brand logo
logo

ලංකාවේ වැඩියෙන්ම විකිණුණේ මඩොල් දූව

26 March 2019

අන්තර්ජාලය, යුගයේ ජනප්‍රියම තාක්ෂණික මෙවලම වුවද, පතපොත පරිශීලනය සමාජයෙන් තවමත් සපුරා බැහැර වී නොමැත. විවිධ මාතෘකා ඔස්සේ පතපොත රැසක් පළ වී තිබුණද වඩාත්ම ජනප්‍රිය මුද්‍රිත මාධ්‍ය නවකතාව යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. නවකතාවෙ එසේ පොදු ජන විඥානයට සමීප වූයේ බොහෝ කලක සිටය. විවිධ වර්ගීකරණයන් යටතේ, මේ ලිවිම නවකතා කලාවය ගැනය. යුරෝපයේ උපත ලබන නවකතාව (Novel) ශ්‍රී ලංකාවට ප්‍රවේශ වන්නේ 19 වැනි සියවසේදී පමණය. ඒ වන විට ලාංකිකයන්ට හුරුපුරුදුව තිබුණේ ‘බණ කතා’ නැතහොත් ‘ගම කතා’ සාහිත්‍යයයි. ඔවුනට වෙනත් ගද්‍යමය ආඛ්‍යාන පිළිබඳ අවබෝධයක් තිබුණේ නැත. එහෙත් විදේශීය ආක්‍රමණ සහ ජාත්‍යන්තර සබඳතා පුළුල් වීම වැනි කරුණු නිසා ස්වදේශීකයන්ට, යුරෝපීය පොත් පරිහරණය කිරීමට අවස්ථාව සැලසිණ. ‘කිතුණු දහම’ ලංකාවේ ප්‍රචලිත වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ලාංකිකයන්ද යම් යම් නිර්මාණ කිරීම සඳහා පෙලඹුණේ මේ අවධියේ ය. වර්තමානයේ ‘නවකතා’ යනුවෙන් හැඳින්වුවද, එය අතීතයේ ප්‍රචලිතව තිබුණේ ‘ප්‍රබන්ධ කතා’ යනුවෙනි. අපේ මුල්ම ප්‍රබන්ධ කතාව ලෙස ඉතිහාසයට එක්වන්නේ ඇල්. අයිසෙක් සිල්වා ලියූ ‘වාසනාවන්ත පවුල හා කාලකන්නි පවුල’ය. ‘රුවන් මල්දම’ යන කිතුණු සඟරාවේ එය පළ වී ඇත්තේ 1866 වසරේය. ඉන්පසු බෙන්තොට ඇල්බට් සිල්වා විසින් විමලා, ආදර හසුන, වෙසක් දූතයා, සිරිබරී යන කතන්දර මාලාව රචනාකොට ඇත. එසේ මනඃකල්පිත කතා පුවත් ඇසුරින් ගොඩනැගුණු අපේ ප්‍රබන්ධ කතා කලාව නව මගකට යොමු වන්නේ 1905 දී සයිමන්ද සිල්වා විසින් රචනා කළ ‘මීනා’ කෘතියෙනි. නොයෙක් මතවාද හා ගැටලුකාරී තත්ත්වයන් තිබුණ ද මෙරට ප්‍රථම නවකතාව ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ ‘මීනා’ ය. ඉන්පසු ඔහු විසින් 1907 දී තෙරීසා’ සහ 1910 දී ’අපේ ආගම’ යන නවකතා රචනා කොට තිබේ. සිංහල නවකතාව ආරම්භක යුගයේ වඩාත්ම කැපී පෙනුණු ලේඛකයා වූයේ පියදාස සිරිසේනය. ‘සරසවි සඳරැස’ පුවත්පතට ලියූ ‘වාසනාවන්ත පවුල හෙවත් ජයතිස්ස හා රොසලින්’ එකල පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් නවකතාවකි. පසුව එය නවකතා පොතක් ලෙස දොරට වැඩි අතර ඇතැමෙකුගේ මතය අනුව මුල්ම සිංහල නවකතාව සේ සැලකෙන්නේ ‘ජයතිස්ස හා රොසලින්’ ය. එවකට එහි පළමුවැනි මුද්‍රණයේ පිටපත් 25,000 ක් අලෙවි වූ බව වාර්තා වේ. අද්භූත ආගන්තුකයා, තරුණියකගේ ප්‍රේමය, ඩිංගිරි