විශේෂාංග

ලංකාව ඉවත දැමූ ක්‍රමයෙන් ෆින්ලන්ත අධ්‍යාපනය ඉහළට

ලංකාව ඉවත දැමූ ක්‍රමයෙන් ෆින්ලන්ත අධ්‍යාපනය ඉහළට

ලොව සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින රට සේ පිළිගැනෙන්නේ ෆින්ලන්තයයි. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ස්කැන්ඩිනේවියානු රටවලය. ඒ අතරින්ද ප්‍රමුඛයා වන්නේ ෆින්ලන්තයයි. 2019 ෆින්ලන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව දරුවා නිවසට ආසන්නයේම ඇති පාසලට යා යුතුයි. එසේ යා යුත්තේ ද පා ගමනිනි. එසේම පාසල් විෂය මාලාව සැකසී ඇත්තේ විෂය මූලිකව නොව පරිසරය මූලිකවය. ඇගයීම් මිස විභාග නැත. එවැනි දේවලින් ලොව හොඳම අධ්‍යාපන ක්‍රමයට හිමිකම් කියන ෆින්ලන්තය, මේ වසරේදී තවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කීපයක්ම ඉදිරිපත් කර තිබේ. මේ ඒ පිළිබඳ ලියැවුණකි.

සිතට සතුට ලැබෙන එක මොහොතකට හෝ අපි බෙහෙවින් ආශා කරන්නෙමු. සතුට එතරම්ම අපේ ජීවිතයට වැදගත් ය. සතුට රඳවාගන්නට – කැඳවාගන්නට හැකි ක්‍රම පිළිබඳව අපි විසි හතර පැයේම කල්පනා කරන්නෙමු. සැබවින්ම අපට සතුට ලැබෙන්නේ මුදලින්ද ? ධන ධාන්‍යයෙන් ද ? ඇතැමකු සතුව එබඳු ලයිස්තුවක් ම තිබෙන්නට පුළුවන. එහෙත් අප කල්පනා කරන්නේ මතු දවසක සතුට ළඟා කළ හැකි දේ අතර අධ්‍යාපනය ඉදිරියෙන්ම තිබෙන බවයි.

මේ සතුට හා අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාවය ගැන කතා කරන විට අපට අමතක කළ නොහැකි රාජ්‍යයක් වන්නේ ෆින්ලන්තය යි. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකෙන්නේ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයයි. එමෙන්ම ලොව සතුටින්ම සිටින රාජ්‍යයන් අතර ද ඉදිරියෙන්ම සිටින්නේ ෆින්ලන්තයයි. ලොව සතුටින් ජීවත්වන ජනතාව සිටින රට සහ ලොව හොඳම අධ්‍යාපනය ඇති රට යන දෙඅංශයෙන්ම ඉදිරියටම ඒමට එකම රටකට හැකිවීම ගැන අදහස් දක්වන විශ්ලේෂකයන් කියන්නේ සතුට හා අධ්‍යාපනය අතරද අන්‍යෝන්‍ය බැඳීමක් ඇති බවයි. තවත් විදියකින් කිවහොත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන රටක ජනතාව සතුටුදායක ජීවන ක්‍රමයකට යොමුවන අතරම එම සතුටුදායක වටපිටාව තුළ ඔවුහු යහපත් අධ්‍යාපනයකටද යොමුවන බව විශ්ලේෂකයන්ගේ විග්‍රහයයි.

ඉහළ සාක්ෂරතාවයක් මෙන්ම ඉහළ ජීවන තෘප්තියකින් යුතු ශිෂ්‍ය ප්‍රජාවක් ජීවත් වන්නේ  ෆින්ලන්තයේ යි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය මේ සියල්ලට මග සලසා ඇති බවයි. මෙයට ඉතා තදින් බලපාන්නා වූ කාරණාවක් වන්නේ ෆින්ලන්ත සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය හා විවේක කාලය ඉතා යහපත් ලෙස සමබර කරගෙන යන්නට ඉඩක් ලැබීමයි. ඉතා ඉහළ මට්ටමේ විවේක කාලයක් ලැබීම තුළින් ඔවුනට වැඩි වැඩියෙන් විවිධ අන්දමේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නට අවස්ථාවක් උදාවෙයි.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය වසර ගණනක කැපවීම්වල හා වසර ගණනාවක සැලසුම්වල ප්‍රතිඵලයකි. එය ඉතා සාර්ථක අඩියකට එළැඹෙන්නට හේතු වචනයෙන් දෙකෙන් විස්තර කළ නොහේ. ෆින්ලන්ත අධ්‍යාපනය ගැන කතා කරන විට එහි සාර්ථකත්වයට හේතු වූ විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය.

