brand logo
logo

විජය මනමේ කුමාරියෝ හය දෙනෙක් එක්ක රඟපාලා තියෙනවා

18 March 2019

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව රංගනයෙන්, ගායනයෙන්, කථනයෙන් හැඩ කළ විජය නන්දසිරි මින් දෙවසරකට පෙර ජීවිතයෙන් සමුගත්තේ ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියදීය. ඔහුට සෙවනැල්ල වෙමින් පුතු හා දියණියක සමග ජීවන චාරිකාවේ මෙන්ම රංගන චාරිකාවේත් අත්වැල් බැඳගත්තී දේවිකා මිහිරානී ඔහු හා ගෙවු තිස්වසරක දිවියේ තොරතුරු මෙවර ලියගුණවරුණට කියන්නීය. * ඔහු නැතුව මේ ගෙවෙන්නේ කී වැනි අවුරුද්ද ද ? ගෙවිලා ගියේ දෙවැනි අවුරුද්ද. එයා නැතිවුණේ 2016 අගෝස්තු 08 වැනිදා * ඒ අහිමිවීම දරාගත්තේ ? මටවත් හිතාගන්න බෑ. නරක හීනයක් දැක්කා වගේ. ඒ දුක විස්තර කරන්න මට සිංහල භාෂාවේ වචන නෑ. * ඔබට විජය නන්දසිරි හමුවෙන්නේ ? සුදර්ශි ශාලාවේ තිබිච්චි නැටුම් පන්තියකදි. ඒ දැනට අවුරුදු හතළිහකට වගේ කලින් * ඒ කාලේ ඔබ පාසල් යනවා ? මම අනුලා විද්‍යාලෙට යනකාලේ ඉඳන්ම පෞද්ගලික නැටුම් පන්තියකට ගියා. ඒ ගියේ නිත්තවෙල ගුණයා මහතාගේ පුතා සෝමදාස නිත්තවෙලගෙ නැටුම් පන්තියටයි. * ඔබේ ගම් පළාත ? නුගේගොඩ. අපි පවුලෙ ගෑනු දරුවො හත් දෙනයි, පිරිමි එක්කෙනයි. තාත්තා විදෙස් රැකියාවක් කළා. ඒ අතරේ රේස් පැද්දා. අම්මා නම් රැකියාවක් කළේ නෑ. * ඔබ නැටුම් ඉගෙන ගත්තේ ? මං පුංචි කාලේ ඉඳලම නැටුම්වලට ආසයි. ඒ වගේම දක්ෂකමකුත් තිබ්බා. ඉස්කෝලෙ නැටුම් ටීචර් දයා නෙල්ලම්පිටිය මහත්මියට මං ගොඩාක් ආදරේ කළා. ඒ කාලේ එතුමිය නටන හැටි මං බලාන ඉන්නවා. * ඔය කාලේ වයස ? අවුරුදු පහළොවක් විතර ඇති. මම සුදර්ශියේ නැටුම් පුරුදු වෙනකොට විජයලා "බකතපස්" නාට්‍යයේ පුහුණුවීම්වල යෙදුණා. අපේ ප්‍රධාන ශාලාවේ බෙර සද්දෙට වා කවුළු තුළින් බලද්දි මාව දැකලා එදා ආපනශාලාවෙදි කතා කළා. * මතකද මොකද්ද ඉස් ඉස්සරවෙලාම කිව්වේ ? ආ... නංගි ලස්සනට නටනවා දැක්කා කිව්වා. මට ඉතින් පුංචි ආඩම්බරේකුත් දැනුණා. එයා නළු මහත්තයෙක්නෙ, ඒ වෙනකොටත්. ඒ හින්දම එතන හිටපු ගොඩක් ගෑනු ළමයි විජය එක්ක කතා කරන්නත් උත්සාහ කරමින් හිටියේ. * ඔය කතාව තමයි දුරගියේ ? මට නැටුම් පන්ති තිබ්බෙ ඉරිදටනෙ. ඒ ගොල්ලො නාට්‍ය පුරුදු වුණෙත් ඉරිදට. ඉතින් අපි කතා කළා. ඔය හැත්තෑව දශකයේ. ඔය අතරෙදි තමයි මගෙන් අහන්නෙ රඟපාන්න කැමැතිද කියලා. ඒ දවස්වල සයිමන් නවගත්තේගම මහත්තයගෙ සුබ සහ යස නාට්‍යයට නළු නිළියො තෝරනවා. * ඉතින් ඔබ මොකද කිව්වෙ ? මම රඟපාන්න දන්නවද, දන්නෙ නෑ කිව්වම එයා මට රඟපාන්න උගන්නන්නම් කිව්වා. මං ගෙදරින් අහලා කියන්නම් කිව්වා. අපේ අම්මා කැමැති වුණේ නෑ. රට හිටපු තාත්තගෙන් අහන්න ඕන කිව්වා. තාත්තගෙ උත්තරේ එනකම් පමාවෙන්න බෑ කියලා මං අම්මගෙ කැමැත්ත බලේට අරන් ඒ නාට්‍ය ශිල්පී ඉන්ටවිව් එකට ගියා. * සම්මුඛ පරීක්ෂණෙන් මොකද වුණේ ?. මං ඉන්ටවිව් එක පාස්වුණා. නාට්‍ය පුහුණු වීමත් ඇරඹුණා. විජය මහ ඇමැති. මං දාසිය. හැබැයි මං නාට්‍යයක රඟපානවා කියලා අපේ ඉස්කෝලෙන් දැනගෙන හිටියෙ නෑ. දැනගත්තා නම් රඟපාන්නත් බෑ. * ඔය කාලෙද එතකොට ඔහු ආදරෙයි කිව්වේ ? සුබ සහ යස පුහුණුවෙන කාලේ ආදරය ප්‍රකාශ කරලා තිබ්බෙ නෑ. හැබැයි එයාගේ විශේෂ කැමැත්තක් තියෙන බව මට තේරිලා තිබුණේ. ඔහොම හය මාසයක් විතර ඉස්කෝලේ යන ගමන් සුබ සහ යස පුහුණු වුණා. * ඊට පස්සේ ? ලුම්බිණි රඟහලේ මංගල දර්ශනය පෙන්නුවා. හොඳ වෙලාවට අපේ ඉස්කෝලේ කවුරුවත්ම නාට්‍යය බලලා තිබ්බෙ නෑ. මංගල දර්ශනය බලන්න ආව අම්මයි, ගෙදර අයයි ඊට පස්සෙ මම නාට්‍ය රඟපානවට බොහොම කැමැති වුණා. මම වේදිකා නාට්‍ය නිළියක් වුණේ අවුරුදු දාසයේදි. * ඒ කියන්නෙ දිගටම රඟපෑවා ? විජය ඊට පස්සෙ මාව මනමේ, සිංහබාහු, මහාසාර වගේ තවත් නාට්‍යවලටත් සම්බන්ධ කරගත්තා. අපි දැන හඳුනාගෙන අවුරුද්දක් විතර ගියාට පස්සෙ තමයි විජය මට ආදරෙයි කිව්වේ. හැබැයි මේ නාට්‍යවල රඟපාන කාලෙත් මම ඉස්කෝලේ ගියා. * එතකොට ඔබ ඉස්කෝලෙන් අයින් වෙන්නේ ? උසස් පෙළ විභාගෙට ලියලා. ඉස්කෝලෙ යද්දි මුල්කාලේ මං හිතාගෙන හිටියෙ වෛද්‍යවරියක් වෙන්නයි. නාට්‍ය වැඩ නිසා හරියට පාඩම් සිද්ධ වුණේ නෑ. ඒ නිසා බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණෙ නෑ. අනික විභාගෙ ලියන කාලේ වෙනකොටත් මම නාට්‍ය පැත්ත හිතින් තෝරගෙන තිබුණෙ. * වෛද්‍යවරියක වීම සිහිනයක් කළාට අම්මා කැමැති වුණාද ? ඒ ගොල්ලන් මගේ කැමැත්තට ඉඩදීලා නිකම් හිටියා. මට පුළුවන් වුණා අම්මව කොහොම හරි මගේ කැමැත්තට නම්මවගන්න. * ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දී ? අපේ විවාහයට අවසර ඉල්ලන්න විජය ගෙදර ආවා. අම්මා කිව්වා තාත්තගෙන් අහලා කියන්නම් කියලා. තාත්තා ලංකාවට ආවායින් පස්සෙ අම්මා ඒ ගැන කිව්වා. ඒත් තාත්තගෙ වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ. * ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද ? තව චුට්ටක් හිතන්න කියලයි තාත්තා කිව්වේ. නමුත් මං තාත්තට කිව්වා මම විජයට කැමැතියි