හේවිසි ගසන්නන්ට මළබෙර වැයේ
06 February 2021
හේවිසි ගසන්නන්ට මළබෙර වැයේ
06 February 2021
සී. ද එස්. කුලතිලක වරක් ජර්මනියට ගියේ මෙරට සාම්ප්‍රදායික හේවිසි වාදකයන් පිරිසක්ද සමගය. එය ජර්මනියේ විවිධ රටවලින් පැමිණි සාම්ප්‍රදායික වාද්‍ය ශිල්පීන් සඳහා කරන ලද ආරාධනයක් විය. මේ සම්ප්‍රදායික වාද්‍ය ක්‍රම සමුළුව ආරම්භයෙන් පසු චීනය, රුසියාව, නේපාලය, බංග්ලාදේශය මෙන්ම ඉන්දියාවද ඉදිරිපත් විය. ඒත් ඒ එක සාම්ප්‍රදායික වාදනයක් සමුළුවට අල්ලා ගියේ නැත. ඊට පසු ආවේ මකුලොලුවගේ නිර්දේශය පිට ලංකාවෙන් ආ සාම්ප්‍රදායික හේවිසි, බෙර ශිල්පීන්ට නායකත්වය දුන් සී. ද එස්. කුලතිලකගේ වාරයයි.
ලංකා බිමින් ආ සම්ප්‍රදායික හේවිසි වාදකයන් දවුල් බෙර, තම්මැට්ටම්, හොරණෑ ආදී අපේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ උපයෝගි කරගෙන හේවිසි වාදනය ආරම්භ කළ සැණින් ඉන්දියාවෙන් ආ වාදකයන් පවා මවිතයට පත්වන්නට විය. ලොව පුරා රටවලින් ජර්මනියට ආ සම්ප්‍රදායික වාද්‍ය කණ්ඩායම් ලංකාවේ නොහොත් සිලෝන් එකෙන් ආ පිරිසගේ හේවිසි වාදනය අසා කෙතරම් අමන්දානන්දයට පත්වීදැයි කිවහොත් උත්සවයට පැමිණ සිටි ජර්මානු ජනරජයේ රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීම පිට නැවත වතාවක් හේවිසි වාදනයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ හේවිසි ශිල්පීන්ට සිදුවිය.
පසුගිය මාර්තුවේ ලංකාවේද පැතිර ගිය කොරෝනාවෙන් පසු මෙරට සම්ප්‍රදායික හේවිසි වාදන ශිල්පීන් දැඩි දුෂ්කරතාවට පත්වී ඇති බව අපට පසුගිය සතියේ දැනගත හැකිවුයේ අහම්බෙනි. මේ ගැන සොයා බලද්දී අපට පෙනී යන්නේ හේවිසි වාදනය කරන මළ ගෙවල්, දාන ගෙවල්, පිරිත් ගෙවල් ආදී ස්ථානවල හේවිසි වාදනයට පීඑච්අයිතුමා නොහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඉඩ නොදීම මෙම අර්බුදයට හේතුවී ඇති බවය. කොළඹ නගරයේ අතමිට ඇති දේශපාලන බලය ඇති ලොකු පන්සල් කීපයක ඇවිදීමෙන් පසු අපි ගාලු පාර දිගේ ගල්කිස්ස පසු කරමින් සිටින විට අවමංගල පෙරහරකට එක්වීමට පැමිණ සිටි හේවිසි කණ්ඩායමක් දැකගත හැකි විය.
එතැන හේවිසි කණ්ඩායමේ නායකයා මෙන් සිටියේ ටී. ශාන්තය. ඔහු අප යන වෙලේ නළාව නොහොත් හොරණෑව අතපත ගාමින් සිටියේය. තවත් ශිල්පීන් දෙදෙනකු කුරුප්පුටිටුව නොහොත් තම්මැට්ටම හා පාහණ නොහොත් දවුල කරේ එල්ලාගෙන සිටියෝය. ඔවුන් සියල්ලන් සිටියේ මාස්ක් නොහොත් මුඛවාඩම් පැලඳගෙනය. හොරණෑව පිඹින ශාන්ත පමණක් මුඛවාඩම පාත් කොට කට හා නාසය විවෘත කරගෙන සිටියේය. සියල්ලන් සැරසී සිටියේ අත් කොට සුදු ෂර්ට්වලිනි. ඔවුන් සුදු සරම ඇඳ එක් අයකු දිය ලණුවකින් එය බෙල්ට් එක මෙන් බැඳගෙන තිබුණ අතර පරණ තාලේ බෙල්ට් සමහරු සරමේ රඳවාගෙන තිබුණි. මේවායේ කොනක් ෂර්ට් කොන අස්සෙන් දිස්වුණි.