මැණිකා, වලව්වක පලහිලව්ව වැනි නවකතා රචනා කළේද පියදාස සිරිසේන සූරීන්ය. සිංහල නවකතාව කෙරෙහි පාඨකයා වඩාත් ආසක්ත වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ නවකතා කියවා රස විඳීමත් සමගිනි. පාඨකයන් කුහුලින් ඇද බැඳ තබා ගන්නා රසවත් නවකතා රැසක් රචනා කළ ඩබ්ලියු. ඒ. සිල්වා එකල අති විශාල පාඨක පිරිසකගේ ප්‍රියතම නවකතාකරුවා විය. ඔහු නවකතාකරණයට පිවිසෙන්නේ වර්ෂ 1909 දීය. ඒ ‘සිරියලතා හෙවත් අනාථ තරුණිය’ නවකතාව රචනා කරමිනි. කැලෑහඳ, දෛවයෝගය, සුනේත්‍රා හෙවත් අවිචාර සමය, දෙයියන්ගේ රටේ, රදල පිළිරුව, ජූලිහත, හිඟන කොල්ලා, හඳපාන, විජයබා කොල්ලය ඩබ්ලිව්. ඒ සිල්වා සූරීන්. අප්‍රමාණ ලේඛන කුසලතාව ඔස්සේ සාහිත්‍ය ලොවට එක් වූ අගනා මිණිකැට කිහිපයකි. මෙරට ඓතිහාසික නවකතා රැල්ලේ අග්‍රඵලය සේ සැලකෙන ‘විජයබා කොල්ලය’ ඔහුගේ ජනප්‍රියතම නවකතාව සේ සැලකේ. 1938 දී ප්‍රථම වරට මුද්‍රණය වී ඇති ‘විජයබා කොල්ලය’ 2017 වසර වන විට විසි අට වතාවක් මුද්‍රණය වී තිබීම ම එයට නිදසුනකි. හෙළයේ මහා ගත්කරුවා වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යෝධ සෙවණැල්ල සිංහල නවකතාවේ විශාල පෙදෙසක් වසා පැතිර තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. වික්‍රමසිංහයන් ලියූ මුල්ම නවකතාව ‘‘ලීලා’’ය. එය එළිදැක්වෙන්නේ 1915 වසරේය. ඉන්පසු ‘සීතා’ ‘අයිරාංගනී’, ‘මිරිඟුව’, ‘ශීතා’, ‘රෝහිණී’, ‘අපේ ගම’, ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’, ‘විරාගය’, ‘මඩොල්දූව’, ‘බව තරණය’, ‘කළුවර ගෙදර’ වැනි නවකතා රැසක් එතුමාගේ පන්හිඳෙන් ජාතියට දායාද විය. අදත් සිංහල නවකතාවේ මුදුන්මල්කඩ ලෙස සම්භාවනාවට පාත්‍ර වන්නේ වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’යි. වික්‍රමසිංහයන් විසින් රචිත ‘විරාගය’ටද පාඨක ලෝකයෙන් ලැබෙන්නේ එබඳුම බුහුමනකි. එදා මේදා තුර බොහෝ නව කතා ලියවූණේය. පලවූණේය. අලෙවිවුණේය ලංකාවේ මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ නවකතාව ‘මඩොල්දූව’ය. එහෙත් එය මෙතෙක් කිසිම මාධ්‍යයක ලිඛිතව හෝ වාචිකව ප්‍රකාශයට පත් වී නොමැත. මෙම නිගමනයට එළැඹීම සඳහා ප්‍රධාන නිර්ණායකය වූයේ එය මුද්‍රණය වූ වාර ගණනය. ‘මඩොල් දූව’ සිංහල නවකතා වංශයට එක් වූයේ 1947 දීය. එහි 01 වැනි මුද්‍රණය ලෙස සටහන් වන්නේ එම වර්ෂයයි. 2019 වර්ෂය වන විට ගත වූ වසර 72 ක කාලය පුරා ‘මඩොල්දූව’ 68 වතාවක් මුද්‍රණය වී තිබේ. එය සිංහල නවකතා ලොවේ වාර්තාවකි. වර්තමානයේ පවා ‘මඩොල් දූව’ පිටපත් 35,000ත්, 40,000 ත් අතර ප්‍රමාණයක් අලෙවි වන බව මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කරයි. 