ගොවීහු ඔටුනු නොඉල්ලති!
02 July 2026
ගොවීහු ඔටුනු නොඉල්ලති!
02 July 2026
මෙයට කලකට පෙර ආණ්ඩුවේ ඇමැත්තෙක් ගොවියන්ට කසිප්පුවාදයෙන් චෝදනා කළේය. ඔහු සඳහන් කළේ සමහර ගොවි නායකයන් ගම්වල කසිප්පු පෙරන බවය. මෙකී කසිප්පු චෝදනාව පිළිබඳ ගොවියෝ කුපිත වූහ. ඔවුහු ඒ පිළිබඳ දෙවියන්ටද කන්නලව් කළහ. එකී කතාවේ උණුසුම යාමටත් පෙර මුඛරි කතා කීමට හපනකු ලෙස ප්‍රකට වන කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේ ගොවියන් රජවීම පිළිබඳ කතාව ප්‍රබන්ධයක් බවත් තවදුරටත් එය හිසේ දරාගෙන නොයා යුතු බවත්ය.
අප දන්නා පරිදි ගොවියන් ඔටුනු ඉල්ලුවේ නැත. ඔවුන් ඉල්ලුවේ වී කිලෝවකට සාධාරණ මිලකි. එකී ගැටලුව විසඳාගත නොහැකිව ආණ්ඩුවේ මැති ඇමැතිවරු කසිප්පු කතා , රජ කතා කියමින් කල්මරති. මෙහිලා අපට මතු කළ හැකි කරුණු කිහිපයකි. එක් පැත්තකින් ආණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු සුළු කොට තකන බව පැහැදිලිය.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් තමන්ට ඉමහත් යහපතක් වේ යැයි ගොවියෝ බලාපොරොත්තු ඇති කරගත්හ. එහෙත් එය එසේ වූයේ නැත. අප දුටුවේ මුල සිටම ආණ්ඩුව පිළිබඳ ගොවි ජනතාව බලාපොරොත්තු සුන්කරගත් ආකාරයයි. සමහර ගොවියෝ මඩ කෑවෝය. ආණ්ඩුව නියෝජනය කරන බොහෝ දෙනෙක් ග්‍රාමීය ගොවි ජනතාව අතරින් මතුවූවෝය. එනිසා තමන්ට සෙතක් වේ යැයි ද තමන්ගේ ගැටලු මැනවින් හඳුනාගෙන ඒවා විසඳා ගැනීමට යුහුසුළුව විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇතැයි ද ගොවියන් කල්පනා කිරීම පුදුමයට කරුණක් නොවේ.
ගොවී ගැටලු විසඳීම සඳහා වරක් ආණ්ඩුව රිලව් සහ මොනරුන් ගණනය කළහ. එසේ වුවද කිසිදු ප්‍රායෝගිකත්වයක් නොමැති එකී කටයුතුවල අවසානයේ වූයේ ඒවා තීරණය කළ ඇත්තන් ජනතාව විසින් රිලවුන්ට ඇන්දවීම පමණි.
පසුගිය දිනවල ගොවි ජනතාව පාරට බැසීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වී කිලෝවකට සාධාරණ මිලක් ඉල්ලීමය. ආණ්ඩුවේ උදවිය බලයට පත්වීමට පෙර ගොවියා රජ කරවීමට කටයුතු කරන බව සපථ කළහ. එහෙත් සුපුරුදු ගැටලුවට මුහුණ පෑමට ගොවි ජනතාවට සිදුව ඇත. වී මිලදී ගැනීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ගොවියෝ මේ රට පාලනය කළ හැම ආණ්ඩුවකින්ම ඉල්ලා සිටියහ. එහෙත් කිසිදු ආණ්ඩුවක් සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීමට සමත් වූයේ නැත. ඒ වෙනුවට හැමවිටම සිදුවූයේ වී මිලදී ගන්නා පෞද්ගලික අංශයේ මුදලාලිලා ශක්තිමත් වීමය. ඔවුන්ගේ කරල පැසීමය. වී මුදලාලිලා ලෝකයේ සුපිරි රථ ආනයනය කර ආඩම්බරකාර ජීවිතයක් ගත කරති. සමහරු පෞද්ගලික ගුවන් යානා හිමියෝය. එහෙත් තමන්ගේ ණය ටික ගෙවා ගත නොහැකිව ගොවිහූ ජීවිත කාලයේදීම විඳවති. දුක් විඳිති.
