විශේෂාංග

වසර තිහකට පසු හඳගම Antique කඩයක් දමයි

ප්‍රකට සිනමාකරුවකු වන අශෝක හඳගම සිය නිර්මාණ ජීවිතයට අත්පොත් තබන්නේ කවි, කෙටිකතා රචනයෙනි. ඒ සමගම ඔහු නාට්‍යකරුවකු ලෙසද සිය අනන්‍යතාව ප්‍රකට කරයි. ටෙලි නාට්‍යකරණයට පිවිසෙන්නේ ඉන් අනතුරුවයි. හඳගම අවසන් වරට වේදිකාගත කළේ ‘මාඝාත’ නාට්‍යයයි. ඒ දැනට වසර 30කට පෙරය. ඒ තිස් වසරට පසුව,

අශෝක හඳගමගේ නිමැ වූ Antique කඩයක මරණයක් වේදිකා නාට්‍යය මේ මස 19,20,21 තෙදිනෙහි ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංගගත කෙරෙනු ලැබේ.

මේ සංවාදය ඒ නිමිත්තෙනි.

පාසලේදී විද්‍යා ගණිත අධ්‍යාපනය ලැබූ ​අශෝක හඳගම නාට්‍ය හා සිනමා කලාව වෙත යොමු වීමේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද?

ටර්නිං පොයින්ට් එක ඉස්කෝලෙම තමයි. ඉස්කෝලෙ තිබ්බා. කලා සංගමයක්. මට චිත්‍ර අඳින්න පුළුවන්නේ. චිත්‍ර ඇන්ද හින්ද කලා සංගමයට සම්බන්ධ වෙලා හිටියා. මේ සංගමයෙන් නාට්‍යයක් කළා. සංගීත ගුරුවරයා වෙච්චි සෝමපාල බොකලවෙල (සමන් බොකලවෙලගේ සහෝදරයා) තමයි ඉස්කෝලෙට ආධාර පිණිස නාට්‍යයක් කළේ. ඔහු නිකම්ම ගුරුවරයෙක් නොවෙයි. ඔහු සුගතපාල ද සිල්වාගේ ‘නිල් කට්රෝල් මල්’ නාට්‍යයේ පවා රඟපෑ වෘත්තීය නාට්‍යකරුවෙක්. මං මුලින් සම්බන්ධ වුණේ සෙට් එක ගහන වැඩ, මේකප් කරන වැඩ, පෝස්ටර් අඳින වැඩවලට. ඒක මාස 6-7ක ලොකු වැඩමුළුවක් වගේ වැඩක්. ඒ එක්කම මටත් හිතුණා නාට්‍යයක් ලියන්න ඕනේ කියලා. එතකොට මං උසස් පෙළ පන්තියේ.

1979 අවුරුද්දේ ‘තවද එක් නිදසුනක්’ නමින් නාට්‍යයක් ලිව්වා. ඒ නාට්‍යය දිස්ත්‍රික් තරගවලින් දිනලා කලාප තරගවලට පවා ගියා. ඊට පස්සේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කළා.

කලාපීය තරගයේදී අපි පැරදුණේ කේ.බී. හේරත්ගේ ‘සුදු කරල්’ නාට්‍යයට. ඒ අවුරුද්දේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය ලෙස ජනාධිපති සම්මාන දිනා ගත්තෙත් ‘සුදු කරල්’ නාට්‍යය. සුදු කරල් නොතිබුණා නම් අපේ නාට්‍ය තමයි කොළඹට එන්නේ.

ඉස්කෝලේ ඉද්දිම ‘පරසතු’ නමින් තවත් නාට්‍යයක් කළා. එය යෞවන සම්මාන අවසන් වටය දක්වා ආවා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුණා.

විශ්වවිද්‍යාල ජීවිතය ඔබේ සිතුම් පැතුම් වෙනස් කළා කියා මා කිව්වොත්?

