විශේෂාංග

වතුර ලීටරේ 50යි රා ලීටරය 45යි

ඉහළට යන රැකියා අතරින් ලංකාවේ ප්‍රධානම රැකියාව වන්නේ පොල්ගස් නැගීමය. බොහෝ විට පොල් කඩන්නන් ලෙස අද ව්‍යවහාරයට ගැනෙන්නේ පොල් කඩන අයය. ඉහළට යන පොල් ගස් නගින රැකියාවේ ඉහළට ගොස් පැත්තට යන රැකියාවක්ද ඇත. ඒ පොල් රා මදින්නන් අතුරේ යන ගමනය.

රා මදින්නන් ඉල්ලා පසුගිය සති ගණනාවක සිට පුවත්පත්වල දැන්වීම් පළ විය. එහි සඳහන් වූයේ දෙන රා සඳහා වන කොමිෂන් මුදල සමග රු. 150,000කට (එක්ලක්ෂ පනස් දහසක්) අධික වැටුපක් ලැබිය හැකි බවය. සාම්ප්‍රදායික රා කර්මාන්තය සඳහා ලංකාවේ භාවිත වන තාල වර්ගයේ ගස් වන්නේ පොල්, තල් හා කිතුල්ය. මේ අතරින් ප්‍රධාන වන්නේ පොල්ය. ලංකාවේ ප්‍රධාන වශයෙන් පොල් රා කර්මාන්තය ඇත්තේ අලුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල ආදී කළුතර වෙරළාශ්‍රිත ප්‍රදේශයේ මෙන්ම මාරවිල හා හලාවත ප්‍රදේශය ආශ්‍රිතවය.

මේ රා කර්මාන්තය ගැන කියන විට මුලින්ම අපේ මතකයට එන්නේ රා පීප්පයය. මුල් කාලයේ ලංකාවේ මුද්‍රණය වුණු ‘Times of Ceylon Pictorial’ (1950ට පෙර) ඇත්තේ රා මුට්ටි බාල්දිවලට පුරවා බූලිවල කදක් මෙන් රැගෙන යන ආකාරයේ කළු සුදු පින්තූරය. රා කත්කරු එම රා බාල්දි හලන පීප්පවල ධාරිතාවන් දෙකකින් යුතු විය. ඡායාරූපවල විස්තරවලට අනුව පේන්නේ එම පීප්ප ගැලුම් 105 සහ ගැලුම් 80 පීප්ප බවය. මෙම පීප්ප ගොන් කරත්ත පිට පටවා ගෙන යනු ලබන්නේ රා හිමිකරුගේ වලව්වටය. එහිදී රා පීප්පය තුළ වන රා ප්‍රමාණය ඇස්ටිමේට් කරන්නේ ‘අරක්කු රේන්ද බලපත්‍රලාභී’ මුදලාලි මහතා ඉදිරිපිටය. ඔහු බො‌හෝ විට මුදලිතුමකු වැනි ප්‍රභූවරයෙකි. රා මැනීමට භාවිත කළේ කට්ට කපා තිබූ බැල්ටවූවය. එය කෝදුවක් වැනි ලීයකි. කට්ටයක් යනු ගැලුම් 4කි. ඉන්පසු රා පීප්පය පටවාගත් ගොන් කරත්තය කෙලින්ම දක්කන්නේ ඉස්කාගාරය වෙතය.

රා මදින්නන් සොයා අප පසුගියදා ගියේ අලුත්ගම, බේරුවල, මග්ගොන හා පයාගල ප්‍රදේශවලටය. කළුතර ආශ්‍රිත මේ ප්‍රදේශ නිරීක්ෂණයේදී අපට පැහැදිලිව පෙනුණේ මේ රා මදින්නන් අතර තරුණ ප්‍රජාවක් නියෝජනය නොවන බවය. අලුත්ගම පසුකර නැවත අප පයාගල වෙත ආවේ ඒ වනවිටත් රා මදින්නන් තම රැකියාවේ යෙදී සිටි නිසා ඔවුන්ව කතාවට අල්ලා ගැනීමට අතුරෙන් බස්සවා ගැනීම කළ නොහැකි කටයුත්තක් නිසාය.