සැබවින්ම මේ රටේ ගොවියා යනු බාගෙට මියගිය කෙනෙකි. එයට හේතුව ණය බරය. බහුජාතික සමාගම් නමැති බූවල්ලාගේ ග්‍රහණයට මේ රටේ ගොවි ජනතාව හසු වී හමාරය. දේශීය පදනමක් සහිත ගොවිතැන විනාශ වූයේ බලා සිටියදීය. එදා මෙදා තුර අපේ රට පාලනය කළ ආණ්ඩු විවිධ බහුජාතික ඒජන්තයන්ගෙන් ගොවිතැන සඳහා උපදෙස් ලබාගෙන අවසානයේ ගොවියා හිඟමනට ඇද දැම්මේය. තවම ඒ විෂම චක්‍රයෙන් ගොවියාට ගොඩ ඒමට නොහැකි වී ඇත. රසායනික ගොවිතැන ගොවියා හැම අතින්ම පීඩාවට පත් කර ඇත. දැන් ඔහුට එයින් ගැලවීමක් නැත. ජීවිත කාලයම ගොවිතැනට ගෙවා දමන ගොවියාට සිදුව තිබෙන්නේ අවසානයේ දුගියකු සේ මියැදීමටය. දුගියකු පමණක් නොව ණයකාරයකු සේ මියැදීමටය. හැමවිටම ආණ්ඩු කරනුයේ ගොවියා තව තවත් දුගියකු කිරීමය. ඒ අනුව බලන කලනම් ලාල් කාන්තගේ කතාව නිවැරදිය. එමගින් ඔහු පිළිගෙන තිබෙන්නේ ගොවියා ගොඩගැනීමට තමන්ට නොහැකි බවය.
වී කිලෝවකට සාධාරණ මිලක් ගෙවීමට ක්‍රමවේදයක් ආණ්ඩුවට හැදීමට නොහැකි වී තිබෙන්නේ කවර සාධක නිසාදැයි විමසා බලන විට සමහරුන් සඳහන් කරන්නේ ආණ්ඩුව මුදලාලිලා සතුටු කිරීම සඳහා හාල් ආනයනය කිරීම ඊට ප්‍රධාන හේතුවක් බවය. ගොවියන් අස්වැන්න නෙළා ගැනීමට සූදානමින් සිටියදී ආණ්ඩුව හාල් ආනයනය කළ අතර අතරමැදි හාල් මුදලාලිලා හැම විටම ගොවියන් අස්වැන්න නෙළා ගැනීමට ආසන්න වන විට කෘත්‍රිම හාල් හිඟයක් ඇතිකරති. ඉන්පසු ආණ්ඩු කරනුයේ හාල් ආනයනය කිරීමය. එසේ හාල් ආනයනය කිරීම හේතුවෙන් වී කිලෝවක් සඳහා සාධාරණ මිලක් ගෙවීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ඒ වී මිලදී ගැනීමට තිබුණු මුදල් හාල් ආනයනය කිරීම සඳහා වැය කළ හෙයිනි. හාල් මුදලාලිලා එමගින් අසරණ වන ගොවියා සූරා කති. අවසානයේ වෙන සරණක් නැති තැන ගොවියෝ වී මුදලාලිලාගේ මිලට එකඟ වෙති. කෙතරම් කයිවාරු ගැහුවද ආණ්ඩුවට මෙකී උගුලෙන් මිදී ගොවියන්ට සාධාරණත්වයක් ඉටු කිරීමට නොහැකි විය.
ගොවියන්ගේ ගැටලුවලට විසඳුමක් නොමැති තැන ආණ්ඩුවේ මැති ඇමැත්තෝ ගොවියාට තර්ජනය කිරීමටත් නොයෙක් අපවාද කිරීමටත් කටයුතු කරති. එක් පැත්තකින් තමන්ට අවනත නොවන පුද්ගලයන්ට විවිධ අවලාද නැගීම දේශපාලන ක්‍රමවේදයකි. ගොවි පවුල්වලින් උපන් (එකල) ගොවි පුතාලා අවසානයේ ගොවියාට කරන්නේද එයමය.
ආණ්ඩුව කළ යුත්තේ ගැටලු විසඳීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. සැලසුම් සකස් කිරීමය. ඒවා ක්‍රියාත්මක කිරීමය. ගොවියා කසිප්පු පෙරන තැනට පත්ව තිබෙන්නේ නම් ඒ පිළිබඳ ලජ්ජා විය යුත්තේ ආණ්ඩුවමය. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි අපේ පැරැන්නෝ කීහ.