මෙයින් පළමුවැන්න ඉතාමත්ම වැදගත් හා තීරණාත්මක ලක්ෂණය ලෙස සැලකිය හැකි ය. ඒ, සැමට සම සේ අධ්‍යාපන අවස්ථා ලබා දීමයි. ඇතැම් ආසියාතික රටවල සැමට අධ්‍යාපනය සමසේ ලැබෙන්නේ යැයි කීවද සමසේ ලැබෙන්නේ පෙළපොත් හා විභාග ප්‍රශ්න පත්‍ර පමණි. එහෙත් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සෑම කෙනකුටම එකසේ උකහාගත හැකි අයුරින් සකස් වී තිබේ.

ක්‍රීඩාව සමග ඉගෙනීම ප්‍රාථමික අධ්‍යාපනයේ  විශේෂ ලක්ෂණයකි. ෆින්ලන්ත පොඩ්ඩන් පූර්ව ළමාවිය අධ්‍යාපනය හා සුරැකුම් (ECEC) විෂය මාලාවට යොමුවන්නේ ෆින්ලන්ත දිවාසුරැකුම් හා පෙර පාසල් අත්දැකීමකින් පසුවයි. කුඩා දරුවන් වෙනුවෙන් ඔවුන් නිර්මාණය කරන ලද අධ්‍යාපන ක්‍රමවේදයේ වැදගත්ම සංකල්පයක් වන්නේ දරුවන්ට දරුවන් හැටියට ඉන්නට ඉඩ දීම (letting children be children) ය.

 

සෙල්ලම, සෞඛ්‍යය සහ ඔවුන්ගේ සමස්ත යහපත, දියුණුව රැකෙන පරිදි සකසන ලද මෙම ක්‍රමවේදය සැබවින්ම ඉගෙනුම් සංචාරයකි. ඔවුන්ගේ ලෝකයෙම රැඳී සිටිමින් සිදුකරන සුන්දර ව්‍යායාමයකි.

කෙළි සෙල්ලමට ඇති කාලය ඔවුන් අතින් උදුරා ගැනෙන්නේ නැත. පාසල් බසයට ගෙවී යන හෝරා ගණන් හෝ රෑ රාත්‍රිය වන තුරු එක දිගට ඇදෙන ටියුෂන්වලින් ඔවුන්ට පීඩාවක් නැත. යන්නට සිදුවන්නේ ළඟම තිබෙන පාසලටයි. හෝරා කීපයක් ගතවන පාසල් බස් ගමන් ඔවුන්ට ඇත්තේ ම නැත. ගමන පයින්මය. එය ගතටත් සිතටත් දෙන්නේ නැවුම් බවකි, ආශ්වාදයකි, ව්‍යායාමයකි.

අපේ රටේ නම් පළමුවැනියා වන්නට ඇත්තේ ඉතා දරුණු අන්දමේ පොරයකි. දරුවන්ට වඩා මේ පොරයට වැටී සිටින්නේ දෙමව්පියන් ය. දරුවන්ගේ හිස ගිනි ගන්නා විභාග භීතිකාව එහි නැත. ඒ ඒ දරුවාගේ හැකියාවන් දියුණු කර ගැනීම සඳහා අදාළ බලගැන්වීම් කිරීමත් හා ඔවුන් මුහුණ දෙන අභියෝගවලදී ඔවුනට සහාය වීමත් එක් එක් සිසුවා වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ක්‍රමවේදයයි. ඒ ඒ දරුවාට ආවේණික වූ ඉගෙනුම් ක්‍රමයට, ඔවුන්ගේ අධ්‍යාපන කැමැත්තට එහිදී ඉඩකඩ ලැබෙයි. අනෙක ඔවුන් අධ්‍යාපනයට යොමු වන්නේ නිස්කලංක ළමා කාලයකින් පසුවයි. ෆින්ලන්ත දරුවන් පාසල් යන්නට පටන් ගන්නේ වයස අවුරුදු හතක් වූවායින් පසුවයි.

එහෙත් විභාග පැවැත්වීමකින් තොරව දරුවන්ගේ මට්ටම හඳුනාගන්නේ කෙසේ දැයි යමෙකු අහන්නට පුළුවන. දරුවාගේ සමස්ත සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කෙරුණු ගුණාත්මක මිනුම් ක්‍රමවේද ගණනාවක් ෆින්ලන්ත අධ්‍යාපනය ක්‍රමය සතුය. කටපාඩම් ක්‍රමයට වඩා ඔවුන් අගය කරන්නේ මෘදු කුසලතායි.

අද දවසේ ලොව බොහෝ දරුවන් මුහුණදෙන තවත් එක භීතිකාවක් වන්නේ ගෙදර වැඩ (homework) යි. දියුණු වෙමින් පවතින්නේ යැයි කියැවෙන රටවල ගෙදර වැඩ ලැබෙන්නේ මලු ගණනින් නොව කඳු ගණනිනි. සාමාන්‍යයෙන් ෆින්ලන්ත දරුවකු පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ආරම්භ කරන්නේ වයස අවුරුදු හතේ දී ය. විශේෂයෙන්ම ෆින්ලන්තයේ ප්‍රාථමික ශ්‍රේණිවලට ගෙදර වැඩ ලබා දෙන්නේ නම් ඒ ඉතාමත්ම අඩුවෙනි. අනෙක් අතට ඔවුන් දවසකට ඉගෙන ගැනීමට පාසලේ වෙන් කර ඇති කාලය ද ඉතාමත් කෙටි ය. එයින් ඔවුන්ට පාසලෙන් පසු සිදුකරන ක්‍රියාකාරකම් හා විෂය බාහිර කටයුතු මෙන්ම විනෝදාංශවලට වැඩි කාලයක් හිත යොමු කරන්නට ඉඩ ලැබෙයි. එය පන්ති කාමරයෙන් පරිබාහිර ව ඔවුනට ඔවුන්ගේ මෘදු කුසලතා දියුණු කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය එය දකින්නේ සිසුන්ට තම ජීවන තෘප්ති මට්ටමට ළඟාවන්නට , හඳුනාගන්නට ලබාදෙන අවස්ථාවක් වශයෙනි.

ලොව ඇතැම් රටවල් අධ්‍යාපනය හා සම්බන්ධ තාක්ෂණය ගැන තවමත් කල්පනා කරන්නේ පසුගාමී මනසකිනි. එහෙත් දියුණු වන ලෝකය කල්පනා කරන්නේ ඩිජිටල් මෙවලම් හා වෙනත් එබඳු ආධාරක දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා ඉහළ දායකත්වයක් සපයන බවයි. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය නව්‍යකරණය වන්නේම මේ විවිධ තාක්ෂණ මෙවලම් හරහා දරුවන්ට ලබා දෙන අධ්‍යාපනික අත්දැකීම් හරහා ය. එහෙත් ඔවුන් ඉවක් බවක් නැතිව තාක්ෂණය පාවිච්චි කරන්නේද නොවේ. කිසිවිටෙකත් එදිනෙදා සාමාන්‍ය ජීවිතය යටපත් කරන්නට ඔවුන් තාක්ෂණයට ඉඩ නොදෙන බව ද කිව යුතුය.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළින් ජීවිත කාලය මුළුල්ලේම ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ. කවර වයස් මට්ටමක හෝ අවස්ථාවක සිටියද ඔවුන්ට එතැන් සිට අධ්‍යාපනය කරගෙන යාම සඳහා සහාය වන නම්‍යශීලී ක්‍රමවේදයක් එරට දකින්නට ලැබේ. අනෙක් අතට ෆින්ලන්තයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සැකසී ඇති ක්‍රමවේදය ෆින්ලන්තයේ ජාතික අධ්‍යාපන ක්‍රමය හා මුළුමනින්ම බැඳුණු එකකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සිදුකරන කැපකිරීමේ සීමාවක් කිසිවිටෙකත් එහි දක්වා නොමැත. එබඳු දරුවන්ට අවශ්‍ය කවර ආකාරයේ සහයක් ද මේ සියල්ල නොඅඩුව ලබා දෙන්නට සමත් අධ්‍යාපන ක්‍රමයක් ඔවුන් නිර්මාණය කර තිබේ.

ෆින්ලන්තයේ සිටින්නේ ස්වාධීනව කටයුතු කරන, කල්පනා කරන , උගැන්වීමේ යෙදෙන ගුරු පිරිසකි. ඉගැන්වීම් පිළිබඳව ඉතා ඉහළ මට්ටමේ පුහුණුවක් ඔවුනට ලැබෙන්නේ අනිවාර්ය ශාස්ත්‍රපති උපාධියක් ද සමගිනි. ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ මට්ටමක පවතින්නේ ඔවුනට හිමිවී ඇති සැලසුම් කිරීමේ හා ඉගැනුම් සම්පත් තීරණය කිරීමේ නිදහස හේතුවෙනි. විවිධ දරුවන්ට අවශ්‍ය විවිධ වූ අධ්‍යාපන ක්‍රම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ ඉඩ කඩ ඔවුන්ට හිමි වී තිබේ.