‘‘මගේ ගම මැදවච්චිය. අපේ පරම්පරාව ජයශ්‍රී මහා බෝධිය, අටමස්ථානයට තේවාවන් පවත්වන්න හේවිසි ගහන අය. විහාරහල්මිල්ලෑව, විහාර බුලංකුලම, විහාර තිරප්පනේ වගේ ගම්මානවල ඉන්න අපේ පරම්පරාවේ අයට නම් කොවිඩ් නිසා හේවිසි තහනමක් නැහැ.’’
‘‘එතකොට කොළඹ ආවේ කොහොමද?’’
‘‘අපේ සීයලා කළුතරට මෙහා වස්කඩුවට ඇවිත් පදිංචි වුණා. ඒ කියන්නේ අම්මගේ තාත්තා. ඒ පැත්තේ තමයි මේ කලාව රැකිලා තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෝ ඉන්නේ. අර බන්ධනාගාරේ උස තාප්පයේ උඩට බල්ටි ගහපු ‘මලකටුවා’ ත් අපේ ගමේ.’’
‘‘ඔය හේවිසියක් ගහන්න කීදෙනෙක් වගේ ඉන්න ඕනද?’’
‘‘අඩුම ඉතින් තුනක් තමයි. වියදම් කරන්න පුළුවන් විදිහට තුන, හය, පහළොව, විස්ස වුණත් එකතු කරගන්න පුළුවන්.’’
‘‘දැන් කොවිඩ් හින්දා ආදායමක් නැද්ද?’’
‘‘අද ආවේ කළුතර ඉඳන් බස් එකේ. වැඩේ පාඩුයි, මේ ආවේ ගල්කිස්සේ මළගෙදර හේවිසි ගහන්න. ගොඩක් තැන්වල හේවිසි ගහනකොටම පීඑච්අයි මහත්තයා ඇවිල්ලා නවත්වනවා. හේවිසි ගහනකොට මිනිස්සු එක්රැස් වෙනවා වැඩියි කියලා. මොකෝ මේ හේවිසි ගහනකොට එකතු වෙන මළගෙදර කට්ටිය බදාගෙන බ්‍රේක් ඩාන්ස් දානවද? පීඑච්අයිලා කියන්නේ මිනිස්සු දුරස්ථ භාවය තියා ගන් නැතුව ළංවෙන හින්දා හේවිසි ගහන්න දෙන්න බෑ කියලා.’’
අපේ මේ හේවිසි කණ්ඩායම් සොයා ලුහුබැඳීමේ මෙහෙයුම ගාලු පාරේ අතුරු පාරවල් කීපයකින් කළුතරට ටිකක් ළංවනතුරුත් සිදුවිය. මෙහිදී අප සමග කතාබහට එක් වූ ආයතන හිමියන්, හේවිසි ශිල්පීන් බොහෝය. මංගල පෝරු කුලියට දෙන තැන්, මංගල උත්සව සංවිධානය කරන ආයතන, පන්සල් මෙන්ම අවමංගල්‍ය ආයතන පවා හඹා ගොස් තොරතුරු ලබාගැනීමට අප අමතක කළේ නැත.
මේ ගමනේදී අපට මේ හේවිසි ගැසීමට උපයෝගි කරගන්නා භාණ්ඩ ගැන පැහැදිලි අවබෝධයක් ඇති විය. එනම් මේ වාද්‍ය භාණ්ඩ වන දවුල් බෙර, තම්මැට්ටම්, හොරණෑ ආදී සියල්ල මේ ශිල්පීන්ම සාදාගත් ඒවා බවය. මේ වාද්‍ය භාණ්ඩ කොතැනකවත් විකිණීමට දක්නට නොලැබේ.
අප එක් පන්සලකට පියනගන විට අපට දැකගත හැකි වූයේ දින කීපයකට පෙර අපවත් වී තිබුණ නායක හිමි කෙනකු ගැන බැනර් කීපයක් හා කහ පැහැති කොඩිය. අප එම පන්සලට යනවිටත් නායක හිමියන්ගේ ආදාහනය සිදුවී දිනක් ගතවී තිබුණි.