අපි විශ්වවිද්‍යාලයට එනකොට විශ්වවිද්‍යාලය කියන තැන බොහෝම සක්‍රීයයි. රෑ 10-11 වෙනකල් විවිධ වැඩ තියෙනවා. ආර්ට් වැඩ. නාට්‍ය රඟදැක්වෙනවා. සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. සංගීත වැඩසටහන් තියෙනවා. ඒ අතර ශිෂ්‍ය සටන් කෙරෙනවා.

ඉස්කෝලේ ඉඳන් විශ්වවිද්‍යාලයට ආවම අමුතු තැනක් බව තේරුණා. අපි ඒ අමුතු දේවල් හොයාගෙන ගියා. අපිට කිසියම් දෘෂ්ටියක්, මතවාදයක් අපේ ඔළුවලට ඇතුළු වෙන්නෙ අපි ඒවට සක්‍රියව මැදිහත් වෙන්නේ, අපේ නිර්මාණවලට ඒ මතවාදයන් ඇතුළු වෙන්නෙත් ඒ කාලේ තමයි.

1983දී මා කළ ‘අවුරෝරා’ කෙටි නාට්‍යය විශ්වවිද්‍යාලයේ කෙටි නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය විදිහට තේරුණා. මේ උළෙල විනිශ්චය කළේ සුගතපාල ද සිල්වා. ඔහු නාට්‍යය ගැන විශේෂ වර්ණනාවක් කළා.

1985දී මා විශ්වවිද්‍යාල නාට්‍යයක් ලෙස ‘භූමිකා’ රඟ දැක්වූවා. ‘භූමිකා’ නාට්‍යයට සම්මාන ලැබුණා වගේම රට වටා රඟ දැක්වුණා. මා අද ඉන්න භූමි නැත්නම් ස්ථාන සකස් කළ තැන විදිහට විශ්වවිද්‍යාලය හඳුන්වන්න පුළුවනි.

ඔබේ ‘හෙණ’ නාට්‍යය දේශපාලනික තේමාවක් රැගත් නාට්‍යයක් විදිහටයි අපිට මතක. විශේෂයෙන් එකල මෙරට තරුණ පරම්පරාව ආශක්තව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතවාදය මේ නාට්‍යයට කාන්දු වී තිබුණා කිවහොත් නිවැරදිද?

87 හදපු ‘හෙණ’ නාට්‍යයට පාදක වුණේ කොරියානු ජනකතාවක එක් අඩක්. එය ඉතා කුඩා කතාවක්. මේ කතාවම පාදක කරගෙන තමයි පසුකාලයේ Chiken Run නමැති කාටුන් චිත්‍රපටය නිර්මාණය වුණේ.

‘හෙණ’ වෘත්තීය නළු නිළියන් රඟ පෑ නාට්‍යයක්. රොජර් සෙනෙවිරත්න, ජයලාල් රෝහණ, ජනක කුඹුකගේ, චුල්ල ජයවර්ධන, සේන නානායක්කාර, මාලි ජයවීර, ප්‍රසාද් සූරියආරච්චි, සකුන්තලා පීරිස්, අනෝමා ජනාදරී වැනි තරුණ නළු නිළියන් රැසක් රඟපෑවා.

ඒ කාලය වෙනකොට තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප දේශපාලන ප්‍රවාහයට බැක් කරන ප්‍රකාශනයක් විදිහට තමයි ‘හෙණ’ නාට්‍යය හැඳින්වුණේ. ඒකේ ඇති වැරැද්දක් නෑ. එහෙම තමයි.

