brand logo

දේශපාලන පක්ෂ අරගලය තරගයට කොල්ලකෑවා

05 August 2022

මාසෙන් මාසෙට ආණ්ඩු මාරු කරන එක ප්‍රායෝගික නැහැ

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙසින් මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී චරිතයක් වූ මෙන්ම අරගලයේද යෙදී සිටි චරිතයක් වූ සමන් රත්නප්‍රිය ඉකුත්දා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරය භාරගැනීම නිමිත්ත කරගනිමින් මේ සංවාදය සිදුවිය.

ඔබට අලුත් තනතුරක් හිමිවුණා. මේ තනතුරේ වගකීම, වපසරිය ගැන යමක් කීවොත්...

අලුත් තනතුර ගැන කතා කළොත් භාරදූර කර්තව්‍යක් පැවරිලා තියෙන වගකීමක් තමයි මට ලැබිලා තියෙන්නේ. මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය වෙනුවෙන් සහ වැඩකරන පන්තිය වෙනුවෙන් මැදිහත් වීම් කරන්න, ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් වරප්‍රසාද වෙනුවෙන් මැදිහත් වෙලා ඒවා දිනාදෙන්න, ඔවුන්ට සහයෝගය දක්වන්න වගේම රටේ ශ්‍රම බළකායේ කාලය නිකරුණේ විනාශ නොකර වෘත්තිය සමිති ඥානනය කිරීමට මට වගකීමක් පැවරිලා තියෙනවා.

මේ තනතුර සඳහා ඔබ සුදුසුකම් පූර්ණය කළේ කොහොමද?

අවුරුදු 26 කටත් අධික කාලයක් මම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වැඩ කරලා තියෙන නිසා ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම සහ පළපුරුද්ද මට තියෙනවා. රටේ මිනිස්සු විශ්වාස කරන විදිහට යම් දෙයක් කරන්න මට හැකියාවකුත් තියෙනවා. අපි දැවැන්ත අරගල, සටන් ආදිය කරලා අයිතිවාසිකම් වරප්‍රසාද දිනාගත්ත අය නිසා වැඩ කරන පන්තියත් මම ගැන විශ්වාසයෙන් ඉන්නවා. ඒ නිසා මට ලැබුණ තනතුරේ වගකීම නිසි ආකාරයට කරන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඔබ දරන තනතුර මෑතකදි කියැවුණු එකක් නෙමෙයි

මගේ දැනුමේ හැටියට ඉතිහාසයේ එක් වතාවක් පමණයි මේ තනතුරට පත්කිරීමක් කරලා තියෙන්නේ. ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්මයා. ඉන් පසුව මේ තනතුරට පත්කිරීමක් සිදු වෙලා නැහැ. ඔබේ මේ පත්වීමෙන් සෙතක් වෙන්නෙ වෘත්තීය සමිතිවලටද? නැතිනම් ඔබේ දේශපාලන නියෝජනයටද? එසේත් නැතිනම් පුද්ගලිකව ඔබට ද කියලා සාධාරණ පැනයක් නැගෙනවා මේ පැවරුණු රාජකාරිය හරියටම කරනවා නම් හැම පැත්තටම සාධාරණයක් විය යුතුයි. තමන් ගැන හිතලා වැඩ කළොත් ප්‍රතිලාභය ලැබෙන්නේ තමන්ට විතරයි. දේශපාලනය ගැන හිතලා වැඩ කළොත් වාසිය තියෙන්නේ දේශපාලනඥයන්ට පමණයි. නමුත් පුද්ගලයෙක් හෝ පක්ෂ ගැන හිතන්න නැතිව වගකීම හරියට කළොත් හැම පැත්තටම සාධාරණයක් වෙනවා.

වෘත්තීය අයිතිවාසිකම් නාමයෙන් පෙනී ඉඳිමින් ආණ්ඩුවේ මේ වගේ තනතුරක් භාර ගැනීම ඔබේ හෘද සාක්ෂියට එකඟද?

