brand logo
logo

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ හිඟයට තවම පියවරක් ගෙන නැහැ - රාජිත කියයි

17 February 2020

දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය හිඟය වැලැක්වීම සඳහා විධිමත් පියවරක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කළුතර ප්‍රදේශයේදී හමු වූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය සෞඛ්‍ය අමාත්‍යංශය වර්තමානයේ ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. පිළිකා, හෘද රෝගීන් ඇතළු රෝගී සත්කාර සේවා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග රැසක් රෝහල් වල නැහැ. ඖෂධ වර්ග 300ක පමණ හිඟයක් ඇති බව වාර්තා වෙනවා. මෙවැනි ඖෂධ හිඟයක් කිසිදු දවසක සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් වාර්තා වී නැහැ.වත්මන් රජය බලයට පත් වූ පසු ඖෂධ සැපයුම්කරුවන්ට කිසිදු මුදලක් ගෙවා නැහැ. ඔවුන් ප්‍රකාශ කරනවා පසුගිය රජය සමයේදී කොටස් වශයෙන් හෝ මුදල් ලැබුණු බව. 2015 වසරේදී යහපාලන රජය රට භාර ගන්නා විට රුපියල් බිලියන 181ක මුදලක් ගෙවීමට තිබුණා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලොකු මුදලක් ගෙවීමට තිබුණා. නමුත් අපි හිඟ මුදල් ගෙවමින් ආණ්ඩුව පවත්වාගෙන ගියා. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරනවා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් බිලියන 14ක මුදලක් ගෙවීමට ඇති බව. විවිධ ප්‍රකාශ නිකුත් කරමින් පසුගිය රජයට චෝදනා කරමින් නොසිට අහිංසක රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා දීමට පියවර ගන්නා ලෙස මම සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිනවා. ඖෂධ ගෙන්වීම සඳහා වත්මන් රජය යටතේ කිසිදු ණයවර ලිපියක් විවෘත කර නැහැ. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.  
 

More News..