brand logo
logo

​පෙම්වතුන්ගේ ෆොටෝවලට නිරුවත් ෆොටෝ බද්ද කරන කල්ලියක්

27 October 2022

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹයි

සමාජ මාධය ජාලවල පළකරන පෙම්වතුන්ගේ ඡායාරූපවලට නිරුවත් ඡායාරූප බද්ද කර, ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ඔන්ලයින් කප්පම් කල්ලිය පිළිබඳ ලද පැමිණිලි මත එම විමර්ශනය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ වෙත දන්වා සිටියේය. ෆේස් බුක් සහ වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ පළකරන පෙම්වතුන්, මෙම සංවිධානාත්මක කල්ලියේ ඉලක්කය වී ඇති බව පොලිසිය දන්වා සිටියේය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ඉරියව්වලින් ඡායාරූප පළකර තිබෙන පෙම්වතුන්ගේ එම සමාජ ජාලා ගිනුම්වලට රහසිගතව ඇතුළු වී ඇති අදාළ සැකකරුවන් එම ඡායාරූවලට නිරුවත් ඡායාරූප බද්ද කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. සිය පෙම්වතිය සමග සිටින පෙම්වතුන්ගේ ඡායාරූපවලට වෙනත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූපද, පෙම්වතා සමග සිටින පෙම්වතියන්ගේ ඡායාරූපවලට වෙනත් තරුණයන්ගේ ඡායාරූපද බද්ද කර ඒවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන බවට බ්ලැක් මේල් කරමින් සැකකරුවන් කප්පම් ඉල්ලා ඇතැයිද පොලිසිය දන්වා සිටියේය. මෙම සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ​කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් නියෝග කරනු ලැබීය. ඉෂාර රත්නකාර
 

More News..