පයාගලදී තැන් කිහිපයකින් රා මදින්නන් ගැන සෙවූවත් හරි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. ඔවුන් සිතන්නට ඇත්තේ අප සුරාබදු වැටලීම් කරන නිලධාරීන් ලෙස රා විකුණන තැන් සොයා බලන බවය. අවසානයේ අපට රා මදින්නට බලපත්‍රයක් ගෙන සිටි ලක්ෂ්මන් මහතා හමුවිය.

ඇන්.ඇම්. පෙරේරාගේ රා මදින පාඨමාලාව හැදෑරූ කරුණාසේනගේ අද කියන කතාව

‘‘මහත්තයෝ, මේ රා ගැන ලියන්න ඉස්සෙල්ලා කෘතිම රා ජාවාරම ගැන ලියන්නකෝ. ආණ්ඩුවට මේකේ පාඩුව අවුරුද්දකට කෝටි 500කට වැඩියි. පහුගිය මාසේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මුදල් ඇමැතිතුමාට මේ ගැන දැන්වූවාම සුරාබදු එකෙන් ​මේ තැන් වටලන්න සූදානම් වුණා. මේකේ ආණ්ඩුවට සත පහක් බදු ගෙවන්නේ නෑ. අපි පොල් ගහක් ගානේ ආණ්ඩුවට බදු ගෙවනවා රා මදින්න.’’

‘‘දැන් ඔය කෘත්‍රිම රා හදන්නේ මොනවයින්ද?’’

‘‘යූරියා, ඇමෝනියා, සීනි, ඊස්ට්වලට දානවා. ඔය පරණ බැටරි, කටු කම්බි…’’

‘‘ඉතින් සුරා බදු එකෙන් මේකට විරුද්ධව පියවරක් ගන්නේ නැද්ද?’’

අර කලින් හිටපු සුරාබදු කොමසාරිස් නෝනා රාවල ඇල්කොහොල් ප්‍රතිශතය 7.5%ක් කියලා නීතියක් ගෙනාවා. ඒකට කිව්වේ ඉබාලිඕමීටරය (ebulliometer) ඒකට විරුද්ධ වුණ ගම්පහ, පුත්තලම පැත්තේ රා මදින උන් ස්ට්‍රයික් එකකුත් කළා.’’

‘‘එතකොට ඉස්කාගාරවලටත් මේ කෘත්‍රිම රා ගන්නවද?’’

අර සුරාබදු නෝනගේ නීතිය කුණු කූඩෙට ගියාට ​හදන කෘත්‍රිම රා. අමු වසක්. කෘතිම රාවල ඇමෝනියා හැදෙනවා. ඒ රාවලින් හදන අරක්කුත් ශරීරයට විසයි. ඔය විනාකිරිවලට ගන්න බලපත්‍රවලින් තමයි ඔය කෘත්‍රිම විනාකිරි හදන්නේ.’’

අපි නැවතත් පොල් රා නිෂ්පාදනය ගැන කියන්නට ලක්ෂ්මන්ව පොලඹවා ගත්තේ මහත් ආයාසයෙනි.

‘‘පොල් රා මදින්නේ මාස 8ක් විතර. පෙබරවාරි මැද ඉඳන් ඔක්තෝබර් විතර වෙනකම්. ගස් 100කට ලක්ෂ පහක් විතර යට කරන්න වෙනවා.’’

‘‘දැන් ඔය ගස් මදින්නේ මේ පැත්තෙම අයද?’’

‘‘මේ පැත්තේ අයත් ඉන්නවා. දැන් කොල්ලෝ නම් රා මදින්න එන්නේ නැහැ. හලාවත පැත්තෙන් තමයි රා මදින්න සුපිරි වැඩ්ඩෝ එන්නේ. ඒත් සමහර උන් සල්ලිත් අරන් දවස් දෙක තුනක් මැදලා පැනලා යනවා.’’

