විශේෂාංග

සහරාන් මරාගෙන මැරෙන්න හේතුව හෙළිවෙයි

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හේතු වූ එකිනෙකාට බද්ධ වූ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සාධක පිළිබඳව කරන ශාස්ත්‍රීය විශ්ලේෂණයක් ඔස්සේ අවසන් කොමිෂන් වාර්තාව කියවීමේ පස්වන කොටසයි මේ. මෙම කොටසේ සාකච්ඡා කෙරෙන්නේ දැඩි ලෙස සංවිධාන ගත වූ ඉස්ලාම් අන්තවාදී කල්ලි පාස්කු ප්‍රහාර මාලාව එල්ල කිරීම සඳහා සූදානම් වූ ආකාරයයි.

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව 2019 මුල් කාර්තුවේ කිරීමට ජාත්‍යන්තර සාධක කිහිපයක් බලපා තිබේ යැයි නිගමනයකට එළැඹිය හැක. 2015 වන විට ඇමරිකානු සහ බටහිර යුරෝපා හමුදා ISIS සංවිධානයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කර ගත නොහැකි තත්ත්වයක පසුවිය. මෙම ත්‍රස්තවාදීන්ගේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා සිරියාවේත්, ඉරාකයේත්, ලිබියාවේත් පැවැති සිවිල් යුද්ධවලට රුසියාව, තුර්කිය සහ ඉරානය අවතීර්ණ වූයේ මෙම අවස්ථාවේදීය. එයට හේතුව වූයේ IS අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය එම රටවලටද රිංගා තිබීම සහ කෙමෙන් එම රටවල ස්ථාවරත්වයට අභියෝගයක් වී තිබීමයි. රුසියානු, තුර්කි සහ ඉරාන හමුදා එක්ව එල්ල කළ ප්‍රහාර IS අඩපණ කිරීමට බෙහෙවින් උපකාරි විය.

2017 දෙසැම්බර් වන විට IS සංවිධානය නතු කරගෙන තිබූ භූමි ප්‍රමාණයෙන් 95%ක්ම ඉරාකයටත්, සිරියාවටත්, ලිබියාවටත් යළි අත්පත් කර දීමට මෙම හමුදා සමත් විය. IS සංවිධානයේ ග්‍රහණයට පත්වී තිබූ විශාලතම ප්‍රදේශය වූයේ ඉරාකයේ දෙවැනියට විශාලතම නගරය වන මෝසුල් නගරයත් ISහි නාවික අගනුවර වූ උතුරු සිරියාවේ රඛා ප්‍රදේශයන්ය. රුසියානු තුර්කි සහ ඉරාන මැදිහත්වීම නිසා මෙම ප්‍රදේශ දෙකම IS සංවිධානයට අහිමි විය. 2017 දෙසැම්බර් 9 වැනිදා ඉරාක අගමැති හෙදර් අල් අබාදි විසින් ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේය. එහෙත් මෙනිසාම තම ව්‍යාප්තිය සහ බලය ලෝකයට පෙන්වීම සඳහා IS සංවිධානය ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය ඇතුළුව ලොව පුරා ප්‍රහාර එල්ල කරමින් සිටියේය.

2018 වන විට IS සංවිධානය වැඬපැවැත්වීමේ සටන කේන්ද්‍රගත වූයේ නැගෙනහිර සිරියාවටයි. මෙහිදී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවට (SDF) ඇමරිකාවේ සහාය ලැබී තිබුණි. 2018 දෙසැම්බර් 14 වන විට සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසින් නැගෙනහිර සිරියාවේ හජින් නගරය අල්ලා ගැනීමත් සමග IS ඉස්ලාමීය රාජ්‍යයේ ඉරාක – සිරියානු දේශ සීමාව අසල යුප්‍රටීස් ගඟ අසබඩ පිහිටි ගම් කිහිපයකට සීමා විය. මේ අවස්ථාවේදී එවකට සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් IS සංවිධානය පරාජය කළ බව ප්‍රකාශ කරමින් සිරියාවේ SDF හමුදාවට දුන් සහය සහ ඇමරිකානු භට පිරිස් 2000ක් ඉවත් කරගත්තේය. එහෙත් IS සංවිධානය තම ක්‍රියාකාරකම් නොනවත්වා පවත්වාගෙන ගියේය. අවසානයේදී රුසියානු, තුර්කි සහ ඉරාන හමුදා එක් දෙසකින්ද, SDF තව දෙසකින්ද පැමිණ IS කේන්ද්‍රයේ අවසාන බළකොටුව වූ සිරියාවේ බාගුස් ප්‍රදේශය වටලා ප්‍රහාර එල්ල කළහ. 2019 මාර්තු 23 වැනිදා බාගුස් නගරය IS ග්‍රහණයෙන් මුදවා ගැනීමට මෙම හමුදා සමත් විය.