කියලා. ඉතින් ඒ ගොල්ලන්ට මට විවාහයටත් කැමැත්ත දෙන්න සිද්ධවුණා. * විවාහ වුණේ කවදද ? අපි අඳුරගෙන අවුරුදු හයක් හතක් වගේ ගිහිල්ලා විවාහ වෙන්නේ. ඒ 1986 නොවැම්බර් 16 වැනිදා. * විජය නන්දසිරි කොයි පළාතෙ කෙනෙක්ද ? මහරගම. එයාට සහෝදර සහෝදරියො 6 දෙනෙක් හිටියා. අම්මයි, තාත්තයි දෙන්නම රජයේ රැකියාවන් කළා. විජය ඉගෙනගෙන තියෙන්නේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ. * ඊට පස්සෙ ? එයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවක් කරන ගමන් තමයි නාට්‍යවල රඟපෑම කරලා තියෙන්නේ. ඒ කාර්යබහුලත්වයත් එක්ක එයාගෙ ප්‍රධානියා කියලා තියෙනවා රැකියාව හෝ කලාව දෙකෙන් එකක් තෝරාගන්න කියලා. ඉතින් මෙයා තෝරාගෙන තියෙන්නේ කලාව. * දෙන්නා විවාහයෙන් පස්සෙ පදිංචි වෙන්නෙ ? මාළිගාවත්තෙ. කලාකරුවන් වෙනුවෙන් මාළිගාවත්තෙ ඉදිවුණ මහල් නිවාස සංකීර්ණයෙන් විජයට ගෙයක් ලැබුණා. * විවාහයෙන් පස්සෙත් රඟපෑවද ? දෙන්නම කාර්යබහුල වුණා. අපි ගොඩක් නාට්‍යවල රඟපෑවා. හැබැයි දෙන්නා එක තැනකට ආව එක දෙන්නටම පහසුවක් වුණා. අපි දෙන්නටම එකිනෙකාගෙ උදව් තිබුණා. * ඒ කාලේ ඒ තරම්ම වේදිකා නාට්‍ය ජනප්‍රියද? එදත් වේදිකා නාට්‍ය නරඹන හොඳ පිරිසක් හිටියා. ඒත් මේ මෑතකදි ඒ පිරිස වැඩිවෙලා තියෙනවා. කාලෙත් එක්ක හැම දේකම අඩුවැඩිවීම් වෙනවා. එදා එක දර්ශන වාරෙකට ලැබුණෙ රුපියල් තිස්පහයි. * නාට්‍ය රංගනයත් එක්ක ගෙදර කටයුතු කළමනාකරණය කරගත්තේ ? කොයිතරම් රඟපෑවත් ගෙදර කටයුතු අතපසු වුණේ නෑ. දුව ඉපදෙන්නෙත් ඒ කාලෙ. නවංජනා මිහිරානි නන්දසිරි. ඊට පස්සෙ පුතා ඉපදෙනවා රසාංජන සුචිත්‍ර නන්දසිරි. මං ඒ අයට අම්මා වුණා වගේම ඒ අයගෙ වැඩ මග ඇරෙන්න දුන්නෙත් නෑ. අම්මා කෙනෙක් විදිහට හරි විදිහට යුතුකම් ඉෂ්ට කළා. * ඒ කියන්නෙ ඔබ රඟපෑවෙ අඩුවෙන් ? විජයට වගේ පූර්ණකාලීනවම මට රංගනයෙ යෙදෙන්න වෙලාවක් තිබ්බෙ නෑ. අපේ ගමන ගැන හිතලා දරුවන්ට අම්මගෙ ආදරෙයි රැකවරණයයි දෙන්න ඕන වෙලාවේ නොදී පහුවෙලා දීලා වැඩක් නෑ. * කොහොමද ඉතින් ඔය ගෙවුණු ජීවිතේ ? සන්සුන් සුන්දර ජීවිතයක් ගලාගෙන ගියා. ඒ කාලේ පාන් රාත්තලක් ගේන්න ගියත් අපි හතර දෙනාම එකට ගියේ. විජය නාට්‍ය පුහුණුවෙන්න යනකොට අපි තුන්දෙනාම එතෙන්ට යනවා. මං පුහුණු වෙනකොට විජය දරුවොත් එක්ක එතෙන්ට එනවා. හැමතිස්සෙම අපි හතරදෙනාම එකට එකතුවෙලා වැඩකළේ. * ඉතින් ඔහොම ආදරණීය ජීවිතයක් ගතකරද්දී ? විවාහවෙලා අවුරුදු තිහකට පස්සෙ නපුරු දවසක් ආවා. ඒ දවස මගේ ජීවිතේ අවාසනාවන්තම නරකම දවස. * එදා මොකද වුණේ ? ඒ දවස, එදා වුණ දේවල් ආයෙ ආයෙ මං මතක් කරන්න අකැමැතියි. * ඔහු ඒ වෙනකොට කිසියම් අසනීප තත්ත්වෙකින් හිටියද ? සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සාවක් ඇරුණු කොට විජයට වෙන ලෙඩක් තිබ්බෙ නෑ. * ඔහුගෙ වියෝවෙන් පස්සෙ ඔබ හිත හදාගත්තේ ? මම කොහොම මේ තත්ත්වෙට ආවද කියලා මම දන්නෙත් නෑ. හැබැයි ඔය අතරෙ මම හිතුවා මගෙ දුව, පුතා ඉන්නවා. බෑන, මිනිබිරිය ඉන්නවා. ඒ අයට තව යුතුකම් කරන්න තියෙනවා. ඒ අය වෙනුවෙන් අම්මා, තාත්තා චරිත දෙකම මම පෙනී ඉන්න ඕන කියලා හිතලා දුක දරාගෙන නැගිට්ටා. * ඊට පස්සෙ රඟපෑවෙ නැද්ද ? ආරාධනා ගොඩක් ලැබුණා. ගියෙ නෑ. දුව ආපහු රට ගියා. පුතාව තනියම දාලා යන්න හිතුණෙත් නෑ. ඒ සියල්ලටම වඩා විජය නැතුව විස්තර කරන්න බැරි මහ විශාල පාළුවක් මා වටේ හිටියා. * ඔබ ආයෙ රඟපෑවේ ? විජය නැතිවෙලා අවුරුද්දකින් වගේ. ඒ රඟපෑවෙත් මම නිෂ්පාදනය කරපු කුස පබාවතී නාට්‍යයේ විතරයි. විජය නැතිවුණායින් පස්සෙ මම මේ කාලේ පිටස්තර වේදිකා නාට්‍යවලට ගියෙ නෑ. * එතකොට ඔබේ නාට්‍යයේ විජයගෙ භූමිකාව රඟපෑවේ ? අපේ පුතා. එයා තාත්තා රඟපානවා දැකලා තිබුණා. එ් නිසා තාත්තගෙ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා. හැබැයි පුතාගේ ඉගෙනීම් කටයුතු නිසා විවේකය ලැබෙන විදිහට තමයි රංගපෑම් කටයුතු කරන්නේ. * ඔබ දෙදෙනාම වේදිකාවට පමණක් සීමාවුණේ නෑ ? 80 දශකය වෙනකොට අපි දෙන්නටම ටෙලි නාට්‍යය සඳහා ඇරයුම් ලැබුණා. ඒකෙනුත් ලංකාවේ නිෂ්පාදනය කරපු මුල්ම ටෙලි නාට්‍යය වුණ දිමුතු මුතුහි මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. * ඊට පස්සේ ? රේඛා, උදානය, සුළඟ, සුදු සහ කළු, දෙවැනි ගුරුවරී, සමුගත් වසන්තය, තරණය වගේ ටෙලි නාට්‍ය තිහක විතර රඟපෑවා. මම තමයි ගාමිණී ෆොන්සේකා මහත්තයා එක්ක පුංචි තිරේ රඟපාපු එකම නිළියත්. ඒ තාත්තා සහ දුව විදිහට. * එතකොට විජය නන්දසිරි පුංචි තිරේට සම්බන්ධ වුණේ ? ගමන ටෙලි නාට්‍යයෙන්. එදා පටන් ගත්ත ගමන 2016 වෙනකල් කොටස් එක්දහස් ගණනක් ගියා. දාමිණී, සමුගත් වසන්තය, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, වගේ ටෙලි නාට්‍යත් සීයක විතර රඟපාලා ඇති. සමහර ටෙලි නාට්‍ය කොටස් දාහටත් වඩා ගියා. ඒ අතරෙ පුංචි පහේ මං, කතුර වගේ වැඩසටහනුත් කළා. * ඔහුට රංගනය වගේම ඕනෑම වැඩසටහනක් කිරීමේ හැකියාව තිබ්බා ? එයාට දක්ෂකමත් එක්ක එකතුවෙච්ච වාසනා ගුණයක් තිබ්බා. රඟපෑම, නර්තනය, ගායන