‘‘නායක හාමුදුරු කෙනකුගේ දේහයක් වැඩම කළාම පැය 12ක් එකදිගට හේවිසි ගහනවා වගේ චාරිත්‍ර විවිධ පැතිවල තියෙනවා. දායක සභාවේ මැදිහත් වීමෙන් තමයි හේවිසි නවත්වන්න කියලා පීඑච්අයි මහත්තයලා කිව්වම නොනවත්වා ඒ හේවිසි වාදනය කරගෙන ගියේ.’’
අප සමග එතැන සිටි හේවිසි වාදකයකු කතාවට වැටුණේ දැඩි මිත්‍රශීලීවය.
‘‘දැන් මහත්තයෝ, සමහර මිනී සොහොන් කළාම සමහර පළාත්වල හේවිසි ගහන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ඔළු කට්ට පුපුරනකොට රෑ දොළහ විතර වෙනවා. එතකම් අපි හේවිසි ගහනවා, නොනවත්වා මාරුවෙන් මාරුවට. අපිට අතට ගාණක් ආවේ ඒ වගේ වැඩවලින්. දැන් පීඑච්අයිලා ටික වෙලාවක් හේවිසි ගහනකොට යන්න කියනවා. එහෙමත් දේශපාලන බලයක් තියෙන තැනක තමයි ඔළු කට්ට පුපුරනකම් හේවිසි ගහන්න වෙන්නේ.’’
මේ හේවිසි වාදන ශිල්පීන් කියන්නේ තමන්ගේ ඊළඟ පරම්පරාවටද මේ හේවිසි වෘත්තියට පිවිස ඇති බවය. නමුත් අපට නම් මේ හේවිසි ගහන පිරිස් අතර දැකගන්නට හැකිවුණේ අවුරුදු 20ට අඩු එක කොලු ගැටයකු පමණි.
‘‘මේක මහා ගෞරවනීය වෘත්තියක්. මස්, මාළු කාලා, කිලි ගෙවල්වල ගිහින් කවදාවත් අපි හේවිසි ගහන්නේ නෑ. මේක දෙවියන්ට කන්නලව් කරලා පුද පූජා පවත්වලා පටන් ගන්න එක අපේ සීයලා මුත්තලා අපිට අත්පොත් දෙනකොට දීපු ගුරුකම්. කවුහරු හරි බීලා හේවිසි ගහනවා නම් ඒක අකැප දෙයක්. හේවිසි ගහලා ඉවර වෙලා නම් ඉතින් මාත් පොඩ්ඩක් ඇඟේ අමාරුවට දාගන්නවා.’’
මොරටුව, ලුනාව ප්‍රදේශයේදී අප සොයා ගිය හේවිසි වාදකයකු තමන්ට වූ අවනඩුව අපට කීවේ මෙසේය.
‘‘මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. හේවිසි ගහන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? දැන් මේ රස්සා කරලා පඩි ගන්න අයටත් ජීවත් වෙන්න බැරිකොට. දැන් තියෙන වියදම් හැටියට බැංකුවක් මංකොල්ල කාලත් මදි. දවසක් අපේ කට්ටිය හේවිසි ගහනකොට පීඑච්අයි නැවැත්තුවා. මං ඇහුවා එහෙම නියෝගයක් තියෙන්නේ කොහේද කියලා. ඒ වෙලාවේ රාජකාරියට බාධා කරයි කියලා උසාවි දායි කියලා හේවිසි ගහන අය පීඑච්අයිලාත් එක්ක ගේම ඉල්ලන්නේ නෑ.’’
මේ හේවිසි වාදකයන් අතර කතාබහට බර උදවියද සිටී. හරියට රේඩියෝ එකක් දැම්මා වාගේ පරණ සිදුවීම් මතක් කොට එම සිදුවීමට අප සිනාසීමටත් පෙර තමාම ඇති පමණට තනියෙන් සිනාවීම ඔවුන්ගේ සිරිතය.
‘‘ඔන්න වැලිගම මැරිච්ච අම්මා කෙනෙක්ගේ මිනියක් ගෙනිච්චා පාලටුවට. මිනිය ගෙනාවම අපි හේවිසි ගහන්න බලන් හිටියා පීඑච්අයි අවසර දෙනකම්. මැරිච්ච අම්මගේ පුතෙක් යකැදුරෙක්. මිනිය අල්ලලා බලලා අම්මා මැරිලා නෑ කියලා දෙහි කොළ ගෙනැල්ලා පණ ගන්නවා කියලා මොකක්ද පූජාවක් තියන්න ගත්තා. දෙහි කපලා, ලී පුටුවක පුවක් මල් එල්ලලා මල් බුලත් තට්ටුවක් පෙරේත තට්ටුවක් තියලා.’’
