brand logo
logo

විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ඩොලර් එවන්නේ නෑ

20 December 2021

විදෙස් ශ්‍රමිකයින්ගෙන් රට සල්ලි ගලාඒම් පහළට

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමකි. මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3 ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක් වේ. 2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4 ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7 ට වඩා 49.6% ක අඩුවීමකි. මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ‌මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.
 

More News..