ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට අයත්වීම රටට වාසියක්ද ?
07 July 2026
ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට අයත්වීම රටට වාසියක්ද ?
07 July 2026
ලෝක බැංකුව සෑම වර්ෂයකම ජූලි 1 වැනිදාට ලෝකයේ රටවල ආර්ථිකයන් පිළිබඳ වර්ගීකරණයක් කරයි. මේ අවුරුද්දේ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව, වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය හා මයික්‍රොනීසියාව යන රටවල් ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට ඇතුළත් වී තිබේ. බංකොළොත් රටක් හැටියට බාල්දු වී තිබුණු අපේ වැනි රටකට මේ වර්ගීකරණය වටනේ බව අමුතුවෙන් කියන්නට වුවමනාවක් නැත. එහෙත් මේ අප ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට ඇතුළත් කෙරුණු මුල් වතාව නොවේ. 2022 දී රට ආර්ථික අර්බුදයකට මුහුණ පාන විටද අප සිටියේ ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයේ බව අමතක කළ යුතු නැත. එහෙයින් මෙහි ඇති වාසි මෙන්ම අවාසි පිළිබඳවද ආර්ථිකය පිළිබඳ යමක්කමක් තේරෙන අපේ උදවියට වැටහීමක් තිබේ.
ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට රටක් ඇතුළත් කෙරෙන්නේ එරටේ ආර්ථික ප්‍රගතිය හේතු කොටගෙනය. එය රටකට ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට වැදගත් වන කාරණයකි. ප්‍රායෝගික තලයේදී නම් දැන් මේ රට තිබෙන්නේ ආයෝජකයන් අලුතින් පැමිණෙන රටක තත්ත්වයේ නොව දැනට රටේ සිටින ආයෝජකයන්ද තොග පිටින් රටින් පිටවන පරිසරයකය. නිලධාරිවාදය ඇතුළු විවිධ හේතු ඊට බලපා ඇති අතර ලෝක බැංකු වර්ගීකරණයේ උසස්වීම පමණක් ඒ පසුබිම වෙනස් කිරීමට නොසෑහෙනු ඇත. කෙසේ වුවද පහත වැටී ඇති ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමට මෙන්ම ඉදිරියේ මුහුණ පෑමට සිදුවන විදේශ ණය ආපසු ගෙවීමටද රටට ආයෝජන ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට අයත්වීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන ඒ ඉෂ්ට කරගත යුතුවම තිබෙන්නකි.
ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට අයත්වීමෙන් මුහුණ පාන්නට සිදුවන අවාසි පිළිබඳ අත්දැකීම් ගැන අපි දැනටමත් රටක් හැටියට දැනුවත්ව සිටිමු. මෙහිදී ප්‍රධාන කාරණය වන්නේ දැනට අපේ රටින් යුරෝපා රටවලට අපනයනය කරන භාණ්ඩවලට මෙතෙක් ලැබුණු ජීඑස්පී ප්ලස් වැනි සහන නොලැබී යෑමට ඇති අවස්ථාවයි. ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමේදී සලකා බැලෙන එකම සාධකය ලෝක බැංකු ආර්ථික වර්ගීකරණය නොවීම නිසා අපට ඒ ස්ථිර වශයෙන්ම නොලැබී යනු ඇතැයි කියන්නට නම් බැරිය. එහෙත් ඒ අහිමි වුවහොත් ඉන් සිදුවන ආර්ථික අලාභය නම් විශාලය. එය ලෝක බැංකුවෙන් ලැබුණු ඉහළ වර්ගීකරණයට වඩා වැඩිය.
ජීඑස්පී ප්ලස් මෙන් නොව ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට ලැබුණු උසස්වීම නිසා පැහැදිලිවම රටට අහිමි වන වාසි ගණනාවක් තිබේ. මෙතෙක් ලැබුණු සහන ණය හා ආධාර නොලැබී යෑම අපේ රටට තදින්ම දැනෙනවාට සැක නැත. අලුත් වර්ගීකරණය හේතුවෙන් සහන ණය වෙනුවට අපේ රටට ඉදිරියේදී ලබාගන්නට සිද්ද වන්නේ වාණිජ ණයයි. එක් පැත්තකින් එහි පොලිය වැඩිය. අනෙක් පැත්තෙන් මෙතෙක් ලැබුණු දීර්ඝකාලීන ණය වෙනුවට දැන් ලබාගන්නට සිදුවන්නේ කෙටිකාලීන ණයයි. තවද ජාත්‍යන්තර වෙළෙඳාමේදී තරගකාරී රටක් හැටියට මින් පසු සලකනු ලැබීම නිසා දියුණුවන රටක් හැටියට මෙතෙක් ලැබුණු ජාත්‍යන්තර සහයෝගයද අපට අහිමි වෙනවා ඇත.
මීට කලින් රට ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට ගැනුණු අවස්ථාවේදී රටේ දිළිඳු හා පහළ මධ්‍යම පාංතික ජන කොටස් වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් රටින් පිටවී ගියහ. ඒ ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සේවය ලබා දිය යුතු අඩු ආදායම් රටවල් කරාය. එහෙයින් දැන් අපේ රටේ රැඳී සිටින ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රමාණය අල්ප වී තිබේ. ඉන් ඒ ආයතනවල සහයෝගය ලැබූ විශාල පිරිසක් පැහැදිලිවම අමාරුවට පත්වී තිබේ. ඉතිරි වී තිබෙන රාජ්‍ය නොවන සංවිධානද මේ අවස්ථාවේ රටින් පිටවනු ඇද්දැයි තවම කියන්නට බැරි වුවත් එසේ වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කෙබඳු වනු ඇද්දැයි හිතාගන්නටවත් බැරිය.
මෙසේ වන්නේ අපේ රට ඉහළ මධ්‍යම ආදායම් ප්‍රභේදයට අයත් වුවද රටේ ජනතාව අතර පවතින විෂම ආදායම් ප්‍රභේදය නිසාය. රටේ ආදායමෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් ටිකදෙනෙකු අත පවතිද්දී ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවත්වන්නේ දරිද්‍රතා මට්ටමෙන්ද පහළය. ලෝක බැංකු වර්ගීකරණයේදී ආදායම් බෙදී යෑමේ අසමානතාවය ගණන් නොගැනෙන නිසා අපට ලැබී ඇති උසස්වීමෙන් රටේ බහුතරයක් දෙනාට සිද්දවෙන අවාසිදායක තත්ත්වය උසස්වීම ගැන ඔජ වඩන්නන්ට පෙනෙන්නේ නැත.