සිරියාවේ IS අන්තවාදී ත්‍රස්ත පිරිස සහ ඔවුන්ගේ පවුල් විශාල වශයෙන් හමුදා සංවිධානයට යටත් වූහ. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කේන්ද්‍රව තිබූ ISIS සංවිධානය විශාල වශයෙන් අඩපණ වූයේ 2019 ඔක්තෝබර් මාසය වන විටය. 2018 -2019 කාලය තුළ රුසියානු තුර්කි – ඉරාන හමුදා ප්‍රමුඛ හමුදා සංවිධාන මගින් කරනු ලැබුවේ IS  සංවිධානයේ හදවත වූ ඉරාකය සහ සිරියාවේ බළකොටු බිඳ දැමීමයි.

එයින් අදහස් වන්නේ IS ක්‍රියාකාරකම් අඩපණ වූවා මිස IS සම්පූර්ණයෙන් බිඳ වැටීම නොවේ.ඒ වන විටත් IS සංවිධානය ඊජිප්තුව, ඇෆ්ගනිස්ථානය, පිලිපීනය, ඉන්දියාව සහ පාකිස්තානය වැනි රටවලටද ශ්‍රී ලංකාවටද රිංගා තිබුණි. ශ්‍රී ලංකාවේදී පාස්කු ප්‍රහාරය එල්ල වූයේ මෙවැනි ජාත්‍යන්තර පසුබිමකය. IS කේ්න්ද්‍රය අඩපණ වූවද IS සංවිධානය ලොව පුරා ගොඩනගා ඇති තරල ව්‍යුහය පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ ප්‍රචණ්ඩ ඉස්ලාමීය අන්තවාදයෙනි. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඔවුන්ගේ මූලික පරමාර්ථය වන නිසා ලොව කිසියම් රටක මුස්ලිම් ආගමිකයන් හට කිසිදු හිංසාවක් හෝ තර්ජනයක් එල්ල වේ නම් ඒ සඳහා පළිගැනීම ඔවුන් සතු වගකීමක් ලෙස IS අන්තවාදීන් සලකති.

2019 මාර්තු 15 වෙනිදා නවසීලන්තයේ ක්‍රයිට්ස් චර්ච් නුවර මුස්ලිම් පල්ලියක් ඇතුළත නවසීලන්ත සුදු ජාතික අන්තවාදියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් යාඥා කිරීම සඳහා පල්ලියට පැමිණ සිටි මුස්ලිම් බැතිමත්තු 19 දෙනෙක් මිය ගියහ. මෙම වෙඩි ප්‍රහාරය විසිරී ගොස් තිබූ IS සංවිධානයට උත්පේරකයක් විය. වහා ක්‍රියාත්මක වූ IS සහ අල් කායෙදාට සම්බන්ධ ත්‍රස්ත සංවිධාන කියා සිටියේ ‘මුස්ලිම් ලේ සෙලවීමේ පලිය’ ගත යුත්තේ මුස්ලිම් නොවන අය මරා දැමීමෙන් බවයි.

මෙම අන්තවාදී මතවාදය සහරාන් හෂීම් 2019 අප්‍රේල් 20 වැනිදා පටිගත කළ වීඩියෝ පටයෙනුත් පිළිබිඹු වේ. එම වීඩියෝ පටයේ සහරාන් පාස්කු ප්‍රහාර එල්ල කිරීමට ජාත්‍යන්තර හේතූන් 4ක්ද, ජාත්‍යන්තර වශයෙන් ඔහුට අනුව සිදුව ‘මුස්ලිම් ලේ සෙලවීමේ පළිය’ ශ්‍රී ලංකාවේ අහිංසක පුරවැසියන්ගෙන් ගැනීමට හේතු 10ක්ද ප්‍රකාශ කරයි.

සහරාන්ගේ වීඩියෝ පටයට අනුව පාස්කු ප්‍රහාරයට මූලික වන හේතු 4 වනුයේ,

1. අල්ලා දෙවියන් වෙනුවෙන් තම මුස්ලිම් ප්‍රජාවට පමණක් ආදරය කිරීමත් සහ අල්ලා දෙවියන් වෙනුවෙන් මුස්ලිම් නොවන අයට වෛර කිරීම.

