රැඳවූවෝ දෙදෙනෙක් මියගියහ. කෙසේ නමුදු බන්ධනාගාර නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව මේ පිරිස තරමක් පාලනය කරන්නට සමත්වුණේ පෙරේදා (5 වැනිදා) රාත්‍රිය වනවිටදීය.


ඊයේ (6 වැනිදා) උදෑසන අඳුර පහව යන වේලාව වනවිට කිසිදු ගාලගෝට්ටියක් බන්ධනාගාරය ඇතුළේ තිබුණේ නැත. එහෙත් අළු යට සැඟවුණු ගිනි පුපුරු තැනින් තැන පත්තු වෙමින් තිබූ බව බන්ධනාගාර නිලධාරින් හෝ දැන සිටියේ නැත. නිලධාරින් නොදැන සිටියාට බන්ධනාගාරය ඇතුළේ වෙනම සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිණි. කෙසේ වුවත් බන්ධනාගාර නිලධාරිහු තැනට සුදුසු නුවණ පාවිච්චි කළහ. කොයි මොහොතකදී හෝ යළිදු වාරයක් බන්ධනාගාරය ඇතුළෙන් ගැටුමක් හටගනීවි යැයි සිතූ ඔවුහු බන්ධනාගාර ආයුධ ගබඩාවේ වූ ආයුධ පෙරේදා (5 වැනිදා)ම ඉවත් කර ගත්හ.


මේ අතර බන්ධනාගාර රැඳවූවන්ට උදෑසන ආහාරවේල දෙන වේලාව පැමිණියේය. යළිදු වාරයක් රැඳවූවන් එකිකො මරාගන්නට පටන් ගත්තේ ඒ මොහොතේය. මේ ආරවුල පාලනය කරන්නට බන්ධනාගාර නිලධාරින්ට ද මැදිහත් වෙන්න සිද්ධ විය. එහෙත් රැඳවූවන් කළේ නිලධාරින් සමග ද ආරෝවක් ඇතිකර ගැනීමය. ඒ ආරෝව ක්‍රමයෙන් දුර දිග ගියේය. පසුව එය පහරදීමක් බවට ද පෙරලිණි. නිලධාරින් කිහිප දෙනකු අල්ලාගත් බන්ධනාගාර රැඳවියෝ දරුණු විදියට ඔවුනට පහර දුන්හ. ගැටුම වැළැක්වීමට උත්සාහ ගත් බන්ධනාගාර නිලධාරිහු බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණියහ. නිලධාරින් පසුපස හඹා ආ රැඳවූවෝ බන්ධනාගාර දොරටුව අසලදී ද නිලධාරින්ට පහර දුන්හ. එපමණක් නොව දොරටුව කඩා පිටතට එන්නට ද උත්සාහ කළහ. තවත් පිරිසක් ශරීර සුවතා මධ්‍යස්ථානයට ඇතුළු වී එහි තිබූ යකඩයෙන් තැනූ ද්‍රව්‍ය පැහැරගත්හ. ඒවායින් ගහ මරාගන්නට පටන් ගත්හ. මේ පොලිසිය පැත්තෙන් සිද්ධිය ගැන කියැවෙන කතාවය.


කිසිදු ආකාරයකින් හෝ බන්ධනාගාරය ඇතුළේ වූ යුද පිටිය පාලනය කරන්නට බන්ධනාගාර නිලධාරින්ට නොහැකි විය. පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, කැරළි මර්දන ඒකකය, ගුවන් හමුදාව සහ පොලිසිය කැඳවණු ලැබුවේ ඒ හේතුවෙනි. මේ අතර උද්ගත වූ තත්ත්වය පාලනය කරන්නට ආරක්ෂක අංශවලට ද මැදිහත් වීමට සිදුවිය. බන්ධනාගාර රැඳවූවෝ උළු කැට, යකඩ බට ආදිය බන්ධනාගාර තාප්පයට ඉහළින් පිටතට දමා නිලධාරින්ට පහර දෙන්නට උත්සාහ කළහ. තවත් පිරිසක් බන්ධනාගාරය තුළ සිරමැදිරි විවෘත කර ගැටුමට විරුද්ධ රැඳවූවන් සමග ද තව තවත් ගැටුම් ඇතිකරගෙන තිබිණි.


කෙසේ නමුදු රටෙහි පවතින නීතියට අනුව ආයුධ රැගෙන පොලිස් විශේෂ කාර්ය බළකාය, හමුදාව හෝ පොලිසියට බන්ධනාගාරයට ඇතුළු විය නොහැක. බන්ධනාගාර නිලධාරින්ගේ සහායට ගියද පිරිස පාලනය කළ හැක්කේ බැටන් පොලුවලින් පමණි. යම් හෙයකින් ආයුධයක් භාවිත කරන්නේ නම් ඊට අවසර ඇත්තේ බන්ධනාගාර නිලධාරින්ට පමණි.


එනමුදු බන්ධනාගාර නිලධාරින් ඇතුළු වී මද වේලාවකට පසුව බන්ධනාගාරය ඇතුළෙන් වෙඩි පිට වෙඩි සද්ද ඇහෙන්නට විය. බන්ධනාගාර රැඳවූවන්ට සේම බන්ධනාගාර නිලධාරින්ට ද ඉන් තුවාල සිදුව තිබේ.


මේ අතර බන්ධනාගාර යුද්ධයට මැදිවූ රැඳවූවෝ හා බන්ධනාගාර නිලධාරිහූ ඇතුළු විසි හය දෙනෙක් දිවි හැර යන්නට සිද්ධ වූහ. මෙය ඉතිහාසයේ මතක ඇති කාලයකට බන්ධනාගාර ගැටුමකින් මිය ගිය වැඩිම පිරිසය. බන්ධනාගාරයක වූ ගැටුමකින් බන්ධනාගාර නිලධාරින් හත් දෙනකුටම දිවි අහිමි වූ ප්‍රථම අවස්ථාවද මෙය වනු ඇති බවට සැක නැත. මියගිය ජෙෂ්ඨ නිලධාරින්ගේ නිසල දේහයන් බන්ධනාගාර දොරටුවෙන් පිටතට රැගෙන එද්දි කනිෂ්ඨ නිලධාරිහු හඬා වැටුණහ.


ජේලර් එස්.එච්.එස්.චන්ද්‍රවංශ, ජෙෂ්ඨ නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩී.තරංග, ටී.එන්.ආර්. තිලකසිරි සහ බී.එන්.එන් තරංග යන නිලධාරිහු මියගිය අය අතර සිටින බව පොලිසිය සඳහන් කරයි.


ජේලර් චන්ද්‍රවංශ යනු කියන්නේ බන්ධනාගාර නිලධාරින්ට සරඹ සන්දර්ශන පුහුණුවීම් කරන ප්‍රධාන උපදේශකයාය. අනෙක් නිලධාරින් සේවය කර ඇත්තේ ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බළකායේය. බන්ධනාගාර රැඳවූවන්ට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය ඇතුළට රැගෙන යන්නට මේ නිලධාරින්ගෙන් පහසු වෙන්නේ නැත. රැඳවූවන් පමණක් නොව රැඳවූවන්ගේ ඥාතීන් පවා ප්‍රධාන ගේට්ටුව අසලදී පරීක්ෂා කරනවා යැයි කියන්නේ මේ නිලධාරින් විසිනි.


බන්ධනාගාරය ඇතුළේ යුද්ධය අහවර වෙද්දි තවත් යුද්ධයක් බන්ධනාගාරයට පිටතින් දළු ලා වැඩිණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් නිසාය. දෙදහසක පමණ පිරිසක් බන්ධනාගාරය අසලට එක්ව සිටියහ. සිද්ධිය කන වැකුනු වහාම ඔවුහු බන්ධනාගාරය වටකළහ. වියරු වැටුණු ඔවුහු ආරක්ෂක මුරපොලු කඩාගෙන බන්ධනාගාරය ඇතුළට යන්නට උත්සාහ කළහ. ඔවුනට වුවමනා වී තිබුණේ බන්ධනාගාරය ඇතුළේ ගාලගෝට්ටියෙන් තමන්ගේ ඥාතියාට හානියක් වී ඇත්දැයි සොයාබැලීමය. ගැටුමින් පිරිසක් මියගියැයි කීවද ඒ කවුදැයි දැනගන්නට මේ පිරිසට කිසිදු හැකියාවක් නොතිබිණි. ඒත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවීය. තත්ත්වය පාලනය කරනවා මිසක රැඳවූවන්ගේ ඥාතීන්ට තතු කියන්නට ආරක්ෂක නිලධාරින්ට ද මේ වේලාවේ හැකියාවක් තිබුණේ නැති බව සැබෑය.


“ඇයි රටේ පාලකයන්ට කතා කරන්න බැරි. කොන්ද පණ නැද්ද? ඡන්දෙ ගන්නකොට නම් හිඟා කෑවා. අපේ ධීවර ඡන්ද නැත්නම් ඔය කිසිම කෙනෙක්ට එන්න හම්බවෙන්නෙ නෑ..... ” වියරු වැටුණු රැඳවූවකුගේ ඥාතියෙක් බන්ධනාගාරය ඉදිරිපිට සිට කෑමොර දුන්නේය.


