වසරකට විශ්‍රාමිකයන් විසි දහසක වැඩිවීමක්
29 June 2026 | නිලන්ත මදුරාවල
වසරකට විශ්‍රාමිකයන් විසි දහසක වැඩිවීමක්
29 June 2026 | නිලන්ත මදුරාවල
වසරකට විශ්‍රාමිකයන් විසි දහසක් පමණ පද්ධතියට එකතු වන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පසුගිය දා පැවැති මුදල් කාරක සභාවට දැනුම් දුන්හ.
ඉදිරි වසර පහක පමණ කාලයේ දී රාජ්‍ය සේවකයන් හා සමාන ලෙස විශ්‍රාමික ප්‍රජාව ද වර්ධනය වනු ඇතැයි ද ඔවුහු කීහ.
පසුගිය අයවැයෙන් කළ යෝජනාව අනුව විශ්‍රාම වැටුප් වැඩි වීම සඳහා ඉදිරි වසර දෙකේ දී රුපියල් කෝටි හයදහස බැගින් වෙන් කළ යුතු බවත් ඒ අනුව ලබන වසරට විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි පනස් හය දහස් පන්සියයක් හා ඊළඟ වසරට රුපියල් කෝටි පනස් හය දහස් පන්සිය හැට පහක් ද වෙන් කළ යුතු වන බවත් නිලධාරීහු සඳහන් කළහ.
විශ්‍රාමිකයන් සඳහා වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාව දැඩි අවධානය යොමු කළේය.
දැනට හත් ලක්ෂ විසි දහසක් පමණ වන විශ්‍රාමික සංඛ්‍යාවට වාර්ෂිකව විසි පන් දහසත් තිස් දහසත් අතර සංඛ්‍යාවක් එක් වෙති. වාර්ෂිකව විශ්‍රාමික වැටුප් ගෙවීම් නතර වන්නේ දසදහසක පමණ පිරිසකට ය. ඒ අනුව සාමාන්‍යයෙන් වසරකට විසි දහසක් පමණ පද්ධතියට එකතු වෙති.
මේ හේතුවෙන් අනාගතයේ දී ඇති විය හැකි තත්ත්වය සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.
2004 වසරේ සිට දායකත්ව විශ්‍රාම වැටුපක් ගැන කතා කළ නමුත් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද නිලධාරීහු සඳහන් කළහ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු යැයි ද කී සභාපතිවරයා කාරක සභාවේ නිලධාරීන් දත්ත විශ්ලේෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා දෙන ලෙසත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