2009 වසරේ එළිදුටු ‘මඩොල්දූව’ 49 වැනි මුද්‍රණයේ පසු වදනේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඒ වන විට පිටපත් දශලක්ෂයකට වඩා අලෙවි වී ඇති බවය. ‘68’ වැනි මුද්‍රණය එළිදකින්නේ ඉන් දස වසරකට පසුවය. වසරකට පිටපත් 35,000 ක් අලෙවි වන බව කියැවෙන ‘මඩොල් දූව’ එසේ නම් මේ වන විට පිටපත් දහතුන්ලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් අලෙවි වී තිබිය යුතුය. ශ්‍රී ලාංකිකයන් හැටියට අප ආඩම්බර විය යුත්තේ ‘මඩොල්දූව’ මෙරට වැඩියෙන්ම අලෙවි වූ ජනප්‍රියම නවකතාව ලෙස පමණක් නොවේ. එය සැබැවින්ම ජාත්‍යන්තරයට අපේ සිංහල සාහිත්‍යයේ රුව, ගුණ මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ ලකුණද රැගෙන ගිය විශිෂ්ට කෘතියක් බැවිනි. මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත සේ සැලකෙන ‘මඩොල්දූව’ රුසියන්, රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදි භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. එය අදත් ඒ රටවල බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි. රුසියාවේ 'Snake Island' නමින් අදත් එම පොත මුද්‍රණය වන බව පැවසේ. ‘මඩොල්දූව’ පාසල් පුස්තකාල පොතක් සේ අනුමත කරන ලද්දේ 1952 වසරේය. එයද මෙහි අලෙවිය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකයක් වූ බව නිසැකය. වික්‍රමසිංහයන්ගේ සෙසු නවකතා අතර වැඩියෙන්ම අලෙවි වන්නේ ‘ගම්පෙරළිය’ බව එහි මුද්‍රණවාර සංඛ්‍යාව පිරික්සා බැලීමෙන් වටහාගත හැකි වේ. 1944 වසරේ මුද්‍රණයෙන් එළිදුටු ‘ගම්පෙරළිය’ 2018 වසර වන විට 51 වැනි වාරයක් මුද්‍රණය වී තිබේ. එම තුන් ඈඳුතු නවකතාවේ ඊළඟ කොටස වූ ‘කලියුගය’ 30 වන මුද්‍රණය හා ‘යුගාන්තය’ 38 වැනි මුද්‍රණයද මේ වන විට එළිදැක තිබේ. 1956 - 2018 කාලය තුළ වික්‍රමසිංහයන්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක් වූ ‘විරාගය’ 34 වතාවක් මුද්‍රණය වී තිබේ. 1940 දී පළ වූ ඔහුගේ ‘අපේගම’ නවකතාවටද තවමත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඩබ්ලියු. ඒ. සිල්වාගේ වැඩියෙන්ම අලෙවි වූ නවකතාව සේ වාර්තා වන්නේ ‘විජයබා කොල්ලය’යි. 1938 - 2018 දක්වා වූ වසර 80 ක කාලය පුරා එය මුද්‍රණාද්වාරයෙන් එළිදුටු වාර ගණන 28 කි. ඔහුගේ නවකතා අතරින් කැලැහඳ, සුනේත්‍රා, හිඟන කොල්ලා, දෙයියන්ගේ රටේ වැනි නවකතා අද ද මුද්‍රණය වන්නේ ඒවාට ඉල්ලුමක් ඇති බැවිනි. 