මඩ සෝදාගත් ගොවියා කසිප්පුකාරයෙක් කළ කල
05 July 2026
මඩ සෝදාගත් ගොවියා කසිප්පුකාරයෙක් කළ කල
05 July 2026
රට සහලින් ස්වයංපෝෂණය කිරීම සඳහා මහා ගොවි ජනපද ව්‍යාපාර ක්‍රියාත්මක කළ එක්දහස් නවසිය හැටේ ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කාලයේදී ගොවි රජවරුන් තෝරන්නට පටන් ගත්තේය. විශිෂ්ට ලෙස ගොවිතැනේ යෙදුන අය වැව් මට්ටමෙන්, ජලාශ මට්ටමින් තෝරා ගොවි රජුන් ලෙස නම් කෙරුණි. මේ මහා සංග්‍රාමයට උර දෙනු රිසියෙන් රටේ සමිති සමාගම්ද, පත්තරද ගොවි රජුන් තෝරන තරග පැවැත්වූ බව පරණ වාර්තා පෙන්වා දෙයි. බොහෝ විට ගොවි රජා වූයේ කුඹුරු අක්කරයකට වැඩිම වී බුසල් ගණනක් නෙළා ගන්නා ගොවියාය. මඩින් පහයි, ගොඩින් තුනයි ආදී වශයෙන් වියළි කලාපයේ ඉඩම් බෙදා ගොවි ජනපද හැදූ ඒ කාලයේ ගොඩ ඉඩමද සරුසාරව ඵලබරව තිබීම ගොවි රජා වීමට අත්‍යවශ්‍ය විය. තායිලන්තයේ සංචාරයක්, ට්‍රැක්ටරයක්, වතුර මැෂිමක් ආදී දේ ගොවි රජාට හිත පිරෙන්නට ලැබුණේය. ඒ නිසාම ගොවි රජුන්ගේ දරුවන්ගේ දරුවන්ද තවමත් හඳුන්වන්නේ ගොවි රජාගේ දරුවන් ලෙසය. පරම්පරා කීපයක් ගත වී තිබුණත් ඔවුන්ගේ ගෙවල් හඳුන්වන්නේ ගොවි රජාගේ ගෙදර කියාය. එහෙත් ආණ්ඩුව හොඳටම ගොවිකමේ යෙදෙන නිසා ගොවි රජවරුන් ලෙස තෝරාගත් ගොවියන්ගේ ගෙවල් කවදාවත් රජ මාලිගා වූයේ නම් නැත. අඩුම තරමේ ඒවා වී මුදලාලිගේ ගෙවල් මට්ටමටවත් හැදුණේ නැත. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය කළ පර් යේෂණයක අතීතයේ රජුන්, ප්‍රභූන්, භික්ෂූන් වසර දහස් ගණනක් තිස්සේ ජීවත් වීමට පරිහරණය කළ භාණ්ඩත් ගොවියන් පරිහරණය කළ භාණ්ඩත් ගැන අවධානය යොමු කොට මෙබඳු නිගමනයකට පැමිණ තිබිණ.
වසර දහස් ගණනකට පෙරාතුවත් රජුන්, ප්‍රභූන්, භික්ෂූන් ජල මුද්‍රිත වැසිකිළි - කැසිකිළි, වීදුරුවෙන් ඔප දැමූ බඳුන් වැනි දේත් මතු නොව ඇඹරුම් ගල්, පිහි මිටවල් පවා කලාත්මක තත්ත්වයට පමුණුවා පාවිච්චි කරද්දී ගොවියන් පාවිච්චි කළ උදළු, නගුල්, පෝරු, වාන් පතුල්, පිහි මන්නා වැනි දේ වසර දහස් ගණනක්ම රළු දේ හැටියට පවත්වාගෙන ඒමෙන් ගොවියන්ට තිබූ තත්ත්වය පෙනෙන බව එම වාර්තාවේ විග්‍රහ කර තිබුණේය. හැටේ දශකයේ ගොවි රජුන් ලෙස ආණ්ඩුව තෝරාගත් පසුව වත් ඔවුන්ගේ ගෙවල්වල, වී මුදලාලිලාගේ ගෙවල්වල තිබෙන තරම් දේ තිබුණේ නැත.
කොහොමත් ඩී.එස්. සේනානායක ගොවි ජනපද නිර්මාණය කරද්දී ඒවායේ පාසල්, පංසල් හදන්නට ඉඩක් වෙන්කර තිබුණේ නැත. ජාතියේ පියා එසේ කළේ හිතාමතාම ගොවියා දුබලයෙක් කර ගැනීමට නොවේ. ඔහුගේ අරමුණ වූයේ මේ ගම්මාන ගොවි ජනපද ලෙසම තබා ගැනීමට විය යුතු යැයි අතීත තතු දන්නා අය කියති. පාසලකට, පන්සලකට ඉඩක් ගොවි ජනපදයේ සැලසුම් කර නොතිබූ නිසා පසු කාලීනව පාසල්, පංසල් පිහිට වන්නට සිදු වූයේ නිසරු ඉඩම්වලය.