2. නැගෙනහිර සිරියාවේ බාගුස් ප්‍රදේශයේ IS ඉස්ලාමීය රාජ්‍ය බිඳ දැමීමට රටවල් 80ක සන්ධානය ගෙන ගිය ප්‍රහාරවලට පළිගැනීම.

3. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි වූ ඝාතනය ප්‍රංශය, ඇමරිකාව, රුසියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රායලය සහ වෙනත් යුරෝපීය රටවල් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය සහ හිංසනය සහ එවැනි රටවල් ඉරාකයේ මෝසුල් නුවර, සිරියාවේ රඛා නුවර සහ ලිබියාවේ සිරිපිටි නුවර ගෙන යන මෙහෙයුම්වලට පළිගැනීම.

4. මුස්ලිම් ප්‍රජාව හිංසනයට, දූෂණයට සහ ඝාතනය කරන සහ කුරානය ඉරා දමන මෙම රටවල පුද්ගලයන් සංචාරකයන් ලෙස නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔයුන් මරා දැමීම.

මෙම මූලික හේතුන්වලට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රහාරයක් එල්ල කිරීම සහරාන් විසින් පහත කරුණු ප්‍රකාශ කළේය.

1. අල්ලා දෙවියන්ට මේ රටේ යම් පුද්ගලයන් බැණ වැදීම හෝ අගෞරව කිරීම.

2. කුලියාපිටිය ප්‍රදේශයේ පැවැත්වුණු උද්ඝෝෂණයකදී ඌරකුගේ ඡායාරූපයක් රැගෙන එය ‘අල්ලා’ යැයි නම් කොට පෙළපාළි යෑම.

3. ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ අල්ලා දෙවියන් පුනරුත්පත්තියක් ඇතැයි කළ ප්‍රකාශය.

4. නබිතුමාට බැණ වැදීම සහ අපහස කිරීම.

5. කුරානය ඉරා දැමීම සහ ගිනි තැබීම.

6. මුස්ලිම් පල්ලි විනාශ කිරීම.

7. මුස්ලිම් ප්‍රජාවගේ ආර්ථිකය විනාශ කිරීම සහ ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීම.

8. බුද්ධි අංශ නිලධාරීන් විසින් මුස්ලිම් කාන්තාවක් දූෂණය කිරීම සහ එය වසා දැමීම.

9. ජාත්‍යන්තර කුරුස යුද්ධයේදී බටහිර අප්‍රිකානු සටන්වලට ශ්‍රී ලංකාව සහාය දැක්වීම.

10. අල්ලා දෙවියන් විසින් ඉස්ලාම් නොවන අය මරා දැමීමට දී ඇති නියෝගය.

මෙම හේතුන් ප්‍රකාශ කිරීමේදී සහරාන් සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලදී දිගන සහ බේරුවල ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාවට වූ අලාභ හානිද සඳහන් කරයි. අල්ලා දෙවියන් වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම උතුම් වීරෝධාර මරණයක් බව ඔහු සඳහන් කරයි. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවිය හැක්කේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මස්, ලේ සහ ඇටකටු පූජාවෙන් බවත් ඉන්දියාවේ IS ත්‍රස්තවාදීන් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් තමන් ගෙන යන බවත් සහරාන් ප්‍රකාශ කරයි. සහරාන් ඇතුළු සගයෝ අවසානයට පටිගත කළ වීඩියෝවේ IS සංවිධානයට සහ එහි එවකට සිටි  නායක අබු බකර් අල් බග්දාදිට ප්‍රතිඥාවක් දෙති. එහිදී ඔවුන් පවසන්නේ බග්දාදි, නබිතුමාගේ ගෝත්‍රය වන ‘කුරේෂ්’ ගෝත්‍රයෙන් පැවැතෙන බවත් එනිසා බග්දාදි ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට සුදුසු බවත්ය.

