විශේෂාංග

සතුන්ට කොරෝනා හැදුණේ මිනිසුන්ටත් කලින්

මීට වසර අසූවකට පමණ පෙර එනම් 1930 දශකයේ අගභාගය වනවිටත් සත්ව කොරෝනා වයිරසය ගැන දැනුමක් විද්‍යාඥයන් තුළ තිබුණද මුලින්ම මානව කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු වාර්තා වූයේ 1960 දශකයේ මැද භාගයේදීය.

ඒ වනවිටත් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු රෝගීන්ගේ නාසයෙන් ලබාගත් ශ්‍රාවයන්ගෙන් මානව කොරොනා වයිරස් ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබුණත් මීයන්, ගවයන්, ඌරන්, බළලුන් සහ කළුකුම් යන සතුන්ගෙන් කොරෝනා වයිරස් ප්‍රභේද රාශියක් හඳුනා ගත්තේ 1960 දශකයේ මැද කාලයේදීය.

මෙසේ සතුනට බෝවෙන කොරෝනා වයිරස විශේෂයෙන් වවුලන්ගෙන් වෙනත් සතුනට බෝවී එම සතුන් තුළ යම් යම් වෙනස්කම්වලට බඳුන් වී මිනිසාටද ආසාදනය විය හැකිය. වත්මනෙහි ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතයද එසේ වවුල් විශේෂයකින් මිනිසාට සම්ප්‍රේෂණය වූ බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතයයි.

කොවිඩ් 19 වයිරසය වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වී ඇති බව සැලකුවද එය තහවුරු කිරීමට තවදුරටත් තොරතුරු අවශ්‍ය වේ. මෙහිදී කොරෝනා වයිරසය ආසාදනය වූ වවුලන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව සැලකිය යුතුය. චීනයේ ගුවැංඩොං ප්‍රදේශයේ ජීවි සතුන් මස් පිණිස අලෙවි කරන වෙළෙඳ පළවල සිටි පාම් සිවට් කැට් (මුගටි විශේෂයක්) මෙම වයිරසයෙහි අතරමැදි ධාරකයන් වන බවට අදහසක් පවතී.

 

මර්ස් තවත් එවැනි මිනිසුන්ට මාරාන්තික වූ රෝගයකි. එය මැද පෙරදිග රටවලට ආවේණික රෝගී තත්ත්වයක් වූ අතර ඔටුවන් සහ ඔටුවන්ගේ නිෂ්පාදන ඇසුරෙන් සම්ප්‍රේෂණය වී ඇත.

ජාන විශ්ලේෂණවලින් පෙන්නුම් කරන්නේ කොවිඩ් වයිරසය වූහාන් පළාතෙන් සොයා ගන්නා ලද වවුල් විශේෂයකින් හමුවූ කොරෝනා වයිරසයට බොහෝ සේ සමාන බවයි. මෑතකදී විද්‍යාඥයන් විසින් කොරෝනා වයිරස ප්‍රභේදයන් කිහිපයක් ආසියාතික රටවල සැරිසරන වවුල් විශේෂවලින් සොයාගෙන ඇත. වවුලන් තුළ හමුවන වයිරස කෙළින්ම මිනිසුන්ට ආසාදනය වන්නේ ඉතා කලාතුරකිනි. ඒ අනුව මෙම කොවිඩ් – 19 වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම සඳහා අතරමැදි ධාරකයකු ක්‍රියාත්මක විය යුතු වේ.

 

සමහර පර්‌යේෂණවලින් ප්‍රකාශ වන්නේ එම අතරමැදි ධාරකයා කැබැල්ලෑවන්/ඈයන් විය හැකි බවයි. එනමුත් සමහර විද්‍යාඥයන් තර්ක කරනුයේ මීයන් විශේෂ සහ මුගටියන් අතරමැදි ධාරකයන් විය හැකි බවයි.

