අද තෙල් පෝලිම් ඇතිවිය හැකියි
29 June 2026 | •අශිකා ජයවීර
අද තෙල් පෝලිම් ඇතිවිය හැකියි
29 June 2026 | •අශිකා ජයවීර
කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය ඊයේ (28 වැනිදා) සහ අද (29 වැනිදා) වසා ඇති බැවින් ඉන්ධන ඇණවුම් කිරීමට නොහැකි වීම නිසා පොසොන් පොහොය දිනයේ ඉන්ධන ලබාගැනීමේදී පෝලිම් ඇති විය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේය.
ඉරිදා (28 වැනිදා) සහ සඳුදා (29 වැනිදා) දින දෙක සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා එනම් 27 වැනිදා බවද මෙම සංගමය සඳහන් කළේය.
එදින ඇණවුම් කළ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඊයේ (28 වැනිදා) සවස් කාලය වන විට අවසන්ව තිබෙන බවත් එයට හේතුව පොසොන් සමය උදාවීමත් සමග ජනතාව වැඩි වශයෙන් ගමනාගමන කටයුතුවල නිරතවීම බවත් බෙදුම්කරුවෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක ළඟ දින දෙකක් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමෙන් සිදුවෙන්නේ ඉන්ධන රැස්කිරීම සඳහා අනවශ්‍ය පෝලිම් නිර්මාණය වීම බවත් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව නිසි විසඳුමක් ලබාදී නොමැති බවත් ය.
බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (29 වැනිදා) පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවත් ඒ හේතුවෙන් ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වීමේ ඉඩකඩක් තිබෙන බවත් බෙදුම්කරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළේ ඉන්ධන නිකුත් කිරීම නැවත ආරම්භ වෙන්නේ එළැඹෙන අඟහරුවාදා එනම් 30 වැනිදා සිට බැවින් එදින ද ඉන්ධන ලබාගැනීම සඳහා යම් තදබදයක් ඇතිවිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේගෙන් අප කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ හැම මාසයකම එක ළඟ දින දෙකක් ඉන්ධන නිකුත් නොකරන බවත් එය සාමාන්‍ය සිදුවීමක් පමණක් බවත් ය.
යම් යම් පාර්ශ්ව කුමන දේවල් පැවසුවද ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් ජනතාව කලබල නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