මම වෘත්තීය සමිති නායකයෙක් විදියට පාර්ලිමේන්තුව නියෝජනය කර‍ලත් තියෙනවා. ඒ අවස්ථාවේදීත් ඇතැම් පුද්ගලයන් මට විවිධ චෝදනා නැගුවා. නමුත් බොහෝ පිරිසක් මම ගැන විශ්වාසයෙන් හිටියා. මම කොහේ ගියත් මගේ වගකීම හරියට කරනවා කියලා මම ගැන අවබෝධයක් තියෙන පිරිස දන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න ලැබුණේ සුළු කාලයක් වුණත් ඒ කාලය ඇතුළත හය වතාවක් පාර්ලිමේන්තුව අමතලා තියෙනවා. වෘත්තිය සමිතිවල සහ කම්කරු පන්තියේ අයිතිවාසිකම් පිළිබඳව සහ සාධාරණය වෙනුවෙන් තමයි මම හැම වෙලාවකම කතා කළේ. ඒ වගේම ප්‍රායෝගික අත්දැකීම් නැති කෙනෙක්ට මේ තනතුරේ කටයුතු කරන්න පුළුවන් කියලා කවුරුත් විශ්වාස කරන එකක් නැහැ.

ඔබ පාර්ලිමේන්තුවේ හිටියේ පොඩි කාලයක් වුණාට ඒ කාලය තුළ වෘත්තීය සමිති ක්ෂේත්‍රයට කෙසේ වෙතත් ඔබට නම් සෑහෙන යමක් කරගත්තා කියල විවේචන තිබෙනවා...

වෘත්තිය සමිති නායකයෙක් හැටියට මම 1997 ඉඳලාම වැඩ කරනවා. රැකියාව කරන අතරතුරදීම මම වෘත්තිය සමිති නායකයෙක් හැටියටත් සිවිල් සමාජ නායකයෙක් හැටියටත් කටයුතු කළා. ඒ හරහා මට ගොඩනැඟුණු තත්ත්වයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට නිල වශයෙන් අයිතිවන වාහනය මම පාවිච්චි කළා. මට අදාළ නැති කිසිම දෙයක් මම භාරගන්නේ නැහැ. මේ තනතුර වුණත් මම භාරගත්තේ ඒ සම්බන්ධයෙන් මට අත්දැකීම් තියෙන නිසා. නිල වශයෙන් අදාළ වරප්‍රසාදයක් අයිතියක් මිස ඉන් පරිබාහිරව අද වෙනකම් මම කිසිම දෙයක් අවභාවිත කරල නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කිරීම ආරම්භ කරද්දිම නීත්‍යානුකූලව මට රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. ඒත් සමගම මට ලැබෙන ආදායම නතර වෙනවා. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අවුරුදු 55 න් පස්සේ. තවම මට විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නැහැ. වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නැතුව මට කොයිතරම් කාලයක් ඉන්න සිද්ධ වුණාද? මිනිස්සුන්ට ඒ විදිහට ජීවත් වෙන්නවත් වගකීම් ඉෂ්ට කරන්නවත් බැහැ. ඒ නිසා මට ලැබුණු සාධාරණ වරප්‍රසාද ලබා ගත්තා. එයින් රටට අසාධාරණයක් වුණේ නෑ.

අරගලයේ හිටපු ඔබ වැනි චරිත ආණ්ඩුවේ තනතුරු අරන් පැත්තකට වුණාම දැන් අරගලයට මොකද වෙන්නේ?