කෙසේ නමුදු කොවිඩ් වයිරසයේ අතරමැදි ධාරකයා තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

කෙසේ වෙතත් මෙම කොරෝනා වයිරසය බොහෝ සත්ත්ව විශේෂයන්වලින් හඳුනාගෙන ඇති මුත් සීමිත සත්ත්ව විශේෂ පමණක් ආසාදනයට ලක්වන බව තහවුරු කරෙගන ඇත. ගවයන් හට ආසාදනය වන කොරෝනා වයිරස ප්‍රභේදය රෝග ලක්ෂණ නොපෙන්වන කුඩා ළමුන් තුළින් හා වනජීවි සහ ගෘහාශ්‍රිත කුඩා රෝමාන්තික සතුන් අතරින්ද හඳුනා ගැනීමට හැකිවී ඇත. එබැවින් එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පෙන්වන බව සඳහන් කළ යුතුය. මෙම ගව කොරෝනා වයිරස ප්‍රභේදය කුඩා වසු පැටවුන් හට බඩඑළිය යාම, වැඩුණු ගවයන් හට ලේ සහිත බඩඑළිය යාම සහ සියලු වයස් කාණ්ඩවල ගවයන් තුළ ශ්වසන ආබාධ (Shipping Fever) ඇති කිරීමට සමත් වන අත​ර එය ගෝලීයව ව්‍යාප්තව පවතී.

බළලුන් හට ආසාදනය වන කොරෝනා වයිරස ප්‍රභේදය බොහෝ ඉන්ද්‍රිය පද්ධතීන් එනම්, ශ්වසන පද්ධතිය, මධ්‍ය ස්නායු පද්ධතිය, උදර කුහරය සහ ආහාර ජීර්ණ පද්ධතිය ආසාදනය කරන අතර ආන්ත්‍රයික ප්‍රදාහය සහ ආසාදිත උදර කුහර ප්‍රදාහයද ඇති කරයි.

සුනඛයන් තුළ ආන්ත්‍රයික හා ශ්වසන පද්ධති ආසාදනයන් ඇති කරයි. කුකුළන් තුළ ආසාදිත ශ්වාසනාල ප්‍රදාහය ඇති කරන කොරෝනා වයිරස ප්‍රභේදයක් වූ IBV වයිරසය කුකුළන් තුළ ශ්වසන ආසාදන මෙන්ම බහිස්ස්‍රාවී පද්ධතියේ ආසාදන සහ ප්‍රජනන පද්ධතියේ ආසාදන ඇති කරමින් කුකුළු ගොවිපළ කර්මාන්තයටද දරුණු ආර්ථික පරිහානියක් ඇති කරයි.

කොරෝනා වයිරසය නිසා කිරි උරන සූකර පැටවුන් හට දරුණු ආන්ත්‍රයික ප්‍රදාහය වැලඳෙන අතර එය සූකර පැටවුන්ගේ සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වීමටද හේතු වේ.

විවිධ සත්ත්ව විශේෂයන් හට කොවිඩ් – 19 රෝගය බෝවී ඇති බවට විවිධ රටවලින් වාර්තා වී ඇති අතර සුරතල් සතුන් සහ සත්ත්ව උද්‍යානවල ජීවත් වූ සතුන් රෝගී වී ඇත්තේ රෝගය ආසාදනය වූ හිමිකරුවන් සහ භාරකරුවන් මගිනි.

පර්‌යේෂණවලින් පෙන්වා දී ඇත්තේ බළලුන්, සුනඛයන්, ෆෙරට් යනුවෙන් හඳුන්වන මුගටියන්, වවුලන් සහ හැම්ස්ටර් යන සතුන් හට කොවිඩ් – 19 වැලඳිය හැකි බවයි. මේ අතරින් බළලුන්, ෆෙරට්ස්, වවුලන් සහ හැම්ස්ටර් සතුන් පමණක් එම විශේෂවල අනෙකුත් සතුන්ට රෝගය බෝ කිරීමේ හැකියාව ඇති බව පර්‌යේෂණ තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කර ඇත. එනමුත් ස්වභාවික පරිසර තත්ත්වයන් යටතේද එසේ බෝවීමක් සිදුවන බවට මේ වනතුරු සාක්ෂි නොමැත.

කොවිඩ් – 19 රෝගය පැතිර ගිය මුල් අවධියේ රෝගී වූ සුනඛයන් සහ ගෘහාශ්‍රිත බළලුන් ගැන වාර්තා විය. එමෙන්ම ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය යන රටවල ලොම් ලබාගැනීම සඳහා ​ගොවිපළ තුළ ඇති කරන ලද මින්ක් සතුන්ද (මුගටි විශේෂයක්) ආසාදනය විය. ඉන්පසුව නෙදර්ලන්තය, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, කැනඩාව, පෝලන්තය, ග්‍රීසිය හා ලිතුවේනියාව තුළද මින්ක් සතුන්ට කොවිඩ් – 19 රෝගය වැලඳුණු බවට වාර්තා විය. එය මේ වනවිට සතුන් හට කොවිඩ් – 19 රෝගය වැලඳී එවුන් අතරද පැතිරීම එම සත්ත්වයන්ගෙන් එම ගොවිපළ සේවකයන්ටද වැලඳුණු බව වාර්තා වූ විශේෂිතම අවස්ථාව වේ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ එම සතුන් කුඩා ප්‍රදේශයක වැඩි ඝනත්වයකින් ඇති කිරීම රෝගය පැතිරීමට උපකාරී වූ බවයි.