1957 වසරේ ටී. බී. ඉලංගරත්නයන් ලියා පළ කළ ‘අඹ යාළුවෝ’ ද කාලයේ වැලි තලාවෙන් වැසී නොගිය තවත් අතිශය ජනප්‍රිය නවකතාවකි. 2014 වර්ෂය වන විට එය 28 වැනි වාරයක් මුද්‍රණය වී තිබේ. ඉලංගරත්නයන්ගේ නවකතා අතරින් අතිශයින්ම ජනප්‍රිය වූ ‘අඹ යහළුවෝ’ වර්තමානයේත් වසරකට පිටපත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය වන බව පැවසේ. මේ සොයා බැලීම්වලදී අපට අනාවරණය වූ සුවිශේෂී කරුණක් වේ. ඒ එක් එක් කාලවලදී ඇතැම් ලේඛකයන් නවකතා ලොවේ ‘සුපිරි තරු’ බවට පත්ව සිටි බවය. කෙසේ වුවද, අතීතයට සාපේක්ෂව බලද්දී වත්මන් නවකතා ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ වෙනත් ප්‍රවණතාවකි. විශේෂයෙන්ම අද බොහෝ දෙනකු නවකතාකරණයේ නිරතව සිටින්නේ සම්මාන ඉලක්ක කර ගනිමිනි. බොහෝ කලාකරුවන් සඳහා සම්මාන පිරිනැමෙන යුගයක, නවකතාව වෙනුවෙන් සම්මානයක් ප්‍රදානය කිරීම වරදක් නොවේ. එහෙත් නිර්මාණකරුවාට මෙන්ම පාඨකයාටද සාධාරණය ඉෂ්ට වන්නේ එකී කාර්යය ඉතා ප්‍රබුද්ධ මට්ටමෙන් හා විනිවිද භාවයෙන් යුතුව සිදු කෙරුණොත් පමණි. අද අපේ රටේ සාහිත්‍ය උදෙසා සම්මාන උළෙල කිහිපයක්ම පැවැත්වේ. සම්මානයක් හිමිකර ගන්නා නවකතාවට වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් වීම පොතේ අලෙවියට හොඳ තල්ලුවකි. පොත් මුද්‍රණය සහ අලෙවිය කොටස් දෙකකට වර්ගීකරනය කළ හැකිය. ඒ දිගු කාලයක් පුරා අඛණ්ඩව මුද්‍රණය කෙරෙන නවකතා ගැනය. එහෙත් කෙටි කලක් තුළ වැඩි වාර ගණනක් මුද්‍රණය කළ නවකතා ලෙසින්. කෙසේ වෙතත් නවකතාවක් මුද්‍රණය වූ වාර ගණන නිර්ණායකයක් කොට ගනිමින් එහි අලෙවිය තීරණය කළ නොහැකිය. ඊට හේතුව ප්‍රකාශකයා විසින් මුද්‍රණය වූ වාර ගණන හැර එහි පිටපත් ප්‍රමාණය සඳහන් නොකිරීමය. පිටපත් 500 ක් නැතිනම් 1000ක් මුද්‍රණය කළද, පිටපත් 10,000 ක් මුද්‍රණය කළ ද එය සඳහන් වන්නේ අසවල් මුද්‍රණය කියා පමණි. අඩුම තරමින් පොතේ කතුවරයාද තමන්ගේ නවකතාව කොච්චර අච්චු ගැසුවාද කියා දන්නේ නැත. එය දේව රහසකි. මේ සියලු කාරණා එක්තැන්කොට පත අට එකට සිඳුවා බැලූ පසු ‘මඩොල්දූව’ අපේ රටේ වැඩියෙන්ම අලෙවි වූ නවකතාව ලෙස අපට පැහැදිලිව නිගමනය කළ හැකිය. වැඩියෙන්ම අලෙවි වූ යන්නෙන් අදහස් කරන්නේ එය පාඨකයන් වැඩි පිරිසක් කියවූ නවකතාව බවය. ඒ අනුව බලන කල ‘මඩොල් දූව’ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ ජනප්‍රියම නවකතාව ලෙස අපට නොපැකිලව සඳහන් කළ හැකිය. අසංක දේවමිත්‍ර පෙරේරා
 

More News..