විශේෂාංග

ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියාවේ හොඳම ගුරුවරිය

දරුවෙකුගේ දෙවැනි ගෙදර වන්නේ පාසලයි. එවිට දෙවැනි මවුන්, පියන් වන්නේ පාසලේදී හමුවන ගුරුවරුන්ය. ඒ නිසා පාසලේදී ශිල්පය දෙන්නා සේම දරුවන් හැදීමේ, රැකීමේ, කාර්යයත් පාසලින් සිදුවෙයි. එහිදී වරදට දඬුවම් දී, හොඳ නරක කියාදී, දරුවන් හදන, රකින කාර්යය පාසලේදී බාරවන්නේ දරුවන්ට හමුවන මේ දෙවැනි මව්පියවරුන් වන ගුරුවරුන්ටය. ඒ නිසාම ගුරුන් දෙවියන්සේ ද සලකයි. ඒත් අද වෙද්දී ලංකාවේ සමහර ගුරුවරුන් ළඟ නම් ඒ දෙව්කම් ඇත්තේදැයි සැක සිතෙන්නේය. සැබෑවටම දරුවන්ට යහමග පෙන්වන ගුරු දෙවිවරු අතරේ වරදක් ඇතා, නැතා සොයා, නොබලා දරුවා හදනවා වෙනුවට ඒ දරුවාගේ “ආත්මයම” විනාශ කරන ගුරුවරුන් ගැනත් නේක විදිහේ කතාන්දර ලංකාවෙන් දිනපතාමත් ඇසෙයි. එවන් සමහර සිදුවීම් පොලිසිය උසාවිය දක්වා යන තරමට දිග් ගැහෙන ඒවා වන අතරේ පසුගිය ජනවාරියේ එවන් සිදුවීමකට මුල්වූ ගුරුවරියකට කාගෙත් ඇස් කන් ඇරෙන අන්දමේ නඩු තීන්දුවක් ලංකාවේ උසාවියකින් ලැබුණේය.ඒ 2012 වසරේදී දහසය හැවිරිදි පාසල් සිසුවකුට අමානුෂිකව පහරදෙමින් පාසල අහිමිකර ඒ දරුවාගේ අනාගතය අඳුරු කිරීමට එරෙහිවය. එසේ වසර හතක නඩුවකින් පසු වසර දෙකක සිර දඬුවමක් හිමිවූයේ කුරුණෑගල පෙදෙසේ පාසල් ගුරුවරියකටය.

මේ ගැන බොහෝ මත පළවුණේය. ඇතැම් අයෙක් ගුරුවරිය ගැන අනුකම්පාව ඇතිකරන්නට යද්දී ඇතැමෙක් ඒ නඩු තීන්දුව හරි බව සාධාරණීකරණය කළහ. තවෙකෙක් ඒ දරුවාගේ මව ලංකාවේ දේශද්‍රෝහීම මව බවට පත්කරන්නටත් උත්සාහ ගත්තේ ඇයගේ කතාවේ සාධාරණ අසාධාරණ බවක් නොසොයාය.

කෙසේ වෙතත් දරුවෙකු අත වරදක් තිබුණත් නැතත් ගුරුවරයා කිසිවිටෙකත් ප්‍රකෝපකාරීව හැසිරිය යුතු අයෙක් නොවේ. ගුරුවරයා යනු සෑම ශිෂ්‍යයකුම හඳුනාගැනීම, වටිනාකමක් ලබා දීම සහ ඔවුන්ට රැකවරණයක් සලසන්නෙකු විය යුතුයි. එසේ කියන්නේ ලොව සිටින ලක්ෂ ගණනක් වූ ගුරුවරුන් අතරින් මේ වසරේ හොඳම ගුරුවරයා ලෙස සම්මානයට ලක්වූ තැනැත්තියයි. ඇය යශෝදායි සෙල්වකුමරන් ය. යශෝදායි අද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රූටි හයි ස්කූල් හී විසූවත් ඇගේ නිජබිම ලංකාව වීම ද විශේෂ කරුණකි. ලොව හොඳම ගුරුවරිය වූ යශෝදාගේ මේ කතාව අපේ රටේ ගුරුවරුන්ටත් ආදර්ශයක් ගතහැකි කතාවක් නම් වන්නේය.

යාපනේ ඉපදුණු සෙල්වකුමරන් වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ ද ගිණුම්කරණය උගත් කාන්තාවකි. ඔවුන්ගේ එකම දියණිය 1987 වසරේ උපන් යශෝදායි සෙල්වකුමරන් ය.

සෙල්වකුමරන්ගේ හා බිරිඳගේ උපන් ගම් යාපනය වුවත් යශෝදායි උපන්නාට පසු ඔවුන් ජීවත්වූයේ කොළඹය. ඒද ගරාජයක් ලෙස තිබූ පැරණි ගොඩනැගිල්ලක් ගෙයක් ආකාරයට සකසාගෙනයි.