‘‘ඉතින් මැරිච්ච අම්මට පණ ගත්තා?’’
‘‘නැහැ, ටිකක් වෙලා ගියාම මල් ශාලාවේ මිනිය ගෙනාපු කට්ටිය ළඟ ගේකට ගිහිල්ලා හොඳටම බීලා ආවා. මැරිච්ච අම්මගේ පණ ගන්න යන පුතාගෙන් විස්තරේ ඇහුවා. පුතාට දුන්න උත්තරේට අපිටත් හිනා ගියා.’’
‘‘ගුරුන්නාන්සේ අම්මට පණ අරන් දුන්නා නම් කමක් නැහැ. අම්මගේ එම්බාම් එකට ඉස්සෙල්ලා බඩවැල් බොකු ඔක්කොම අපි වැලිගම කැරකෝප්පුවක වළලයි ආවේ කිව්වා.’’
මේ හේවිසි ශිල්පීන් කියන්නේ කොවිඩ් ඇඳිරි නීතිය සමයේ තම තම්මැට්ටම්, දවුල් බෙර මීයන්ගෙන් මෙන්ම කෘමි සතුන්ගෙන් බේරාගත්තේ බොහොම අමාරුවෙන් බවය.
‘‘මේ බඩු නිකන් තිබ්බම ටියුන් එක බහිනවා. ඇඳිරි නීතිය නිසා ටියුන් කරලා යන්තම් කාටවත් නොදැනෙන ගාණට පදම් කළා. ඇඳිරි නීතිය නිසා සද්දේ දාන්නත් බැහැනේ.’’
මේ හේවිසි ශිල්පීන් කියන්නේ දළදාවට සම්බන්ධ වීමට දක්ෂතාවය මෙන්ම පෙර පිනද තිබිය යුතු බවය. ඔවුන් පවසන්නේ එසේ සම්බන්ධ වූවා නම් තමන්ට මෙවැනි ඉරණමක් අත් නොවන බවය.
‘‘දළදා පෙරහරට පිටතට වැඩමවන පෙරහර කරඬුව නැවත තැන්පත් කරනකම් හේවිසි ගහන එක නවත්වන්න බෑ. අලි කුලප්පුවක් ආවත් නීතිය එකයි. පරම්පරාවෙන් නායකයා වූ හේවිසි නායකයාට විතරයි දවුලේ සවරම් බඳින්න පුළුවන්. වෙන කෙනෙක් බැන්දොත් අත කපලා බෙල්ලේ එල්ලන්න තමයි රාජ නියෝගයේ තියෙන්නේ. ඒකෙන්ම තේරෙනවා නේද මේක රජ කාලේ ඉඳන් එන ගෞරවාන්විත වෘත්තියක් බව.’’
අපට මේ හේවිසි ශිල්පීන් සමග කතාබහේදී පෙනී ගියේ මඟුල් ගෙවල්වලට හේවිසි තහනම් කිරීම හා ආරාධිතයන් 50කට සීමාවද තම ජීවන උපායමාර්ගයට මරු පහරක් වී ඇති බවය. මේ හේවිසි සඳහා යොදාගන්නා පදවැල් ග්‍රාන්ථාරූඪව ඇතිදැයි අප ඇසුවත් කිසිවකුට ඒ ගැන අවබෝධයක් නොවීය. නමුත් අවසානයේ මේ ශිල්පීන්ගේ ඒකමතික තීන්දුව මෙවැනි එකක් විය.
‘‘කලායතනවල කලාකරුවන්, දාන මාන, මංගල අවමංගල උත්සවවල හේවිසි ගහන අයට යන එන මං නැහැ. රජයෙන් කිසිම සහනයක් නැහැ. මේ කලාකාරයන්ට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. අපිට දැන් මැරෙන්නේ මෙහෙමෙ ගියොත් කොරෝනාවෙන් නෙවෙයි, බඩගින්නේ. ඒ නිසයි අපි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, සෞඛ්‍ය බලධාරීන්ටත් කියන්නේ හේවිසි ගහන අයට තමන්ගේ රස්සාව කරගෙන යන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න කියලා.’’
වජිර ලියනගේ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන