brand logo
logo

වහබ්වාදය කුරුණෑගලින් පටන්ගත් කතාව

13 March 2021

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොමිෂන් සභාවේ ක්‍රියාවලිය සහ කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳව මතකයට නැගිය යුත්තේ ශ්‍රී ලංකාවාසීන් පෙළෙන ජානමය දෝෂයක් වන ‘විස්මෘතිය’ හෙවත් අමතකවීමේ රෝගය හේතුවෙන්ය. අපගේ රටවැසියන්ගේ සංස්කෘතික වශයෙන් ඇති මෙම ව්‍යාධි තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ඇතැම් දේශපාලන අවස්ථාවාදීන් ආන්දෝලනාත්මක සහ සංවේදවාදී ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි සහ යූ ටියුබ් වැනි ජනශ්‍රැතික මාධ්‍ය හරහා විකාශයට පත්කිරීමට පටන් ගෙන ඇත. මෙවැනි ජනප්‍රිය සහ අවස්ථාවාදී ප්‍රකාශයන් පාස්කු ප්‍රහාරයට හේතුසාධක ජාතික තලයේ පක්ෂ දේශපාලනයට සහ පෞද්ගලික එදිරිවාදිකම්වලට පමණක් පටු ලෙස සීමා කොට ඇත. පටු දේශපාලන අභිප්‍රායන් මුල්කොට ගෙන සමාජගත වන ජනප්‍රිය ආඛ්‍යාන අප රටේ සාමූහික මනෝභාවයට ඇතුළත් නොකොට පාස්කු ප්‍රහාරයට හේතුවූ වාස්තවික සාධක විචාර බුද්ධියෙන් පැහැදිලිව සිතිය යුතුය. මේ පිළිබඳව පළවීමට නියමිත ලිපි මාලාවේ පළමුවැන්න වන මෙම ලිපියේ අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයට මුල්වූ ප්‍රචණ්ඩ අන්තවාදය සහ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ආකාරය පිළිබඳව ඓතිහාසික සහ සමකාලීන සිදුවීම සහ ප්‍රවණතාවයන් ගොනු කොට දේශපාලන ආර්ථික චිත්‍රයක් ඉදිරිපත් කිරීමයි. ප්‍රචණ්ඩ අන්තවාදය සහ එමගින් හටගන්නා ත්‍රස්තවාදය හදිසි හෝ අහඹු සිදුවීම් නොවේ. දශක ගණනාවක් තිස්සේ කෙමෙන් වර්ධනය වන දේශපාලන, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ක්‍රියාවලීන් තුළින් රැඩිකල්කරණය සහ අන්තවාදය ප්‍රචණ්ඩ අන්තවාදය සහ ත්‍රස්තවාදය දක්වා පඩි පෙළක් මෙන් වර්ධනය වේ. වර්තමානයේ ත්‍රස්තවාදය දෙස බලන විට පෙනෙන හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ 2001 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි. ඉන්පසුව මැද පෙරදිග සහ දකුණු ආසියාවේ මුල් බැසගෙන ඇති සටන්කාමී ඉස්ලාමීය ත්‍රස්තවාදය වර්තමානයේ ගෝලී ත්‍රස්තවාදයේ මුහුණුවර බවට පත්ව ඇත. මෙම අතිශය ප්‍රචණ්ඩකාරී ආගමික අන්තවාදීන් ගෝලීය මුස්ලිම් ප්‍රජාව තුළ සුළුතරයකි. එහෙත් මෙම අන්තවාදීන් තම ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කරන්නේ ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් විවිධ ලෙසින් අර්ථ නිරූපණ කරමිනි. RAND සංවිධානයේ පර්‌යේෂණවලට අනුව 1980 ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියා කළ සංවිධාන 64 න් 2 ක් පමණක් ආගමික අභිප්‍රේරණයක් මගින් ප්‍රචණ්ඩ ක්‍රියා කළ බව වාර්තා වේ. මෙම සංඛ්‍යාව කෙමෙන් වර්ධනය වී ඇත. 1995 දී ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් හරි අඩක්ම (50%) ආගමික අභිප්‍රේරණයන් තම ක්‍රියා සාධාරණීකරණය කිරීමට යොදාගෙන ඇත. මෙයින් බහුතරයක්ම ඉස්ලාම් ආගම ඔවුන්ගේ මාර්ගෝපදේශන බලවේගය ලෙස සැලකූහ. අද වනවිට මෙම ප්‍රතිශතය 70% අභිභවා ගොස් තිබේ. මෙම සටන්කාමී ඉස්ලාමයේ ප්‍රභවයන් වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා මැද පෙරදිග හා දකුණු ආසියාවේ නූතන ත්‍රස්තවාදය විකාශනය වී ඇති ආකාරය දෙස වෛෂධික කෝණයකින් බැලිය යුතුවේ. අරාබිකරය සහ ඉස්ලාමීය ලෝකය බටහිර රටවල යටත්විජිත බවට පත්කර ගැනීම, පශ්චාත් යටත්විජිත යුගයේදී එම කලාපයේ නූතන රාජ්‍යයන් පිහිටුවීමේ උත්සාහයන් අසාර්ථකවීම සහ ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යය ඉස්ලාමීය ලෝකය තුළ නිර්මාණය කිරීම යන සන්දර්භය තුළ ඉස්ලාමීය ලෝකය පුරා මාක්ස්වාදී හා බටහිර විරෝධී ව්‍යාපාර මාලාවක් ආරම්භ විය. නූතන ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ පළමු අදියර ජනනය වන්නේ මෙම විප්ලවවාදී ව්‍යාපාරවල දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ත්‍රස්තවාදය ඵලදායී උපාය මාර්ගයක් ලෙස හඳුනා ගත් විටය. 1960 දශකයේ අග භාගය වනවිට පලස්තීන නිදහස සඳහා ආරම්භ වූ ව්‍යාපාර වන ‘අල් ෆතා’ සහ PFLP සංවිධාන සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාරවලට ප්‍රවිෂ්ට විය. 1967 දී ඊශ්‍රායලය අතින් අරාබි හමුදා පරාජය වූ පසුව මිලිටරිමය වශයෙන් ඊශ්‍රායලය සමග යුද්ධ කර ජයග්‍රහණය කිරීමට නොහැකි බව පලස්තීන නායකත්වයට ඒත්තු ගියේය. ඒ කාලයේම ලතින් ඇමරිකාවේ, උතුරු අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් පාඩම් උගත් පලස්තීන කණ්ඩායම් සම්ප්‍රදායිකව ග්‍රාමීය ප්‍රදේශ සහ වරප්‍රසාද නොලත් ප්‍රදේශ පදනම් කරගත් ගරිල්ලා සටන් ක්‍රමවේදය, නාගරික ත්‍රස්තවාදය බවට පරිවර්තනය කිරීමට සමත් වූහ. 1972 ජර්මනියේ මියුනික් ප්‍රදේශයේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඊශ්‍රාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැහැරගෙන යාම, මරා දැමීම, බෝම්බ හෙළීම, වෙඩි තැබීම් වැනි උපාය මාර්ගවලට අවතීරණ වූ පලස්තීන සටන්කාමීහු පසුකාලීනව පැමිණි ජනවාර්ගික සහ ආගමික ව්‍යාපාරවල ආදර්ශයන් බවට පත්වූහ. 1970 අගභාගය වනවිට පලස්තීන සටන්කාමී ව්‍යාපාරය ලොව පුරා ත්‍රස්තවාදී උපක්‍රම ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන නාලිකාව විය. එහෙත් 1970 දශකයේ පලස්තීන සංවිධාන නිර් ආගමික විය.  1967 ඊශ්‍රායල-පලස්තීන යුද්ධයේ අරාබි ජාතිකත්වය යන සංකල්පය අසාර්ථක යැයි ඒත්තු ගියේය. හුදෙක් ‘අරාබි’ අනන්‍යයතාව වටා බලවේගයක් ක්‍රියාත්මක කිරීම අසාර්ථක විය. මෙම අසාර්ථකත්වයත් සමග ප්‍රගතිශීලී සහ අන්තවාදී ඉස්ලාමීය ව්‍යාපාර ශක්තිමත් විය. පසුකාලීනව සමාජ සුබසාධනය සහ අධ්‍යාපනය පෙරදැරි කරගත් ඊජිප්තුවේ ‘මුස්ලිම් සහෝදරත්වය’ (Muslim Brotherhood) වැනි ආගමික සංවිධාන නිර්ආගමික රාජ්‍යයන්වල අඩුපාඩු පෙන්වමින් ජනප්‍රියත්වයට පත්වූහ. ජාතිකවාදී දෘෂ්ටිවාදයේ ව්‍යාප්තියට එරෙහිව සටන් කළ එවැනි ව්‍යාපාරවලට සහය දැක්වූයේ මැද පෙරදිග ඇමරිකානු නියෝජිත රාජ්‍ය වන සෞදි අරාබියයි. ගතානුගතික සහ ප්‍රාථමික අරාබි පාලන තන්ත්‍රයක් වන සෞදිය එවකටත් ප්‍රගතිශීලී සහ විවෘත දේශපාලනමය ඉස්ලාමය තම පැවැත්මට තර්ජනයක් ලෙස සැලකුවේය. එමනිසා ජාතිකවාදී සහ දේශපාලන ඉස්ලාමීය ව්‍යාපාරවලට එරෙහිව සටන් කිරීම සඳහා මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම් බලගැන්වූහ. 1979 වර්ෂය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරන වසරකි. ඉරානයේ අයතුල්ලා කුමේණි විසින් ආරම්භ කළ ඉරාන ඉස්ලාමීය විප්ලවය, විප්ලවාදී ‘ෂියා’ ඉස්ලාම් රැල්ල ලොවට විදහා දැක්වූවේය. මේ අතර සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග යුරේෂියානු ත්‍රිකෝණ කලාපය අහිමි වේ යැයි බියවූ ඇමරිකාව පාකිස්තානයේ එවකට සිටි ජෙනරාල් සියා-උල්-හක්ගේ සහය අැතිව සෝවියට් විරෝධී ‘මුජාහිදීන්’ ත්‍රස්ත කණ්ඩායම බලගැන්වූවේය. ඉස්ලාම් ධර්මයේ සඳහන් වන ‘ජිහාද්’ හෙවත් ‘ධර්ම යුද්ධය’ පෙරට ගත් වහාබ් ඉස්ලාමීය භාවිත කොට ස්වේච්ඡාවෙන් ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධවීමට පැමිණි අයගේ මොළ හේදීමේ සංවිධානාත්මක ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඇමරිකාවේ, සෞදි අරාබියේ සහ පාකිස්තාන රජයේ හවුල්කාරීත්වයෙනි. මෙම කාලවකවානුවේදී ආරම්භ වූ රැඩිකල් ඉස්ලාම් අන්තවාදී සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වන්නේ ‘‘තාලිබාන්’‘ (ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය), ‘‘හිස්බුල්ලා’’ (ලෙබනනය), ඊජිප්තු ඉස්ලාමීය ජිහාද් සංවිධානය, පලස්තීන ඉස්ලාමික් ‘ජිහාද්’, හමාස්’’ සහ ‘‘අල් ජමාත් අල් ඉස්ලාමියා’‘ යන සංවිධානයි. 1989 සෝවියට් හමුදා ඉවත්වීමත් සමග ඇෆ්ගනිස්තාන කලාපය ජාත්‍යන්තර ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වූයේය. පාකිස්තාන රජයද තම රටේ දේශ පාලන සහ ආර්ථික අර්බුදවලින් පැනනැගෙන අභ්‍යන්තර ගැටලුවලින් අපගමනය වීම සඳහාත් එරටේ පැතිරෙන ඉස්ලාම් අන්තවාදය පාලනය කිරීම සඳහාත් ඇෆ්ගනිස්තානයේ සහ කාශ්මීරයේ ත්‍රස්ත කණ්ඩායම්වලට ආධාර සපයි. 1990  දශකයේ මැද භාගයේ සිට කාශ්මීරයේ සටන් කරන පාකිස්තානය මගින් මෙහෙයවන ත්‍රස්ත කණ්ඩායම් පුහුණුවීම් කටයුතු කරන්නේ තාලිබාන් සංවිධානය විසින් පාලනය කරන ප්‍රදේශ  තුළයි. මෙම කණ්ඩායම්වල සාමාජිකයන් මෙන්ම පාකිස්තානයේ වයඹ  දිග මායිම් පළාතේ තරුණයන් දහස් ගණනක් තාලේබාන් සංවිධානය සමගද, තම අරාබි සහචාරයන් සමගද සිරියාව ඇතුළු  අරාබිකරයේ වෙනත් යුද කලාපවල සටන්වලට සහභාගි වේ. 