“ඒ කාලේ ලංකාවේ පැවතුන දේශපාලන තත්ත්වයත් එක්ක මගේ තාත්තා අම්මා වෙන කොහේ හරි රටක පදිංචිවෙන්න ඉල්ලුම් කරලා තියෙනවා. ඒ විදිහට ඉල්ලපු රටවල්වලින් ඔස්ට්‍රේලියාව සහ කැනඩාව රටවල් දෙකෙන්ම අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි 88 අවුරුද්දෙ අපේ තාත්තලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් තියෙන්නේ.”

මේ කතාව කියන යශෝදායිගේ වයස එවකට මාස දහයකි. සිඩ්නි නගරයට පැමිණි යශෝදායිගේ පියාට ඔස්ට්‍රේලියානු රජයේ ඉංජිනේරුවෙකු ලෙස රැකියාවක් ලැබී ඇත. ඒ නිසා ඔවුන් පදිංචි වී ඇත්තේ ඊට ආසන්න “හේ” නම් ගමේය. ඔස්ට්‍රේලියාවට පැමිණියාට පසු සෙල්වකුමරන් මහත්මිය හොඳින් ඉංග්‍ර්‍රීසි බස උගත්තාය. අනතුරුව ඈ වැඩිහිටි හා ළමා රැකවරණ මධ්‍යස්ථාන කීපයකම සේවය කළාය.

“ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න තරම් මම වාසනාවන්ත වුණා කියලා අම්මයි තාත්තයි නිතර කතා වුණා. ඒ අධ්‍යාපනය හරහා තමයි අපට ගොඩක් අවස්ථාවන් ලැබුණෙ. අධ්‍යාපනයෙන් පසුව මම පාසල් ගුරුවරියක ලෙස වෘත්තිය තෝරා ගත්තා. මේ රටේ ගුරු වෘත්තියට ලැබෙන ගෞරවය සහ තත්ත්වය ඉහළයි. අලුතින් සේවයට එන ගුරුවරුන්ගේ දක්ෂතා දැනුම වර්ධනය කරගන්න වෘත්තීය අධ්‍යාපනයක් නම් ලබාගත යුතුයි..පර්යේෂණ කරමින් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරමින් සිසුන්ට හොඳම අවස්ථාව ළඟාකරදිය හැකියි.

ගුරු වෘත්තිය කියන්නෙ ඉතාම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේම ඒක හරි බලවත්. සමහර වෙලාවට අපේ රැකවරණය යටතේ ඉන්න සිසු සිසුවියන් ගැන කැපවුණාම අපේ අවශ්‍යතා පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ගැන හිතන්න වෙන්නෙ ගුරු වෘත්තිය හරියට කරන ගමන්.”

ගුරුවරයා යනු කවරෙක්ද යන්න යශෝදායි කළ විස්තරය ඇත්තය. එසේම ඈ කියන්නේ මේ ගුරුවරයාට යහපත් සිසුවකු හැදීම පහසු බවයි. ඒ සඳහා දඬුවම් කිසිවක් අවශ්‍ය නැති බව ඇය කියන්නීය. ඔස්ට්‍රේලියාවේ දඬුවමින් යහපත් සිසුන් බිහි නොකරන බවත් සිසුවකුගේ විනය ඇතිවන්නේ ශිෂ්‍යයින් ඉලක්ක වෙත නැඹුරු කිරීම මගින් හා එක් එක් ශිෂ්‍යයාට පෞද්ගලික අවධානය යොමුකරමින් ඔවුන් හා වැඩ කිරීම තුළින් බවත් කියන්නීය.

“කෙනෙක් නුසුදුසු ලෙස හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නෙ ඇයි කියලා අපි වටහා ගන්න ඕන. ගුරුවරු විදිහට අපි කළ යුත්තේ ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජය අරන් ඉස්සරහට යන්න ඔවුන්ට උදව් කරන එකයි. මෙහිදී සිසු සිසුවියන් ගැන පෞද්ගලික මට්ටමින් පන්ති කාමරය තුළ මෙන්ම ඉන් පිටතදීත් සොයා බලන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් ඔවුන් කවුද කියලා හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා වටහාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. සාර්ථක සිසුවෙකු නම් සතුටින් ඉගෙනගන්න ඕන. නිව් සවුත් වෙල්ස් හි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන සැලසුම වන්නේ සෑම ශිෂ්‍යයෙකුම හඳුනාගැනීම, වටිනාකමක් ලබා දීම හා ඔවුන්ට රැකවරණය සැලසීමයි. මම විශ්වාස කරන්නේ සිසුන්ගේ අපේක්ෂා අනුව ඔවුන්ට ළඟාකර ගන්න පුළුවන් ඉලක්ක දීමත් ඉගෙන ගැනීම විනෝදයක් බව ඔවුන්ට තහවුරු කිරීමත් වැදගත් කියලයි.”

ඇය කියන්නෙ කුඩාම වියේ ලංකාවෙන් ආනිසා දැනට මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝධයක් නැති බවයි. එහෙත් ලෝකයේ හොඳම ගුරුවරුන් දහදෙනා අතරට තේරීමෙන් ඈ ලැබූ අවස්ථාව හා පිළිගැනීම නිසා ඇය අනාගතයේදි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටින්නීය.

(බීබීසී ඇසුරින්)
සත්සරණී තෙන්නකෝන්