ඊයේ (6 වැනිදා) පස්වරුව වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ළඟම පිහිටි වෙනත් බන්ධනාගාරවලට රැගෙන යාමටය. ඊයේ (6 වැනිදා) පස්වරුව වන විට රැඳවූවන් හයසිය හැත්තෑ පස් දෙනකු පල්ලන්සේන සහ දුම්බර සිරකඳවුරුවලට රැගෙන ගොස් තිබුණේය. මේ රැඳවියන් බන්ධනාගාර බසයෙන් රැගෙන එනතුරු ඔවුන්ගේ ඥාතීහු බන්ධනාගාරය ඉදිරිපිටට වී මග බලා සිටියහ. කෙසේ හෝ සිය ඥාතීන් දැකබලා ගැනීම ඔවුන්ගේ වුවමනාව විය. පිරිස මග බලා සිටියදී බන්ධනාගාර නිලධාරින් කළේ රැඳවූවන් වෙනත් මඟකින් රැගෙන යාමය. මේ බව දැනගත් පිරිස කුපිත වී බන්ධනාගාර බස් පසුපස පැන්නූහ.


මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් රැඳවූවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ පමණ ඉක්මවා රැඳවියන් රඳවා තිබීම හේතුවෙන් ගැටුම පාලනය කිරීමට නොහැකි වූ බවයි. මීගමුව බන්ධනාගාරයේ කෙටි කාලීන සිරකරුවන්, රිමාන්ඩ් සිරකරුවන් ඇතුළුව දෙදහස් හාරසීයක පිරිසක් ඊයේ (6 වැනිදා) වනවිට රඳවා තිබිණි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන හැටියට එහි සාමාන්‍ය ධාරිතාව නවසීයක් පමණි.


මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සිය පුතා ගැන කිසිදු තොරතුරක් නොදත් මාදම්පේ පදිංචි මොහොමඩ් සාජහාන් ද මේ බව තහවුරු කළේය. ඔහු මෙසේ කීවේය.


“මගේ 21 හැවිරිදි පුතා ඉන්නෙ ඇතුළේ. සති දෙකකට කලින් පුතාව මට හමුවුණා. තුන්දහස් දෙසීයක් ඇතුළේ ඉන්නවලු. සැමන් පැක් කරලා වගේලු ඉන්නේ. එක්කෙනෙක්ගෙ කකුල ළඟින්ලු අනිත් කෙනාගෙ මූණ තියෙන්නේ. ඇතුළෙ ඉන්න බෑ කියලා කොල්ලා ඇඬුවා. තාත්තේ මාව ගන්න කිව්වා. දැන් අපිට කිසිම තොරතුරක් කියන්නෙත් නැහැ. මගෙ පුතාව මරල දැම්මත් එච්චරයි. පස්සෙ එන්න කියලයි කියන්නේ. සල්ලි දෙනකල් විතරයි ඇතුළෙ වැඩ වෙන්නේ..... ”


බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටින පිරිස අතරේ නාත්තන්ඩියේ පදිංචි නන්දනී ද සිටියාය. ඇගේ පුතුන් දෙදෙනාම සිට ඇත්තේ මීගමුව බන්ධනාගාරයේය. ඇගේ බාල පුතු වන ගයාන් සම්පත් බන්ධනාගාර ගැටුමෙන් පෙරේදා (5 වැනිදා) ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ නිසල දේහය මීගමුව රෝහලේ තිබියදී නන්දනී සිය වැඩිමහල් පුතු වෙනුවෙන් බන්ධනාගාරය ඉදිරිපිට කඳුළු සලමින් උන්නාය.


“මගේ පොඩි පුතා ගයියා කිව්වාම ඇතුළෙ හැමෝම දන්නවා. මගෙ පුතා කෑම පෝලිමේ යද්දි ඔලුවට පොලුවලින් ගහලා. තහඩුකෑලිවලින් කපලා ඇස් ගලවලා. මූණ කපලා කරන්න පුළුවන් හිංසන ඔක්කොම කරලා මරල දාලා. මහ ලොකුවට කියනවා මේවා ආරක්ෂිත තැන් කියලා. ආරක්ෂිත තැන්වල මෙහෙම වෙනවද? මාරවිල පොලිසියෙන් පනස්හතර ගහලා මෙහෙට ගෙනත් දැම්මා. මගේ තව පුතෙක් ඇතුළෙ ඉන්නවා. එයාගෙ ජීවිතේවත් බේරගන්න ඉල්ලුවට දෙන්නෙ නෑ මට....” නන්දනී කියන්නීය.


