brand logo
logo
 NAITA ආයතනයට නව පත්වීම් 123ක්

NAITA ආයතනයට නව පත්වීම් 123ක්

07 July 2026


ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සඳහා නව නිලධාරීන් 123 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම රාජගිරිය පිහිටි එම ආයතනයේදී සිදු කෙරිණි.


මෙම පත්වීම් ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති උත්සවයකදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්විණි.


NAITA ආයතනය දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජාතික මට්ටමේ පුහුණු මධ්‍යස්ථාන 3ක් සහ ප්‍රාදේශීය මට්ටමේ පුහුණු මධ්‍යස්ථාන 46ක් පවත්වාගෙන යන අතර, අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව 1,262ක් වුවද දැනට සේවයේ නියුතු පිරිස 650කට ආසන්න බව සඳහන් වේ. 


එම පුරප්පාඩු පිරවීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස මෙම බඳවා ගැනීම් සිදුකර ඇත.


අග්‍රාමාත්‍ය අනුකමිටුවේ අනුමැතිය මත නව තනතුරු 266ක් සඳහා අනුමැතිය හිමිව ඇති අතර, එහි පළමු අදියර යටතේ අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, පරිපාලන නිලධාරීන්, විගණන නිලධාරීන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසකට පත්වීම් ලබාදී තිබේ.


උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ, මෙම පත්වීම් රැකියාවක් පමණක් නොව රටේ තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය කිරීමේ ජාතික වගකීමක් ද වන බවයි.


රාජ්‍ය සේවයේ ආචාරධර්ම ආරක්ෂා කරමින් වෘත්තීයභාවයෙන් සහ කැපවීමෙන් ජනතා සේවය ඉටු කරන ලෙස ද නව පත්වීම්ලාභීන්ගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

 

More News..