‘‘දැන් ඔය පොල් රා ලීටරේ කීය ගානෙද ඉස්කාගාරවලට විකුණන්නේ?’’

වතුර ලීටරේ 50යි රා ලීටරය 45යි

‘‘ලීටරයක් වැටෙන්නේ රු. 45ටනේ.’’

‘‘ඒ කියන්නේ වතුර ලීටරයකටත් වැඩිය අඩු ගාණක්නේ.’’

‘‘ඒකනේ කියන්නේ. වතුර ලීටරේ බොතලයක් රුපියල් 50යි. රා ලීටරයක් වතුර ලීටරයක ගාණටවත් දෙන්න බැරි නිසා ගොඩක් අය මේ කර්මාන්තයෙන් අයින් වෙනවා.’’

මේ ගස් සියයක් සඳහා මොරගල්ල සුරාබදු කාර්යාලයෙන් ගසකට රු. 25 බැගින් බලපත්‍ර ගෙන ඇති ලක්ෂ්මන් කියන්නේ හොරට රා විකුණන පුද්ගලයන් අධික ලාභයක් ලබන බවය. ඔවුන් රා බෝතලයක් විකුණන්නේ රු. 150කටය. පෝය දවසට රා බෝතලේ රු. 300ට ඉහළින් මිල ඉහළ යයි. රා බොන්නේ උදේ හයටය.

රේල් පාර පැන ගාලු පාරේ පාපැදියක යන රා මදින්නකු අපට දැකගත හැකි විය. අපි ඔහු කතාවට අල්ලා ගතිමු. ඔහුට අහල පහල අය චන්දරේ කිව්වත් ඔහුගේ නියම නම සරත් ප්‍රනාන්දුය. ඔහුගේ ඉණේ වූයේ ලීයෙන් තැනූ පෙට්ටියකි. එහි සාමාන්‍ය මන්නයක් හා අමුතුම හැඩයේ මන්නයක් සහ ලීයෙන් තැනූ මිටක් සහිත උපකරණයක්ද විය. ඒ අමුතුම විදිහේ මන්නය අපට චන්දරේ හඳුන්වා දුන්නේ මල් මන්නය ලෙසය. එය මල කැපීමටය. අනෙක පොඩි මන්නයයි. එය පොල් අත්තක් කපන්නට හෝ පිපාසයට වෑවර ගෙඩියක් කපා ගැනීමටය. මිටක් සහිත අමුතු උපකරණය චන්දරේ හැඳින්වූයේ මෙසේය.

රා මදි වුණාම ඇක්සයිස් එකෙන් දඩය ගහනවලු !

‘‘මේක තමයි මල් තැලුම. සියඹලා අරටුවෙන් හදන්නේ. දැන් අවුරුදු 20කටත් කලින් රු. 3000ක් විතර වුණා. මල තලන්නේ මේකෙන් තමයි.’’

චන්දරේ දවසකට මදින ගස් ගණන 75කට අධිකය. ඔහු පවසන්නේ ඇතැම් මුට්ටිවල රා බෝතල් 3-4 ඇති අවස්ථාද ඇති බවය.

‘‘අපි රා මදින්නෙ ලීටර් ගාණට කොන්ත්‍රාත් එක. රා මදින ලයිසන් ගත්ත මුදලාලි ලීටර් ගාණට අපිට ගෙවනවා.’’

චන්ද​රේ කියන්නේ පෙබරවාරි 15 පටන් දෙසැම්බර් 25 නත්තල් දා තෙක් රා මදින්නට ​කොන්ත්‍රාත් ගත් 300කට අධික පිරිසක් සිටින බවය. ගමේ අය මෙන්ම හලාවත, මීගමුව, වෙන්නප්පුවේ අයද ඒ අතර සිටිති. චන්දරේට රා ලීටරයට ලැබෙන කොමිෂන් එක රුපියල් 20කි. ඔය අලුත් පරම්පරාව රා මදින්න එන්නේදැයි අප චන්දරේගෙන් නිකමට මෙන් ඇසුවෙමු.