කෙසේ හෝ වේවා තමන්ගේ දරුවන් අනාගතයේ පත්වන දුක්ඛිත තත්ත්වය ඉවෙන් මෙන් තේරුම් ගත් නිසාදෝ ‘උඹලා ඉගෙන ගත්තේ නැතොත් කුඹුරු කොට කොටා ඉන්න වෙයි’’ යන උපදේශය ගොවියන්ට තම දරුවන්ට දිය හැකි ඉහළම උපදේශය බවට පත්ව තිබුණේය. දැන වෙළෙදාන්, නොදැන ගොවිතැන් යනු ගොවියන්ම නිපදවූ ආදර්ශ පාඨයකි. මේ නිසා ගොවි රජවරුන් ලෙස අභිෂේක ලැබූ ගොවියන් ඒ ලද වරප්‍රසාදය පිහිටට අරගෙන තම දරුවන් කුඹුරට බස්සවන්නේ නැති තැනට වැඩ සාදා ගත්තෝය. ගොවියාගේ මේ දුක්ඛිත තත්ත්වය වෙනස් කර ගැනීමට පොදු අරමුණකින් වැඩ කළේ ගොවි නායකයන්ය. වී මුදලාලිලා රජයේ නිලධාරින් සේම, ආණ්ඩුව සමග ගැටෙන ගොවියන් අතරින් මේ ගොවි නායකයන් බිහි විය. වී මුදලාලිලාගේ සූරාකෑමට එරෙහිව 1960 ගණන්වල ගොවි සමුපකාර සමිති පිහිටුවා ගන්නට යාම ඔවුන් කළ සුවිශේෂ කාර්යයකි. මේ නායකයන් ආණ්ඩුවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු හබපවා පටලවා ගෙන ජය ගත්හ. තම සගයන් වෙනුවෙන් මාරාන්තික උපවාසවල පවා හිඳ ගත්තේ මේ ගොවි නායකයන්ය. ගොවි වෘත්තිය වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ඉදිරිපත් වූ නායකයන්වත් තම දරුවන් ගොවිතැනට යොමු කළේ නැත. ගොවි සටන් බිමේදී ඇස් පෑදුන නිසාදෝ ඔවුහු තම දරුවන් ගොවි ජනපදයෙන් ඈතට යොමු කළෝය. අද මේ ගොවි නායකයන්ගේ දරුවන් බොහෝ දෙනෙක් ජීවත් වන්නේ වී වපුරා අස්වනු ගෙන බත් හැදීමෙන් නොව නාගරිකරණය වූ ගොවි ප්‍රදේශවල හතු පිපෙන්නා වාගේ හැදී තිබෙන ආපනශාලාවල රස්සාවට ගොස් බත් බෙදීමෙනි. ජාතක පොතේ ඉන්නා කුඹුරක් වී අටුවක් නොදුටු අනුරුද්ධ කුමාරයා මෙන් බත් ගැන විචාලහොත් මේ ගොවි නායකයන්ගේ දරුවන්ද දැන් කියන්නේ බත් එන්නේ තලියෙන් කියාය. හබරණ කැලෑවෙන් මෙපිටට ආ ඔවුන්ගේ කුඹුරක් ඇස නොගැසුණ දරුවන්, ගොයම් නෙළුමට දෑකැති ලෙළවන පරපුරට අයත්ය.
කරුණු කාරණා මෙසේ නම් දැන් වෙලේ බහින්නේ කව්ද? ගොවි නායකයන් කියන්නේ ‘කසිප්පුකාරයන්’ යැයි කීවේ ගොවි ප්‍රදේශයකින් පාර්ලිමේන්තුවට ආ ටී.බී. සරත් මන්ත්‍රිවරයාය. ගොවියා රජෙක් යැයි කීම අතීත පචයකැයි කීවේ කෘෂිකර්ම ඇමැති ලාල්කාන්තය.
සඟුන්ගේ ගැට දන්නේ හීරළුවෝ යැයි කියති. මේ මන්ත්‍රිවරු බලයට ආවේ ගොවියාගේ මේ තත්ත්වය දැනගෙනය. ඔවුහු බලයට ඒමට වී කිලෝව රුපියල් 150 ට ගන්න ඕනෑ යැයි කීවේ මේ තත්ත්වය දැනගෙනය. ගොවි ජනතාව මහා පරිමාණ හාල්මෝල් මාෆියාවෙන් මුදා ගන්නවා යැයි කීවේද මේ තත්ත්වය දැනගෙනය. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගේ පඹයන් පිච්චුවේ ගොවියන් වෙනුවෙන්ය. ඩී.එස්ලා, ඩඩ්ලිලා හැදූ මහා ගොවි ජනපදවලද ,ජේ.ආර්. කළ මහා ගොවි ව්‍යාපෘතිය වූ මහවැලියේද, මහින්ද මුදාගත් ත්‍රස්තයන්ට බියෙන් මායිම් ගම්මානවල කැලෑ වැදී නිදාගත් ගොවියෝද එක පෙළට ඒ අතීතය අමතක කර ඡන්දය දුන්නෝ වන්නේ මේ ඇමැතිවරුය.
එහෙත් ඔවුහුද මේ පව් කද කරගහගෙන යන පාපයට බිය නැති බව ගොවියන්ට දැන් දැන් පෙනේ.