මෙතෙක් කරන ලද පර්‌යේෂණවලට අනුව සුනඛයන් හට කොවිඩ් – 19 වැලඳිය හැකි බව සොයාගෙන ඇති මුත් එය ඉතා විරල සංසිද්ධියකි. එනමුත් බළලුන් හට රෝගී වූ මිනිසුන්ගෙන් රෝගය බෝවූ බවට තහවුරු වී ඇත. කරුණු එසේ වුවත් කොවිඩ් – 19 වයිරසය මිනිසුන්ට සහ වානර විශේෂයන් හට ආසාදනය වන තරම් පහසුවෙන් සුරතල් සතුන්ට ආසාදනය වීම විරලය. ගවයන් හා බැටළුවන් හටද කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම විරලව සිදුවිය හැකි වුවද අශ්වයන්ට සහ සූකරයන්ට මෙම වයිරසය ආසාදනය වීමේ අවදානම ඉතා අඩුය. මෙම සත්ත්ව විශේෂවලින් බොහොමයක් වයිරසය ආසාදනයෙන් පසු රෝගී තත්ත්වයට පත් නොවන අතර රෝගී ලක්ෂණද නොපෙන්වයි. එබැවින් ගෘහාශ්‍රිත හෝ වන සත්ත්ව ගහනයන් අතර වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් සිදු නොවන බව පෙනී යයි. කරුණු එසේ වුවද, සුරතල් සුනඛයන් හා බළලුන්ගෙන් කොවිඩ් – 19 රෝගය සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම අනවශ්‍ය බව එයින් අදහස් නොකෙරේ.

ගෘහාශ්‍රිත බළලුන් හා හැම්ස්ටර් සතුන් ස්වභාවික තත්ත්වයන් යටතේ කොවිඩ් – 19 වයිරසයට නිරාවරණය වීම විරලය. නමුත් වයිරසය ආසාදනය වූ රෝග ලක්ෂණ පෙන්වන හෝ නොපෙන්වන මිනිසුන්ගෙන්, කොවිඩ් 19 වයිරසය එම සතුන්ට ආසාදනය විය හැකි බව කිව යුතුය. ඇමරිකා එක්සත් ජනපදයෙහි රෝග පාලන මධ්‍යස්ථානයට (CDC) අනුව සුනඛයන්ට වයිරසය ආසාදනය වුවද එය පහසුවෙන් අනෙක් සුනඛයන්ට ව්‍යාප්ත නොවේ. නමුත් බළලුන් සහ ෆෙරට් මුගටියන්, එම සත්ත්ව විශේෂයෙහි අනෙකුත් සතුන්ට පහසුවෙන් රෝගය ව්‍යාප්ත කරන බව නිරීක්ෂණය වී ඇත.

මූලික වශයෙන් ගත් කල සුරතල් සතුන් ඇති කරන්නා වූ අය රෝගයට ගොදුරු වුවහොත් සුරතල් සතුන්ටද රෝගය බෝ වීමේ හැකියාවක් පවතී. එබැවින් ඔබ රෝගී වුවහොත් නිවසේදී වුවද මුඛ ආවරණයක් පැලඳීම සහ සුරතල් සතුන්ගෙන් ඈත්වී සිටීම ඔවුන්ව රෝගයෙන් ආරක්ෂා කරගැනීමට හේතුවක් වේ. ජනගහනය වැඩි ස්ථානවලදී පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වයිරසය පැතිරීම තහවුරු වී ඇති බැවින් නිවසේ සුරතල් සතුන්ද වෙන්ව තැබීම ප්‍රයෝජනවත් දෙයක් වනු ඇත.

කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ සුරතල් සතකුගෙන් මිනිසෙකුට කොවිඩ් – 19 රෝගය ව්‍යාප්ත වූ බවට මේ වනතෙක් පර්‌යේෂණවලින් සනාත වී නොමැති අතර මිනිසුන්ට රෝගය බෝවීම බොහෝ විට සිදුවී ඇත්තේ තවත් රෝගී මිනිසකුගෙන්ම බවයි.

 

වෛද්‍ය එම්. ඉජාස්නානාගරික පශු වෛද්‍ය නිලධාරී,කොළඹ මහ නගර සභාව.