සහරාන් ඇතුළු අනෙක් IS ත්‍රස්තවාදීන් පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා රැස්වූයේ 2019 මාර්තු 27 වැනිදා පානදුරේ පැරැත්ත පාරේ පිහිටි ‘නස්මියා විලා’ නමැති සුරක්ෂිත ස්ථානයේය. මෙයට සහරාන්, නව්ෆර් මවුලවි, මුවාත්, සමීර්, ඊබ්‍රාහිම් සහෝදරයෝ ඇතුළු තරමක පිරිසක් රැස්විය. මෙය හඳුන්වන්නේ ‘ශුරා සභාව’ යනුවෙනි. මෙහිදී මිල්හාන් නමැති IS ත්‍රස්තවාදියා සහරාන් වෙනුවට නව්ෆර් මවුලවී කල්ලියේ නායකයා විය යුතු බව පැවැසුවද දෙමටගොඩ ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම්ගේ පුතු ඉල්හාමි එ්කට විරුද්ධ විය. ශ්‍රී ලංකාවේ මෙම IS සංවිධානයට මූල්‍ය බලය දෙන්නේ ඔහු බවත් එනිසා ඔහුගේ ගෞරවයට පාත්‍ර වී සිටි සහරාන්ට තම සහාය දෙන බවත් ඉල්හාම් පැවැසුවේය. මේ රැස්වීමේදී සහරාන් හෂීම් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ශ්‍රී ලංකාවේදී පළිගත යුතු බව අවධාරණය කළේය.

සහරාන්ගේ සහෝදර රිල්වාන් පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් බෝම්බ සෑදීමේ නිරතවන බවත් එම බෝම්බ දින 15ක් අතර තුර කල් ඉකුත්වීමට පෙර භාවිත කළ යුතු බවත් ඔහු පැවැසුවේය. රිල්වාන්, හෂ්තූන් සහ ඉල්හාම් ඉබ්‍රාහිම් යන IS ත්‍රස්තවාදීන් බෝම්බ සෑදීම ඉගෙනගෙන තිබුණේ අන්තර්ජාලයේ ලිපි කියවීමෙන් සහ වීඩියෝ බැලීමෙන්ය. මෙම රැස්වීමේදි සහරාන් පැවැසුවේ සංචාරක හෝටල්, කතෝලික පල්ලි සහ කැසිනෝවලට ප්‍රහාර එල්ල කිරීමත්, මීගමුව ප්‍රදේශය ඉලක්ක කිරීමත් වැදගත් වන බවයි. මෙහිදී ‘මුවාත්’ කියා සිටියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර තම නිවස අසල පිහිටි බැවින් එයට ප්‍රහාරය කිරීම සඳහා තමන්ට හැකි බවත්ය. සහරාන් පාස්කු ප්‍රහාර මාලාව සැලසුම් කර තිබුණේ අදියර 3කින්ය. අදියර වූයේ එක් බෝම්බකරුවකු මාර්ගයෙන් බෝම්බ පිපිරීමය. පළමුවැනි පිපිරීමෙන් විසිරි යන අය මරා දැමීම සඳහා දෙවැනි බෝම්බකරුවකු මාර්ගයෙන් තවත් බෝම්බ පිපිරීම දෙවැනි අදියරයයි. තෙවැනි අදියර වූයේ තුවාලකරුවන් රෝහලට ගෙන යන විට ඔවුන් ඉලක්ක කර තවත් ප්‍රහාරයක් එල්ල කිරීමය. මෙම අදියර තුනෙන් වැඩි පිරිසක් මරා දැමීමට හැකි බව සහරාන්ගේ මතය විය. එහෙත් සහරාන්ගේ අදියර තුනේ සැලැස්ම එලෙසම ක්‍රියාත්මක වූයේ නැත. අදියර තුනෙන් දෙකක් වූයේ කොළඹ ශැංග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී පමණි.

සෙසු ප්‍රහාර සෑම එකක්ම ක්‍රියාත්මක වූයේ පළමුවැනි අදියර පමණි. මෙයට හේතුව සහරාන් සිතූ පරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම විය හැකි බව පාස්කු කොමිසම උපකල්පනය කරයි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරට කළ ප්‍රහාරයේ දෙවැනි අදියර සැලසුම් කොට තිබුණද, වෑන් රථයක් තුළ තිබූ දෙවැනි බෝම්බයේ ටයිමරය දෝෂයක් නිසා එය පිපිරුණේ නැත. ප්‍රහාර මාලාව කරන්නේ කවදාද යන්න සහරාන් මෙම රැස්වීමේදී ප්‍රකාශ කළේ නැත. සාකච්ඡා කොටගත් ඉලක්කවලට ගොස් ඔත්තු බැලීම ආරම්භ කළ යුතු බවත් ප්‍රහාරයට දින 3කට පෙර බෝම්බකරුවන්ට දැනුම් දෙන බවත් ඔහු කීවේය.