හැකියාව වගේම නිවේදන හැකියාවත් තිබ්බා. මනමේ නාට්‍යයේ රඟපාන ගමන් නටන්න ඕන, සිංදු කියන්න ඕන, ඒක ලේසි දෙයක් නෙවේ. එයා මනමේ අවුරුදු 27 ක් කළා. විජය මනමේ කුමාරියෝ හය දෙනෙක් එක්ක රඟපාලා තියෙනවා. * ඔය රංගන ප්‍රතිභාව එතෙකින් නැවතුනේ නෑ ? මම රිදී නිම්නය, බිත්ති හතර, ගේ කුරුල්ලෝ, රන්මලීගේ වාසනාව කියන චිත්‍රපට හතරෙ විතරයි රඟපෑවේ. නෑදෑයින්ගෙන් පටන් ගත්ත විජය හිඟන කොල්ලා, සිරි පතුල, මගේ අම්මා, බංගලි වළලු, හැට හතර මායම් දක්වා චිත්‍රපට පනහකට වඩා රඟපෑවා. * ඔබ ඒ තරම් අඩු චිත්‍රපට ප්‍රමාණයක් රඟපෑවේ ? වෙලාව නැතිකම නිසා. දරුවොත් බලාගෙන පවුලත් රැකගෙනයි මට මගේ ගමන යන්න ඕන වුණේ. * විජය නන්දසිරි වේදිකා නාට්‍ය කීයක විතර රඟපාන්න ඇතිද ? එයාගෙ පළවෙනි නාට්‍යය නම් මොකද්ද කියලා මට මතක නෑ. ඒත් තාරාවෝ ඉගිලෙති, රංකඳ, වහලක් නැති ගෙයක්, අහසින් වැටුණු මිනිස්සු, සිරිත් විරිත්, වැනීසියේ වෙළෙන්දා වගේ වේදිකා නාට්‍ය සීයක විජය රඟපාලා තියෙනවා. මම රඟපාලා තියෙන්නෙ වේදිකා නාට්‍ය තිහක වගේ. හැම නාට්‍යයකම අපි දෙන්නම රඟපෑවේ නැතත් ගොඩක් නාට්‍යවල අපි දෙන්නම රඟපෑවා. * ඔබ දෙදෙනාම සම්මාන ඇගයීම්වලට ලක්වුණා ? සාමාන්‍ය මට්ටමින් සම්මාන ඇගයීම් ලැබිලා තියෙනවා. විජය ජීවත්වෙලා හිටපු කාලේ වැඩිය ඇගයීමට ලක්වුණේ නෑ. ලංකාවෙ කොහොමත් මිනිස්සු ඉන්නකොට අගයක් නෑ. මැරුණට පස්සෙනෙ අගයන්නේ. හැබැයි විජය ඔය කිසිදෙයක් ගණන් ගත්තෙ නෑ. * ඔහු ජීවතුන් අත‍ර නැතත් ඔහු රඟපෑ වීඩියෝ දසුන් අදටත් දකිනවා ? ටීවී එකේ ඒවා පෙන්නන කොට බලනවා. අවංකවම දුකයි. ඒත් හිත හදාගෙන සත්‍යයට මුහුණ දෙනවා. හැම දේම අනිත්‍යයි, නැසෙන සුලුයි කියලා එවන් දසුනක් බලලා ඉවරවුණ ගමන් හැඟෙනවා. * කොහොමද දූ දරුවන්ගෙ තොරතුරු ? දුව ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. සනත් චමින්ද කරුණාරත්න බැඳලා ඉන්නෙ. එයාලගෙ චූටි දුව සහන්‍යා. අපේ පුතා රසාංජන ගුවන් නියමුවෙක් වෙන්න සූදානමින් ඉන්නේ. * දරුවන්ට කලාව පිහිටලද ? දෙන්නටම හොඳට රඟපාන්න පුළුවන්. සිංදු කියන්න, නටන්න පුළුවන්. ඒ අතරේ වේෂ නිරූපණය. හඬ පාලනය වගේ දේවල් දුවට පුළුවන්. වේදිකා පාලනය, විදුලි ආලෝකය, වාද්‍ය භාණ්ඩ වාදනය වගේ දේවලුත් පුතාට පුළුවන්‍. * ඔබේ රඟපෑම් කුස පබාවතීට විතරක් සීමාවෙයිද ? ඉදිරියේදි අනෙකුත් නාට්‍යවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා. බියංකා නානායක්කාර ඡායාරූප: උපුල් නිශාන්ත
 

More News..