1989 සිට ආගමික අන්තවාදීන් තම රටට හෝ කලාපයට සීමා නොවී වෙනත් රටවල් ඉලක්ක කර ගැනීම වර්තමාන ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ එක් ප්‍රවණතාවකි. වහාබ්වාදය පෙරට ගත් වර්තමාන ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කැපී පෙනෙන කණ්ඩායම් වශයෙන් සැලකිය හැක්කේ. ‘‘අල් කායෙදා’‘ ඇල්ජීරියාවේ G.I.A  යේමෙනයේ AAIA පාකිස්තානයේ ‘‘හරකාත් - අල් මුජාහිදීන්’’ ‘‘ජයේස් -ඒ මොහම්මද්’ සහ ‘‘ලෂ්කර් - ඒ තයියබා’’ යන ත්‍රස්තවාදී කණ්ඩායම්ය. ‘‘ඉස්ලාමීය රාජ්‍ය’’ (Islamic state හෙවත් IS) යන දරුණු වහාබ්වාදී ත්‍රස්ත කණ්ඩායමට ජාත්‍යන්තර අවධානය යොමු වන්නේ ඔවුන් 2014 වර්ෂයේදී ඉරාකයේ මෝසුල් නගරය අල්ලා ගැනීමෙන් පසුවය. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග මැදපෙරදිග පැන නැගුණු යුද ජාලයේ සිරියාවට පැතිරීමත් සමග උපත ලත් දරුණු ත්‍රස්ත කණ්ඩායක් වන  IS, ISIS, ISIL සහ Daesh යන නම්වලින්ද හඳුන්වයි. මෙම ත්‍රස්ත ජාලාවේ නිර්මාතෘවන අබුමුසාබ් අල් සර්කාවිද පටන්ගත්තේ 1989 දී ඇෆ්ගන් මුජාහිදීන් කඳවුරකිනි. 1999 දී ඔසාමා බින් ලාදින් හමුවන සර්කාවි කෙටි කාලයක් තුළ ලොව දරුණුම ත්‍රස්ත ජාලය නිර්මාණය කිරීමට නායකත්වය දුන්නේය. 2006 දී ඇමරිකානු ගුවන් හමුදා ප්‍රහාරයකින් සාර්කාවි ජීවිතක්ෂයට පත්වීමත් සමග IS ජාලය තාවකාලිකව සැඟවී සිට යළි පණ ගසා එන්නේ 2010 අබු බකර් අල් බග්දාදී ගේ නායකත්වයෙනි. 2011 දී සිරියානු සිවිල් යුද්ධයට ඍජුවම සම්බන්ධ වන IS ජාලය වර්තමානයේ IS රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටිති. විශේෂයෙන් 2017 - 2018 වර්ෂවල රුසියානු තුර්කි සහ ඉරාන හමුදා ප්‍රහාරවලින් ඉරාකයෙන් සහ සිරියාවෙන් පසුබැසූ IS ජාලය වහාම්වාදී මුජාහිදීන් ව්‍යාපාරයේ ප්‍රභවය වන ඇෆ්ගනිස්තානය ඇතුළු දකුණු ආසියාව තමන්ගේ ‘‘ඉස්ලාමීය රාජ්‍යය’’ කර ගැනීමේ උත්සාහයක නිරත වේ. මුස්ලිම් ආගමිකයන් මිලියන 600ක් වාසය කරන දකුණු ආසියාව ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන කලාපයයි. ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවී ඇත වහාබ්වාදය ද අප කියවිය යුත්තේ මෙම ගෝලීය සන්දර්භය තුළයි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වහාබ්වාදය පැතිරවීම හඳුන්වන්නේ ‘‘තව්හිද්’’ ලෙසින්ය. වහබ්වාදය වැලඳගත් ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ ‘‘මුවාහිදාන් හෝ ‘‘සලාෆි’’ ලෙසිනි. ශ්‍රී ලංකාවේ වහාබ්වාදය පතුරවන්නේ ‘‘තව්හීද්’’ නමැති සංවිධානය මගින් ජාතික තව්හීද් ජමාත් වර්තමානයේ වහාබ්වාදය පතුරවන ප්‍රධාන සංවිධානය  වුවද, වහාබ්වාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹෙන්නේ 1947 ජමාත් අන්සාරි සුන්නතුල් මුහමදීන්’’ නමැති සංවිධානය මගින්ය. වහබ්වාදය පටන් ගත්තේ කුරුණෑගලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  පරගහදෙණිය ප්‍රදේශයේ අරාබි භාෂාව උගන්වන පාසලක් ලෙස ඇරඹෙන මෙ සංවිධානය ශිෂ්‍යයන් 400ක් බඳවාගනු ලැබීය මෙම පාසලේ නිර්මාතෘ ‘දර්වෙෂ අබ්දුල් හමීද් බක්රි මෙහි ශාඛාවක් පිහිටි වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ නින්තාවුර් ප්‍රදේශයට ගියද එම ප්‍රදේශයේ විසූ මධ්‍යස්ථ සහ ආධ්‍යාත්මිකව නැඹුරුවක් දක්වන සුෆි ඉස්ලාම් ධර්මය අනුගමනය කරන ජනතාවගේ දැඩි විරෝධය නිසා ඔවුගේ උත්සාහය අසාර්ථක විය. පසුකාලීනව වහාබ්◊ අන්තවාදීන්ගේ ව්‍යාප්තිය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් වැසියන්ගේ මර්දනයත් සමගය. වහාබ්වාදය හෝ කිසියම් අන්තවාදයක ප්‍රධාන සංකලපයක් සහ ඉලක්කයක් වන්නේ තම ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවට සුවිශේෂීතාවක් සහ ඉතා පටු අර්ථකතනයක් දීමය. මේ ක්‍රියාවලියේ පළමුවැනි අදියර වන්නේ තමන්ගේම ආගමික ප්‍රජාවට අයත් එහෙත් මධ්‍යස්ථ හෝ වෙනත් මත දරන කණ්ඩායම් මර්දනය කිරීමයි. 1924 දී ආරම්භ වූ ‘‘ජමියතුල් උලෙමා’’ සංවිධානය ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ 1979 දී ශ්‍රී ලංකාවේ වෙසෙන තම සහෝදර සුෆි මුස්ලිම් ප්‍රජාවට විරුද්ධවයි. නැගෙනහිර සූෆි වඳවෙයි  වර්තමානයේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින සුෆි මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වාසය කළේ නැගෙනහිර පළාතේය. 1990 සිට විටින් විට පහර දීම් අතුරුදන් වීම් සහ මිනීමැරුම්වලට ලක්වූයේ සුෆි මුස්ලිම් පූජාවේ ආගමික නායකයන්ය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වූයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ‘‘ඉස්ලාමීය මඟපෙන්වීම සඳහා මධ්‍යස්ථානයේ නිර්මාතෘ මොහොමද් අලියාර් නමැත්තාය. අලියාර් වහාබ් අන්තවාදය වැළඳගෙන ඇත්තේ සෞදි අරාබියේ ඉස්ලාමීය අධ්‍යාපනය ලබන කාලයේදීය. කාත්තන්කුඩියේ සුෆි මුස්ලිම් සංස්කෘතිය මර්දනය කිරීමට නායකත්වය දුන් පුද්ගලයකු ලෙස අලිගර් හැඳින්විය හැකිය. සුෆි ආගමික නායකයකු වන යෙහියා මවුලවි අශාරිට 19091 මක්කම වන්දනාවේදී පිහියෙන් ඇනීම, 1995 දී අක්කරෙයිපත්තු ප්‍රදේශයේ වෙඩි තැබීම, 1998 එම්.එස්.එම් ගාරුක් කාදීර් නමැති වහාම් විරෝධී සුෆි මුස්ලිම් ආගමික නායකයා මරා දැමීම, සහ 2004 ඔක්තෝබර් මාසයේදී සුෆි මුස්ලිම් භාවනා මධ්‍යස්ථානයකට (කාන්තන්කුඩියේ පිහිටි) ගිනි තබා විනාශ කිරීම -- අන්තවාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ මුල් අදියර විය. -- සමාන්තරව රට අභ්‍යන්තරයේ යුද්ධියක් සමග සිදුවූ ආර්ථික -- දේශපාලනික --- වහාම්වාදය රට තුළ පැතිරීමට හේතුවිය. සිවිල් යුද්ධයේදී උතුරු පළාතේ වාසය කළ සියලුම මුස්ලිම් ජනතාව උතුරෙන් නෙරපා හැරියේ 1990 දී එල්.ටීටී.ඊ. සංවිධානය විසින්ය. එයිින් අවතැන් වූ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් නැගෙනහිර පළාතට සංක්‍රමනය වූ අතර තම ජීවනෝපාය ස්ථාවර කර ගැනීම සඳහා මැදපෙරදි අරාබිකරයේ රටවලට සංක්‍රමණික සේවකයින් ලෙස ගියෝය. මෙම සංක්‍රමණික සේවකයින් ආර්ථික හා ආරක්ෂක හේතුන් මත මැදපෙරදිග ගියහ.  