ඉතිහාසයේ වගේම වර්තමාන අරගලයේදීත් අපි දැවැන්ත මැදිහත්වීම් කළා. ඒත් අරගලයේ, දේශපාලන සටන් පාඨ පිළිබඳ පසුව අපි අතර විවිධ බෙදීම් ඇති වුණා. ඇතැම් දේශපාලන සටන් පාඨවලට එකඟ විය නොහැකි නිසා මම ඒ ක්‍රියාවලියෙන් ඉවත් වුණා. ඉන් පසුව කිසිම සාර්ථක අරගලයක්, වෘත්තීය සමිති සටනක් වැඩවර්ජනයක් හර්තාලයක් ක්‍රියාත්මක කරන්න කාටවත් හැකියාවක් ලැබුණේ නැහැ. මෙවැනි අරගලවල දී සියලු දෙනාටම එකඟ විය හැකි සටන්පාඨ තෝරගන්න කියලා මම එදත් කිව්වා. තමන්ගේ දේශපාලන පක්ෂවල සටන් පාඨ වෘත්තිය සමිතිවලට සම්බන්ධ කරගන්න එපා, එහෙම වුණොත් මේ අරගලය විනාශ වෙනවා කියලා මම මුලින්ම කිව්වා. ඒ ගැන තැකීමක් නොකළ සමහර නායකයන් තමන්ගේ පුද්ගලික දේශපාලන අදහසම වෘත්තිය සමිති ඇතුළේ ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. ඒ නිසා වෘත්තිය සමිති ව්‍යාපාරය පැත්තෙන් අරගලය බරපතළ දුර්වල තැනකට පත් වුණා. ඇතැම් දේශපාලන කණ්ඩායම් අරගලය ඔවුන්ගේ කරගන්න උත්සාහ කළා. ඒ නිසාම ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙමින් අරගලය දියාරු වුණා. ගෙවල් ගිනි තැබීම් රාජ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතන අත්පත් කර ගැනීම් සාමකාමී අරගලයකට අවශ්‍යය නැහැ. නමුත් එවැනි ක්‍රියාකාරකම් නිසා අරගලය දුර්වල වුණා. අවසානයේ දේශපාලන පක්ෂ පමණක් අරගලයේ ඉතුරු වුණා. ඔවුන් තරගයට අරගලය කොල්ල කන්න පටන් ගත්තා. දේශපාලන පක්ෂත් විවිධ බෙදීම්වලට ලක් වුණා. ඒ තුළ අරගලය සෑහෙන දුරට දුර්වල වුණා. ඒක කනගාටුවට කාරණාවක්.

අරගලයේ අතුරුඵලයක් හැටියට තනතුරක් ගත්තු ඔබ ගැලවිජ්ජාවට කියන දේවල් නෙමෙයිද මේ..?

ඒ ඉවත් වීමට සාධාරණ හේතුවක් තියෙනවා. රටේ බරපතළ ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව, මාසෙන් මාසෙට ආණ්ඩු මාරු කරන එක ප්‍රායෝගික නැහැ. රටේ ව්‍යවස්ථාවට අනුව තමයි ආණ්ඩුවේ වෙනස්කම් සිද්ධ වෙන්නේ. යම්කිසි වෙනස්කමක් සිදු වුණාට පසුවත් අලුතෙන් පත් වන පිරිසට කාලයක් දිය යුතුයි කියලා මම හිතනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධුරය ලැබුණ අවස්ථාවේ ඔහුට මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩගන්න හැකියාව තියෙනවා කියලා මම ඇතුළු බොහෝ පිරිසක් විශ්වාස කළා. ඒ සඳහා ඔහුට අත්දැකීම් සහ පළපුරුද්ද තියෙනවා කියන විශ්වාසය ජනතාවටත් තියෙනවා. එවැනි අවස්ථාවක නිශ්ඵල සටන් පාඨ පාවිච්චි කරන්න එපා කියලා මම වෘත්තීය සමිතිවලටත් කිව්වා. දැන් එතුමා ජනාධිපති වෙලා තියෙනවා. මේ කාර්යය කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මත අපි එතුමාට සහාය දෙනවා.

මේ අරගලය රනිල් වික්‍රමසිංහව බලයට ගේන්න ඔබලාගේද සහය ලැබූ ‘මාස්ටර් මයින්ඩ්’ ප්ලෑනක් නෙමෙයිද?

