brand logo
logo
තේ කර්මාන්තයට රතු එළියක්

තේ කර්මාන්තයට රතු එළියක්

29 June 2026 | •සුනිල් රූපසිංහ - පල්ලේපොල

තේ රසය ලෝකයම වසගයට ගත් රසයකි. තේ වගාවේ ආරම්භය ක්‍රි.පූ. 2737 දී චීනයේ බව පිළි ගැනේ. ජනප්‍රවාදයට අනුව උණු ජලය පානය කරමින් සිටින චීන අධිරාජ්‍යයා වූ Shennong ගේ කෝප්පයට තේ කොළ කීපයක් වැටී ඒම පානය රස බැලීමෙන් තේ පානය ආරම්භවූවේ යැයි සඳහන් වෙයි.


ශ්‍රී ලංකාවේ තේ වගාව 1867 දී ආරම්භ කර ඇත. ස්කොට්ලන්ත ජාතික වැවිලිකරුවෙකුවූ James Taylor මහනුවර, හේවාහැට,දෙල්ගොඩ Loolec0ndera Estata අක්කර 19ක තේ වගාව වාණිජ වගාවක් ලෙස ආරම්භ කළ බව සඳහන් වෙයි. 1873 වසරේදී මෙරට නිෂ්පාදිත පළමු තේ තොගය බ්‍රිතාන්‍යයට අපනයනය කර ඇති බවත් ඒහි ප්‍රමාණය රාත්තල් 23කි. 1880 දශකයේ මධ්‍යම කදුකරයේ තේ වගාව ව්‍යාප්ත කිරීමත් 1890 දශකයේ තේ අපනයනය වර්ධනයත් සමග තේ වගාව තවදුරටත් ව්‍යාප්ත විය.


ආරම්භක යුගයේදී ශ්‍රී ලංකාවේ තේ බ්‍රිතන්‍ය කීරීටය දැරූ රජවරුන් සඳහා ලී පෙට්ටිවල ඇසුරුම් කර අපනයනය කර ඇති අතර ඒම ලී පෙට්ට අදටත් ඒහි කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. බ්‍රිතාන්‍ය වෙළෙඳපළ මෙරට තේ සඳහා විවෘත වීම ලෝක වෙළෙඳපල සිලෝන් තේ නාමයට විවෘත විය.


අද වන විට ජාත්‍යන්තර වෙළෙඳපළට වාර්ෂිකව නිමි තේ කිලෝ මිලියන 220ක් පමණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරයි. සිලෝන් තේ ලෙස ලෝකය පුරා ජනප්‍රියවූ තේ නාමය ඉහළට ඔසවන්න වෙර වීරිය දරන මිනිසුන්ගේ කථාව නම් තේ රසය මෙන් රසවත් නොවන බව කළ සොයා බැලීමේදී අනාවරණය විණි.

වාර්ෂිකව මෙරට ආර්ථිකයට ඇමරිකන් ඩොලර් බිලියන 1.3 (ඒකයි දශම තුනක) ආදායමක් නිමි තේ අපනයනයෙන් උපයා ගනී. මෙරට සෑම පුරවැසියන්ගේ හිස මත කඩා වැටී තිබෙන දේශීය සහ විදේශීය ණය කන්ද තේ කර්මාන්තය සංවර්ධනය කර දෙවසරකින් ගෙවා දැමිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.


වර්තමානයේදී සමස්ත තේ කර්මාන්තය අතළොස්සක්වූ ධනවතුන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිලෝන් තේ රසය ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළටම යෑමට යොදා ගෙන ඇති බව ප්‍රවීණ තේ උපදේශක/ ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ පැවැසීය.

කුඩා තේ ගොවීන්ද වගාවෙන් ඉවත් වෙමින් සිටින අතර ඇතැම් ගොවීන් තේ ඉඩම් නඩත්තු කිරීමෙන් ඉවත් වෙමින් සිටිති. කුඩා තේ කර්මාන්ත ශාලා වසා දැමීම ආරම්භ කර ඇත. තේ කර්මාන්තය බූදලයක් ලෙස සලකා කටයුතු කරන ධන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස්වරයා විසින් නිර්දේශ කර ඇති මිල තේ දළු කිලෝවක් සඳහා ගෙවීම පැහැර හැර දළු මිලදී ගැනීම බලපා ඇත.


මෙරට සමස්ත තේ වගාව අක්කර ලක්ෂ පහ හමාරකට ආසන්නය. කුඩා තේ වතු ගොවියා සතුව සියයට 35ක්ද සියයට 65ක් සමාගම් ඇතුළු වාණිජ තේ වගාවකරුවන්ට අයත්ය. සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 70ක් කුඩා තේ ගොවීන් විසින් නිෂ්පාදනය කෙරෙන අතර සෙසු වගාකරුවන්ගේ නිෂ්පාදනය සියයට 30කි. කුඩා තේ ගොවීන් ලක්ෂ පහක් පමණද සමස්ත තේ කර්මාන්තයෙන් ලක්ෂ දහයක් පමණ සිය ජීවකරගෙන සිටිති.


නිමි තේ අපනයනයෙන් මාසිකව ඇමරිකන් ඩොලර් මිලියන 110-120 පමණ උපයා ගන්නා අතර ඉන් සියයට 70ක් කුඩා තේ ගොවීන් විසින් ඉැපැයීමට සිය සක්‍රීය දායකත්වය ලබාදී තිබේ. තේ කර්මාන්තය බිද වැටීමට පොහොර මිල, කෘෂි රසායන, කම්කරු හිගය, ප්‍රවාහන, තේ අපනයනයට සියයට 18 ක අතිරේක බද්දක් පැනවීම සහ සෙසු පිරිවැය ඉහළ යාමත් බලපා තිබෙන බව කුඩා තේ ගොවීහු පවසති.


දෛනික කම්කරු කුලිය රුපියල් 3500ක් දක්වා ඉහළ යාම, පොහොර මිටියක් රුපියල් 18000ක් දක්වා ඉහළ යෑම, වතු කම්කරුවන් සදහා ප්‍රමාණවත් නිවාස පහසුකම් අහිමි කිරීම කුඩා තේ ගොවීන් තේ වගාව පෝෂණය නොකර අතහැර දැමීමට බලපා ඇති බව පැවැසීය.


මේ වන විට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ තේ කර්මාන්ත ශාලා දෙසිය පනහක් පමණ පසුගිය වසර පහ තුල වසා දමා ඇති බව සමීක්ෂණවලදී තහවුරුවී ඇත. වසා දමා ඇති තේ කර්මාන්තශාලා අතර දෛනිකව තේ දළු කිලෝ තිස්දහසක් ඇඹරෑ කර්මාන්තශාලා කීපයක් තිබෙන බව පැවැසීය.


කුඩා තේ කර්මාන්තය සංවර්ධනය නොකර බිද වැටීමට ඉඩ හැර දෑස් දෙකන් පියාගෙන බලධාරීහු සීතල කාමරවල ලගින්නේ යැයි චෝදනා කළ සමන් ගීගනගේ ඉදිරියේදී කුඩා තේ ගොවීන් වගාවෙන් ඉවත්වීම තේ කර්මාන්තය මුළුමණින්ම පාහේ බිද වැටීමේ අවදානමක් හට ගෙන ඇතැයි අනතුරු ඇගවූවේය.

 

More News..