1989දී මාඝාත ප්‍රසිද්ධ වේදිකාවට ආවා. එයට පාදක වුණේ එවකට පැවැති දේශපාලන වාතාවරණය තමයි. ඔබටත් මතක ඇති නේ. ඒ කාලේ ගංගාවල මිනී පා වුණා. ටයර් සෑ වල මළමිනී පිච්චුනා. තරුණයින් අතුරුදන් වුණා. ඒ කම්පනය තමයි ‘මාඝාත’ නාට්‍යයේ නිරූපණය වුණේ. ‘නීතියේ ආධිපත්‍යය’ කියන සංකල්පය ජනතාව අත තිබිය යුතු නීතියේ ආධිපත්‍යය කොහෙද තිබ්බේ කියන එක තමයි මට කතා කරන්න ඕනේ වුණේ.

‘මාඝාත’ නාට්‍යය වේදිකාගත වුණේ රට භීෂණයෙන් වෙලී තිබුණු අවදියක. එයින් නාට්‍යකරුවන් ලෙස ඔබලාට ජීවිත තර්ජන එල්ල වුණේ නැද්ද?

‘මාඝාත’ කියන නාට්‍යය පෙන්වීම විශාල වශයෙන් ගත්තාම ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව තමයි රටේ පැවැති දේශපාලන වාතාවරණය සෘජු ලෙසම ප්‍රශ්න කිරීම. අනිත් එක නාට්‍ය දර්ශන සංවිධානය කිරීමත් සංවිධායකයන්ට විශාල අභියෝගයක් වුණා. අපිත් ඉතාම සූදානමින් තමයි නාට්‍ය දර්ශනවලට සහභාගි වුණේ.

‘මාඝාත’ නිර්මාණය කළේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ශෛලියෙන්.

‘මාඝාත’ නාට්‍යයෙන් පසු ‘ප්‍රභාතය’, ‘දුන්හිඳ අද්දර’, ‘දියකැට පහණ’, ‘සින්තටික් සිහින’, ‘මේ පාරෙන් එන්න’ හා ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ යනුවෙන් ටෙලි නාට්‍ය කිහිපයක් නිර්මාණය කරනවා. ඔබට ටෙලි නාට්‍ය නිසා වේදිකාව මග හැරුණද?

වේදිකා නාට්‍ය අතහැරලා ඒමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. 1989 හදපු ‘මාඝාත’ නාට්‍යය 1993 දක්වාම රංගගත වුණා. අනූතුනේදී මට පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට යන්න සිද්ධ වුණා. එතකොට නාට්‍ය නවත්වන්න සිදු වුණා. අධ්‍යක්ෂවරයා නැතිව ලංකාවේ නාට්‍ය පවත්වාගෙන යන්න අමාරුයි. එහෙම පරිසරයක් නෙමෙයි තියෙන්නේ. 1995 අගදී ආපහු එන විට මං එංගලන්තයේදී බොහෝ නාට්‍ය නරඹා තිබුණා. ඒ අත්දැකීම් එක්ක මට ලංකාවට ඇවිත් කරන්න ඕනේ වුණේ කලින් කළාට වඩා වෙනස් නාට්‍ය. ඒ සඳහා විශාල මැදිහත්වීමක් කරන්න අවශ්‍යයි. ඒත් මගේ රස්සාවත් එක්ක ඊට උචිත පරිසරයක්, නිදහසක් තිබුණේ නෑ. එතකොට මං මහ බැංකුවේ රස්සාව කළ හන්දා ඒ කැපකිරීම කරන්න අවකාශ තිබුණේ නෑ. මට කරන්නං වාලේ නාට්‍යයක් කරන්න උවමනාවක් තිබුණේ නෑ. ඒ හින්දා තමයි නාට්‍යයක් කරන එක අවුරුදු තිහක් තිස්සේ කල් ගියේ.

විශ්වවිද්‍යාලයේ විද්‍යා ගණිත අංශයෙන් ප්‍රථම පෙළ සාමාර්ථයක් ලැබූ ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු නොවී වෙනත් මගක් ගත්තේ?

විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සහය කථිකාාචාර්යවරයකු ලෙස මං අවුරුද්දක් විතර වැඩ කළා. 1987 ජූලි මාසේ ඉන්දු ලංකා ගිවිසුම හරහා රට තුළ විවිධ සිවිල් හා සන්නද්ධ අරගල ඇති වෙන්න ගත්තා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ අරගලවලට සම්බන්ධ වුණා. මාත් ආචාර්ය මණ්ඩලයේ හිටියට වැඩි වශයෙන් කටයුතු කළේ ශිෂ්‍යයින් එක්කයි. එක වෙලාවක ගණිත අංශයේ හිටපු අංශාධිපති මට කතා කරලා ඇහුවා ‘‘අශෝක මං ඔයාට රස්සාවක් හොයලා දෙන්නද?’’ කියලා. මං කිව්වා ‘‘නෑ සර්…. මං හොයාගන්නම්’’ කියලා. එහෙමයි මං විශ්වවිද්‍යාල සේවයෙන් එළියට ආවේ.

ඒ වෙලාවේ මට ඔහු පිළිබඳ කේන්තියක් ඇති වුණත් පසු කාලයේ ආපසු හැරී බලද්දී මට තේරුණා ඔහු ඒ තීරණය ගත්තේ මා ගැන හිතලා තමයි කියලා.

ඒ කියන්නේ මට ජීවත් වෙන්න වරම් ලැබුණේ ඒ නිසයි.

අ​​ශෝක හඳගම ලාංකික සමාජය හඳුනාගත්තේ සිනමා කලාකරුවකු විදිහටයි. ‘චන්ද කින්නරී’ සිට ‘අසන්ධිමිත්තා’ දක්වා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළා. සිනමාකරුවකු ලෙස දෙස් විදෙස් සම්භාවනාවට පත්වුණා. මෙවන් මොහොතක ‘Antique කඩයක මරණයක්’නාට්‍යය වේදිකාගත කරන්න හිතුවේ ඇයි?

අපි මේ නාට්‍යයේ තේමාව ගැන කතා නොකර ඉඳිමු. විවිධ ප්‍රේක්ෂකයන්ට විවිධ දේ මතුකරගන්න පුළුවනි. නාට්‍ය කලාවට ලැදි රසිකයින් මේ නාට්‍යය නරඹා විවිධ අරුත් මතුකර ගනීවි.

අනෙක් ප්‍රශ්නය ගත්තොත් වේදිකාව, රූපවාහිනිය හා සිනමාව කියන්නේ මට මාධ්‍ය තුනක්. ඒවා එකක් අනෙකට වඩා හොඳයි හෝ අනෙකට වඩා උසස් කියලා කියන්න බෑ. වේදිකා නාට්‍යයක් කිරීම මගේ ආසාව. මට ඕන වුණේ මේ පශ්චාත් නූතන යුගයට ගැළපෙන, ඒ ආකෘතියට හැදුණු නාට්‍යයක් විදිහට තමයි මං හඳුන්වන්නේ. තේමාත්මක පැත්තෙන් ගත්ත වුණත්, නාට්‍යයේ රංගාකෘතිය පැත්තෙන් ගත්ත වුණත්, ‘Antique කඩයක මරණයක්’ වෙනස්ම අත්දැකීමක් වේවී.

මේ නාට්‍යයේ කතා කරන දේ ළමයින්ට ගෝචර නොවන්න පුළුවනි. ඒත් මා වැඩිහිටියන් සඳහා කියන අදහසින් නොවෙයි මේ නාට්‍ය කළේ. නාට්‍යය වැඩිහිටියන්ට සීමා කළේ රැඟුම් පාලක මණ්ඩලයයි. ඒක මගේ රාජකාරියක් නොවෙයි.

‘Antique කඩයක මරණයක්’ නාට්‍යයට දායක වෙන ප්‍රධාන පිරිස කවුද? කොරෝනා වසංගතය පැතිරී තියෙන මේ වගේ අවිනිශ්චිත කාලයක ඔබ වේදිකා නාට්‍යයක් රංගගත කිරීමට හිතුවේ ඇයි?