මගේ පැත්තෙන් බලද්දී ඒ ප්‍රකාශයට පදනමක් නෑ. 88 89 කාලයේත් ශිෂ්‍යයෙක් විදිහට මම එයට පක්ෂව වැඩ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ගේන්න අපිත් පළවෙනි අවස්ථාවේ උදව් කළා. නමුත් ඔහුගේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්නේ නෑ කියලා දැනුණාම අපි ඔහුට විරුද්ධව පාරට බැස්සා. මාදුළුවාවේ සෝභිත හිමියන් සමග එකතු වෙලා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඇති කරලා විශාල සටනක් කළා. අපි කොහොමහරි ඔහුව ඉවත් කළා. අවශ්‍ය වෙලාවේ දේශපාලන මැදිහත්වීම් කරන්න අපි කිසිම අවස්ථාවක පැකිළුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට මේ රට පාලනය කරගන්න බැහැ කියලා ඉතාමත් කෙටි කාලයකින් ඔප්පු වුණා. කවදාවත් ඉතිහාසයේ සිද්ධ නොවුණ විදිහට ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ රට විනාශ වුණා. ඒ විනාශ වීමට රාජපක්ෂ රෙජිමයේ බොහෝ දෙනෙකුත් සම්බන්ධ නිසා ඔවුන් තාවකාලිකව හෝ දේශපාලනයෙන් ඉවත් කරන්න අපිට උවමනා වුණා. ඊට පස්සේ පත් කරන්නේ කවුද කියන එක ගැන අපිට පැහැදිලි අදහසක් තිබුණෙ නැහැ. නමුත් අපි විපක්ෂයත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජන අරගලයකදී මූලිකත්වය අරන් කටයුතු කළ යුත්තේ විපක්ෂය වුණත් ඔවුන්ගේ එවැනි මැදිහත්වීමක් තිබුණේ නැහැ. ඒ නිසා 55 ක් ඉන්න විපක්ෂය අතෑරලා ජනතාවට රනිල් වික්‍රමසිංහව තෝරාගන්න සිදු වුණා. ඒ තෝරා ගැනීම කළේ ජනතාව විසින් පත් කළ නියෝජිතයන්. ඒ පත්කර ගැනීම දේශපාලන සැලසුමක් විදිහට මම දකින්නේ නෑ. මේ ඇති වුණ දේශපාලන වෙනස සාධනීයයි කියලා මට හිතෙනවා.

ඔබ මේ මොහොතේ, අරගලකරුවන්ට දෙන උපදෙස..පනිවුඩය...

ආණ්ඩුව කරන වැරදිවලට විරුද්ධ විය යුතුයි. ඒ සම්බන්ධයෙන් කිසිම තර්කයක් නෑ. නමුත් ආණ්ඩුව යම්කිසි සාධනීය දෙයක් කරනවා නම් ඒ සඳහා සහයෝගයත් ලබාදිය යුතුව තියෙනවා. හැමදේම වැරදි විදිහටම දැක්කොත් එතැන බරපතළ ගැටුමක් නිර්මාණය වෙනවා. ගැටුමක් ඇති වුණොත් ගැටුමට මුහුණ දෙනවා මිස බලෙන් ගැටුම් ඇති කර ගත යුතු නැහැ කියන එක තමයි මගේ මතය. මේ වෙලාවේ සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. සාධාරණ අරගල වෙනුවෙන් පෙනී සිටින්න, ඒ සඳහා මමත් සහයෝගය ලබා දෙනවා. නමුත් මේ අර්බුදය අවස්ථාවේදී බලහත්කාරයෙන් ගැටුම් ඇති කර ගන්න එපා කියලා අරගලකරුවන්ගෙන් සහ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

ඔබේ අරගල සගයා ස්ටාලින් අත්අඩංගුවේ..ඔබ නම් තනතුරක් ලබාගෙන සැපසේ...

ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳ මම කනගාටු වෙනවා. ඒ සම්බන්ධයෙන් මම අදාළ දේශපාලන නායකයන් දැනුවත් කළා. ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළා. පොලිසියේ මැදිහත් වීමෙන් තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ අත්අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක්. ඔහු වෙනුවෙන් සාධාරණයක් කරන්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා. සංවාදය - නිරෝෂා වාසල
 

More News..