“බංග්ලාදේශයේ IS නායක තමීම් අහමඩ් චෞන්ද්රි ලෙස තමාද මරාගෙන මැරෙන IS නායකයකු බව සහරාන් අවධාරණය කළේය. එහෙත් බංග්ලාදේශයේ IS නායක තමීම් ඩකා නුවරට ගෙන ගිය ප්‍රහාරයේ මහා මොළකරු වූවද, ඔහු එම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස ඉදිරිපත් නොවීය. ඒ බව සහරාන් නොදැන සිටියා යැයි විය හැකිය.”

2019 මාර්තු 27 රැස්වීම අවසන් වූයේ සහරාන් අන් අයට අනතුරු ඇඟවීමත් සමගිනි. එම රැස්වීමේ කතාබහ කිසිකෙනකු සමග නොකිව යුතු බවත් එසේ වුවහොත් මඩකලපුවේ වව්නතිවු පොලිසියේ නිලධාරීන් දෙදෙනාට 2018 නොවැම්බර් 30 වැනිදා අත්වූ ඉරණම සහ වනාතවිල්ලුවේ IS පුහුණු කඳවුර සහ අවි ගබඩාව ඇල්ලීම සඳහා බුද්ධි අංශයට සහාය වූ තස්ලීන්ට කළ දෙයම ඕනෑම අයෙකුට විය හැකි බවත් සහරාන් අනතුරු හැඟවූවේය.

Abu Ibrahim al-Hashemi al-Quraishi named IS leader | MEO

ISIS නායක අබු බකර් අල් බග්දාදි 2019 ඔක්තෝබර් මාසයේදී මරණයට පත්විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූයේ අබු ඉබ්‍රාහිම් අල් හෂීම් අල් කුරේෂි නමැත්තෙකි. එතැන් පටන් IS එහි අභ්‍යන්තර කටයුතු ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළ අතර එහි නව ක්‍රියාකාරී උපාය මාර්ගය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටී. IS මිලිටරි උපක්‍රමද ඔවුන්ගේ ඉලක්ක කරගත් ස්ථානවලට අනුව හැඩගැසීමටද කෙමෙන් පෙලඹී තිබේ. සිරියානු සහ ඉරාක රජය මගින් පාලනය කරන ප්‍රදේශවල පැහැදිලි IS හමුදා පාලනයක් ගෙන ගියද එම මැදපෙරදිග කලාපයේ බැහැර රටවල ගරිල්ලා උපක්‍රම භාවිත කිරීමටද IS පෙලඹී ඇත. බටහිර අප්‍රිකාවේ නයිජීරියාව, බුර්කානා ෆාසෝ, නිජේර් සහ මාලි රටවල සිටින බොකෝහරාම් වැනි ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්ද IS සමග අත්වැල් බැඳගැනීම නිසා අප්‍රිකා මහාද්වීපයේ බලය IS බලය වැඩිවී තිබේ.

ඊට අමතරව IS බලමුළුව ශක්තිමත් වෙමින් පවතින්නේ ඇෆ්ගනිස්ථානයෙන් දකුණට පිහිටි දකුණු ආසියා කලාපයේය. නමුත් දකුණු ආසියානු කලාපයේ IS සංවිධානයේ දිගුකාලීන ප්‍රතිවාදියා වන අල්කායේදා ත්‍රස්ත සංවිධානය ක්‍රියාකාරීව සිටී. මෙහිදී මූල්‍ය සහ මිලිටරි සම්පත් ගැනීමට මෙම සංවිධාන දෙක අතර තරගයක් පවතී. අල්කායේදාට සාපේක්ෂව IS සංවිධානයට දකුණු ආසියානු කලාපයේ පළපුරුදු හමුදා සේවක පිරිසක්ද නැත. මෙම තත්ත්වය ඉතා භයානක වන්නේ දකුණු ආසියානු කලාපයේ ඇතැම් උපායමාර්ගික වැදගත්කමින් යුත් ප්‍රදේශ අස්ථාවර කිරීමට ඇමරිකාව හෝ ඇමරිකාවේ දකුණු ආසියා නියෝජිත රජයකට අවශ්‍ය නම් කළ යුතු එකම දෙය වන්නේ IS ත්‍රස්තවාදීන් මූල්‍ය සහ මිලිටරි වශයෙන් බලගැන්වීමයි. එවැනි බලගැනීමක් තුළින් ත්‍රස්තවාදය දකුණු ආසියාවේ පැතිරවිය හැක්කේ වහාබ් අන්තවාදයේ පැතිරීම සැඟවූ IS කල්ලිවල ව්‍යාප්තිය ඇතුළු වෙනත් වාස්තවික සාධක ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවලද ඇති බැවින්ය.

 

ආචාර්ය වගීෂා ගුණසේකර