මේ නාට්‍යයේ පිටපත හා අධ්‍යක්ෂණය මගේ. සංගීතය සපයන්නේ චින්තක ජයකොඩි. වේදිකා සැලසුම්කරණය බිමල් දුෂ්මන්ත, රංගනයෙන් දායක වන්නේ සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරදා, ස්ටෙෆාන් තිරිමාන්න ඇතුළු පිරිසක්.

කොරෝනා එන විට ලංකාවේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය පිළිබඳ උවමනාව ක්ෂය වෙමින් තිබුණේ. උදාහරණයක් විදිහට අපි ඉස්කෝලේ යන කාලේ අපේ තාත්තගේ පඩියෙන් කොටසක් වියදම් වෙනවා චිත්‍රපට බලන්න. නාට්‍යයක් බලන්න. පොතක් මිලදී ගන්න වගේ. ඒත් දැන් ඒක නැහැනේ. දැන් තමන්ගේ මාසික වියදම් ලැයිස්තුවේ අන්තිමට දාලා තියෙන්නේ. ඒ නිසා සාමුහික වින්දනය කියන පුරුද්ද සමාජයෙන් වේගයෙන් ගිලිහෙමින් තියෙනවා. දැන් පෞද්ගලිකව දුරකථනයෙන්, පරිගණකයෙන්, ටීවි එකෙන් වින්දනය හොයා යන තැනට පත්වෙලා. මම ඒකේ වරදක් කියනවා නෙවෙයි. ඒත් ඒකම ප්‍රමාණවත් නැහැ. මගහැරෙන වින්දනය ලබන්න බැහැ. ග්‍රවුන්ඩ් එකට ගිහින් මැච් එකක් බලමින් ලබන වින්දනය ගෙදර රූපවාහිනි තිරයෙන් නරඹලා ලබන්න බැහැ. ඒ ෆීලිං එක වෙනස්. ඒක මගහැරීම කොරෝනා එක්ක තියුණු වුණා. කොරෝනා සම්පූර්ණයෙන් පහවෙන තුරු බලා හිටියොත් සාමුහික වින්දනයට තියෙන පුරුද්ද නැතිවෙන්න පුළුවනි.

ඒ නිසා ආර්ථික වශයෙන් ලාබදායක නොවුණත් මගේම වියදමින් නාට්‍යයක් කරන්න ඕනෑ කියලා හිතුවා. මේ අවුරුද්දේ ප්‍රසන්න විතානගේ, රාජිත දිසානායක වැන්නන් පවා නාට්‍ය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්.

එතකොට සිනමාකරුවකු ලෙස ඔබේ මීළඟ නිර්මාණය කුමනාකරද?

මං පහුගිය කාලේ ‘ඇල්බොරාදා’ නමින් චිත්‍රපටයක් කළා. ඇල්බොරාදා කියන්නේ ස්පාඤ්ඤ නමක්. ඒකේ තේරුම අරුණ. ඉංග්‍රීසියෙන් dawn කියනවා. 1929-1931 අතර කාලයේ ලංකාවේ හිටි චිලියන් තානාපතිවරයා තමයි පැබ්ලෝ නොරූදා. ඔහු ලෝක ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක්. කලාකරුවෙක් නොබෙල් සම්මානලාභියෙක්.

ඔහුම ලියා තිබූ විස්තර හා අධ්‍යයනයකින් සොයා ගත් තොරතුරු අනුව මා කළ ප්‍රබන්ධයක්. ස්පාඤ්ඤ නළුවකු හා ප්‍රංශ නිළියක ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව විදේශීය පිරිස් විශාල පිරිසක් සම්බන්ධ වුණා. සමහර විට මේ වසර අගභාගයේ මේ චිත්‍රපටය තිරගත වේවි.

හෙන්රි වර්ණකුලසූරිය