‘‘මහත්තයෝ, මතක් කරන්න එපා ඔය හැත්ත. මළ ගෙයක් කිව්වොත් රෑට රා කළෙත් බාලා බීලා ඉවර වෙලා කළෙත් ගාලු පාරේ ගහලා කුඩු කරලා යන්නේ.’’

චන්දරේ කියන්නේ පොල් ගස් අතර බඳින අතුර මාස හතරෙන් අලුත් කරන බවය. පොල් ගහට නගින්නට ගහට බඳින පොල් ලෙලිවලට කියන්නේ හැර බඳිනවා කියාය.

රා මුට්ටි හොරෙන් උස්සා බීලා මුට්ටි පොළොවේ ගහනවාලු

‘‘මගේ ළමයි තුන්දෙනාව ජීවත් කළේ මේ රස්සාවෙන්. කොරෝනා කාලෙත් රා මැද්දා. ඉස්කාගාරෙට දෙන්න. රා පොට් එකේ බෝතලේ රු. 200යි. වීදුරුවක් දෙන්නේ රු. 75ට. ඒත් රා විකුණන්න තහනම්. රා මැදලා කෝමත් මම දවසකට රු. 2500ක් විතර හොයනවා. රා මදි වුණත් ඇක්සයිස් එකෙන් TCR කියලා දඩයක් ගහනවා.’’

මේ අතර අපට හෝඩුවාවක් ලැබුණේ ඇන්.ඇම්. පෙරේරා යුගයේ රා මදින්න පුහුණු පාඨමාලාවක් හැදෑරූ කරුණාසේන නම් රා මදින පුද්ගලයකු සිටින බවය.

අපේ ඊළඟ ගමන වූයේ කරුණාසේන සොයා යාමය.

ඔහුට කරුණාසේන කිව්වාට නියම නම ගෝමරගේ දොන් පද්මකුමාර ජයවර්ධනය. ඔහු කියන්නේ මේ වකවානුව බණ්ඩාරනායක මහතා ඝාතනයෙන් පසු දහනායක මහතා අගමැති ධුරයට පත්වූ යුගය බවය. මෙම පාඨමාලාව ආරම්භක උත්සවයට විජයනාන්ද දහනායක, ඇන්.ඇම්. පෙරේරා සහ චම්ලි ගුණවර්ධනද සහභාගි වී ඇත.

‘‘ගස් 10ක් තමයි මුලින් මදින්න පුරුදු කළේ. ගුරා ආවේ කපුගොඩින්. එයාට කිව්වේ වවුල් මහතුන්. 25 දෙනකුට රා මදින්න පුහුණු කළා. මට එතකොට වයස 20යි. ඒ දවස්වල පත්තරවලත් ඕක ගියා. පුහුණුව මාස තුනයි. සහතිකයකුත් දුන්නා.’’

කරුණාසේන කියන පරිදි හැම රා ගැලුමකටම රු. 2ක කොමිස් මුදලක් රා මදින්නාට ගෙවන ලෙස දහනායක හා ඇන්.ඇම්. පෙරේරා නියෝග කර ඇත.

‘‘ඒ දවස්වල පයාගල ඉඳන් කොළඹට බස් එකේ රුපියලයි සත පහයි. රේල්ලුවේ කොළඹට සත 80යි.’’

කරුණාසේන කියන්නේ පුහුණු කාලය තුළ තමන්ට රු. 10ක පඩියක් ලැබුණු බවය. හාල් සේරු 12ක්ද ආණ්ඩුවෙන් නොමිලේ ලැබුණු බවය.

රා ගැන සොයන්නට ගොස් පෙරාගත් ඉතිහාසයක් අප හට සොයාගත හැකිවුණේ අහම්බෙනි. මේ ඉතිහාසය මෙසේ ලේඛනගත නොවුණා නම් අනාගතයේ රා මදින තරුණ පරම්පරාවට අත්වන ඉරණම ගැන ඇතිවූ දුක නිසාම රා කට්ටක් නොගෙනම පයාගලින් නික්ම ආවෙමු.

වජිර ලියනගේ