ඔවුහු සමහරක් එවකට අරාබිකරයේ ව්‍යාප්ත වී තිබුණු වහාම්වාදයටද අනුගත වූහ. මීට සමාන්තරව 1980දී කොළඹ ස්ථාපිත වූ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලය මගින්ද වහාබ්වාදය පැතිරවීම සඳහා මුස්ලිම් පල්ලි සහ මද්‍රසා ආයතන ඉදිකිරීමට අතිවිශාල මුදල් සම්බාරයක් වැය කළේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගම හදාරන ශිෂ්‍යයන්ට අරාබි රටවල විශේෂයෙන් සෞදියේ ඉස්ලාමීය ධර්මය හැදිරීමට ශිෂයත්ව දුන්නේය. වහාබ්වාදයේ ව්‍යාප්තිය පැහැදිලිව දෘෂ්‍යමාන වන්නේ නැගෙනහිර පළාතේ කාන්තන්කුඩා වැනි ප්‍රදේශවල සිදුවූ සමාජ සහ සංස්කෘතික පරිවර්තනයන් දෙස බලන විටය. මුස්ලිම් කාන්තාවන් තම ඇඳුම් අරාබි බුර්කාව සහ නිකාබය ලෙස වැළඳ ගන්නේ ද පාරවල් ඇතුළු පොදු ස්ථානවලට කාන්තා පක්ෂය පැමිණීම නැවතෙන්නේද වහාම්වාදය ව්‍යාප්තියත් සමගය. මෙලෙස සිදුවන සමාජ පරිවර්තනයන් අතර විශේෂ ලෙස දැකිය හැකි තවත් සාධකයක් වන්නේ 1986 දී එම්.එච්.එම් අෆ්රෆ් විසින් මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීමත් එමගින් සුවිශේෂීඩා ආගමික සහ ජනවාර්ගික කණ්ඩායමක් ලෙස මුස්ලිම්වරුන්ගේ දේශපාලන නියෝජනය වැඩිවීමයි. පසුකාලීනව සහ වර්තමානයේ මැතිවරණ සන්ධාන තීරණය කරන ප්‍රබල බලවේගයක් බවට මුස්ලිම් දේශපාලන පක්ෂ පත්වී තිබේ. ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ සුවිශේෂීත්වය සහ සිංහල හෝ දමිළ ජනවර්ගවලට වෙනස් අනන්‍යතාවක් ඇති දේශපාලනික ප්‍රජාවක් ලෙස ස්ථාපිත කිරීම සටහන් කරන්නේ 2003 ජනවාරි 23දා ප්‍රසිද්ධ කළ ‘‘ඔලුවිල්’’ ප්‍රකාශයෙනි. ඔළුවිල් ප්‍රකාශයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඊසාන ප්‍රදේශය මුස්ලිම්වරුන්ගේ නිජබිම බවයි. නැගෙනහිර සහ ඊසානදිග මුස්ලිම්වරුන් සිංහල හෝ දමිල නොවන වෙනස් ජනවර්ගයක් බවත් නැගෙනහිර පළාතේ මෙම ජනවර්ගයට භෞමික ස්වයං පාලනයක් අවශ්‍ය බවත් ඔවුන්ගේ ස්වයං නිර්ණය සඳහා ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් කලාපයේ ආකෘතිය හෝ පලස්තීන අධිකාරියේ සැලැස්මට අනුව සිදුවිය යුතු බවත්ය. මෙම දේශපාලනික සන්දර්භයද ශ්‍රී ලංකාවේ වහාබ්වාදයේ ව්‍යාප්තිය කියැවීම සඳහා වැදගත්වේ. 2004 සුනාමි ව්‍යසනයෙන් නැගෙනහිර පළාත විනාශවීමෙන් පසුව එහි ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් මුදල් පරිත්‍යාග ලැබෙන්නේ සෞදි අරාබිය, කටාර් රාජ්‍යය වැනි වහාම් අන්තවාදය පතුරන රටවලින්ය. මෙම රටවල දානපතියන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුන් අරමුදල් සහ ආධාර නැගෙනහිර පලාතේ පමණක් නොව රට පුරා මද්රසා පාසල් ආරම්භ කිරීමටද ඉවහල් විය. මද්රසා පාසල් තුලින් වහාබ්වාදය සමාජගත කිරීම පිළිබඳව මීළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ආචාර්ය වගීෂා ගුණසේකර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේශපාලන අර්ථශාස්ත්‍රය විවෘත විශ්ව විද්‍යාලය
 

More News..