ලොව අංක එකේ අධ්‍යාපනය තිබෙන රාජ්‍යය වශයෙන් සැලකෙන නමුදු ඔවුන් එයින් නොසෑහී තව තවත් අත් හදා බැලීම්වල යෙදෙන්නේ ඇයිදැයි යමෙකු අසන්නට පුළුවන. සැබැවින්ම ඔවුනගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ එතැන ය. අලුතින් හිතන තරමට, අධ්‍යයනය කරන තරමට ප්‍රතිඵල ඉහළ බැව් ඔවුන්ගේ අදහසයි.

2021 ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ යටතේද අලුත් හඳුන්වා දීම් ගණනාවක් ද සිදු කර තිබේ. ඉන් එකක් වන්නේ පාසලේදී සිදුවන හිරිහැර කිරීම් (Bullying ) අවම කර ගැනීම පිළිබඳව වූ යෝජනාවයි. මේ කාරණයේදී එරට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයට අධිකරණ , අභ්‍යන්තර කටයුතු , සමාජ සම්බන්ධතා හා සෞඛ්‍ය යන අමාත්‍යංශවල සහයෝගය හිමිවී තිබේ. බොහෝ බටහිර හා පෙරදිග රටවල අධ්‍යාපනය හා බැඳුණු ප්‍රශ්නයක් වන්නේ හිංසනය හා පීඩාවයි. එබඳු ගැටලු අවම රාජ්‍යයක් වන පින්ලන්තයේ අරමුණ වන්නේ එය බිංදුවක් බවට පත් කර ගැනීමයි , නො එසේම මුලිනුපුටා දැමීම යි.

ඒ සඳහා පූර්ව ළමා වියේ පටන්ම සිසුන්ගේ චිත්තවේගික බුද්ධිය හා සමාජයීය කුසලතා දියුණු කිරීම මේ යටතේ ඔවුන්ගේ අවධානයට යොමු වී තිබේ. මේ හා සම්බන්ධව සිසුන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම පහසු කරනු පිණිස ගුරුවරුන් වෙත විශේෂ පුහුණු අවස්ථා ලබාදීම ද එකී සැලසුම්වලින් එකකි. එමෙන් ම අවශ්‍යතා පරිදි පාසල්වලට මනෝවෛද්‍යවරුන් අනුයුක්ත කිරීම ද මේ වැඩපිළිවෙළේ වැදගත් කොටසකි.
අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස් මට්ටම ඉහළ දමා ඇති අතර මූලික අධ්‍යාපනය හමාර කරන සෑම තැනැත්තෙකුටම ඉනික්බිති ද්විතීයික හෝ වෘත්තීයමය අධ්‍යාපනයක් ලැබීමේ දොර විවර වෙයි. එහිදී නොමිලයේ උපදෙස් , නොමිලයේ දිවා අාහාරය, අවශ්‍ය පෙළපොත් හා අධ්‍යාපනයට අදාළ ද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය නම් ඇඳුම් පැලඳුම් පවා ඔවුන්ට නොමිලේ ලැබෙයි.

ෆින්ලන්තයේ මේ අධ්‍යාපන පද්ධතිය මේ ආකාරයෙන් එක දිගට ඉහළ නැංවෙන්නේ 1970 පමණ සිටය. එහි ප්‍රතිඵලය ඔවුන් අද භුක්ති විඳින්නේ 99.5%ක සාක්ෂරතාවක් සමගිනි. වාර්ෂිකව ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය යුරො බිලියන 11.9 කි. එරට ශිෂ්‍ය ප්‍රජාවෙන් 66.2%ම උපාධි අධ්‍යයනය කරා යොමු වෙති.

සමස්තයක් වශයෙන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සලකා බැලීමේදී ප්‍රමුඛතාව දී ඇත්තේ දරුවාගේ මානසික නිදහසට සහ පරිසරය ආශ්‍රිතව අත්දැකීමෙන් ලැබෙන අධ්‍යාපනයටයි. එක්තරා ආකාරයකින් බැලූ විට එම ක්‍රමය මීට දශක හය හතකට ඉහතදී ලංකාවේ තිබූ අධ්‍යාපනික පරිසරයට බොහෝ දුරට සමාන නොවන්නේ දැයි යන්නද සිතෙන්නේය.

පාලිත ජයකොඩි