සිය බාල පුතු ගැන විස්සෝප වී සිටින මිනුවන්ගොඩ පදිංචි කේ. ඒ.චන්ද්‍රලතා ද මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට කදුළු සලමින් සිටියාය. ඇය අපට මෙසේ කීවාය.


“අම්මේ මෙතැන ඉන්න බෑ මාව එළියට ගන්න කියල පුතා කිව්වා. ගෙවල්වල හිටියත් පාරෙ යද්දි වුණත් මගෙ දරුවා අල්ලගෙන යනවා. දරුවට මොකද වුණේ කියලා කිසිම ආංචියක් දන්නෙ නෑ. පෙරේදා රෑ එකේ ඉඳන් පාරටවෙලා විස්තරයක් හොයාගන්න අපි දඟලනවා. මේ කිසිම කෙනෙක්ට තොරතුරක් දෙන්න කිසිම වුවමනාවක් නෑ. ඇතුළේ ඉන්න අයට වතුර ටිකක්වත් නෑ කියනවා. දඩිබිඩි ගාලා වෙඩි නම් තියලා. කාට වෙඩි තිබ්බද දන්නෙ නැහැ.... ”


බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අතර කථන ආබාධයකින් පෙලුණු මවක් ද සිටියාය. වර්ණකුලසූරිය නදීමා ශිරෝමි වන ඈ කෑ ගසමින් පොලිස් නිලධාරින්ට විරෝධය පෑවේ බිම ඉඳගෙනය. ඇය පැමිණ සිටියේ සිය පුතු ගැන තොරතුරක් දැන ගන්නටය.


බන්ධනාගාර ගැටුම පාලනය කිරීමට වෙඩි ප්‍රහාර එල්ල කිරීම ගැන රැඳවූවන්ගේ ඥාතීන්ගෙන් එල්ල වූයේ බොහෝ විරෝධතා ය. 2020 වසරේදී මහර බන්ධනාගාරයේ ගැටුමක් මුල් කරගෙන ආරක්ෂක අංශයේ වෙඩි තැබීම්වලින් රැඳවියන් පිරිසක් මිය යද්දි එකල විපක්ෂයේ උන් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන් එම සිර කඳවුරු තුළම ඝාතනය වෙන්නේ නම් ඔවුන් පිළිබඳ වගකීමක් ආණ්ඩුව නොදරන්නේ නම් වෙන්නේ කුමක්දැයි කියාය.


එදා මහර බන්ධනාගාරයේ සිටියදී බරපතළ තුවාල ලැබූ රැඳවියකුගේ මවකද අපට හමුවිය. එදා තුවාල වූ ඇගේ පුතා අද සිටින්නේ මීගමුව බන්ධනාගාරයේය. ඇය මිනුවන්ගොඩ උක්ගල්ගොඩ පදිංචි ශ්‍රියාණි ය.


“මගේ දරුවගෙ දත් හයක් නෑ. කොරෝනා ලොක්ඩවුන් කාලෙදි මහර බන්ධනාගාරය ඇතුළෙන් ගහලා. එදාත් මම නඩු කිව්වෙ නෑ. මට උදව් කරන්න කාත් කවුරුවත් නැති නිසා. මානව හිමිකම් එකට ලිව්ව නිසා එදා මගේ දරුවා හොයාගත්තා. අදත් මට දරුවා ගැන තොරතුරක් හොයාගන්න විදියක් නෑ. මං අසරණයි. මට පිහිට වෙන්න...” ශ්‍රියාණි කීවේ වැලහින්නියක සේ හඬමිනි. ශ්‍රියාණි මෙන් දහස් ගණනක් මව්වරු, පියවරු ඊයේ (6 වැනිදා) මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට කඳුළු සැලූහ. මිය ගිය රැඳවියන් ගැන කන වැකුණු ඇතැම්හු බන්ධනාගාරය ඉදිරිපිට විලාප තැබූහ.


බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම ගැන සොයන්නට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට ඊයේ (6 වැනිදා) පස්වරුව වන විට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ගැටුමට හේතු වූ කරුණු, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ මෙවැනි ප්‍රචණ්ඩකාරි ගැටුම් ඇතිවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ආදිය සෙවීම එම කමිටුව පිහිටුවීමේ අරමුණයි. 

 

More News..