විශේෂාංග

රෝමයේ මූත්‍රා ප්‍රබල විෂබීජ නාශකයක්

සාමාන්‍යයෙන් අපි කසළ ප්‍රතිචක්‍රීකරණය කොට නොයෙක් ආකාරයේ නව නිපැයුම් සිදු කරමු. එහෙත් අප කෙදිනක හෝ මල මූත්‍රා නැවත භාවිත කර තිබේ ද? ඇතැම් අවස්ථාවල වැසිකිළි හරහා යන මූත්‍රා එකතු කොට, නැවත පිරිසුදු කර, ජලය වශයෙන් භාවිත කරන බව අසන්නට ලැබේ. එනමුත් මෙයට කලකට ප්‍රථම විසූ රෝමානු ජාතිකයෝ මූත්‍රා භාවිත කළේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම පිණිස ය.

දත් සුදු පැහැ ගැන්වීම සඳහා

මූත්‍රාවල වැඩි වශයෙන් අඩංගු වන්නේ ජලය යි. එහෙත් ශරීරයෙන් පිට වන මූත්‍රා භාජනයකට එකතු කොට කිසියම් කාලයක් තැබීමේ දී ඇමෝනියා බවට පත් වෙයි. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් සංයෝගයක් වන මෙම ඇමෝනියා යනු බලවත් පිරිසුදුකාරකයකි. විශේෂයෙන් යම් ස්ථානයක තැවරී තිබෙන පැල්ලම් ඉවත් කිරීම සඳහා එම දියරය භාවිත කළ හැකි ය. එහෙයින් පැරණි රෝමවාසීහු එලෙස සකසා ගන්නා ලද මූත්‍රා දත් මැදීම හා දත් පිරිසුදු කිරීම සඳහා දන්තාලේපයක් ලෙස යොදා ගත් බව පෙනේ. කැටලස් වැනි කතුවරුන් විස්තර කරන පරිදි රෝමන්වරුන් මිනිස් මූත්‍රා පමණක් නොව සත්ත්ව මූත්‍රා ද දත් සුදු කිරීම සඳහා යොදා ගෙන තිබේ.

ඇඳුම් පිරිසුදු කිරීම සඳහා ද මූත්‍රා යොදා ගත් බවට සාක්ෂි තිබේ. රෝමයේ නගර තුළ මූත්‍රා එකතු කිරීම සඳහා විශාල භාජන තබා තිබිණි. ඒ තුළට එක් වන මුත්‍රා ඇමෝනියා බවට පත් වන තුරු ඔවුහු බලා සිටියහ. පසුව ඒවා නැවත එකතු කොට ගෙන, ජලය සමග මිශ්‍ර කර, අප සේදුම් දියර භාවිත කරන්නාක් මෙන් සිය ඇඳුම් ගොඩවල් ඒ තුළ බහාලූහ. එසේත් නැතහොත් ඇඳුම් සියල්ල බිම අතුරා, ඇමෝනියා බවට පත් වූ මූත්‍රා ඒ මතට වත් කළහ. එමගින් සිය ඇඳුම් මත තිබෙන පැල්ලම් පමණක් නොව විෂබීජ ද ඉවත් කර ගත්හ.

අදටත්, ඇමෝනියා යනු වීදුරු, පෝසිලේන්, මළ නොබැඳෙන වානේ ආදිය නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන වඩාත් ප්‍රයෝජනවත් පිරිසුදුකාරකයකි.

සත්ත්ව රෝග සුව කිරීම සඳහා

රෝමානු කතුවරයෙකු වන කොලුමෙල්ලා විසින් ලියා තිබෙන පරිදි මිනිසුන් වෙනුවෙන් පමණක් නොව පශු වෛද්‍ය විද්‍යානුකූල ව ප්‍රතිකාර කිරීමේ දී සතුන් වෙනුවෙන් ද මූත්‍රා භාවිත වී තිබේ. විශේෂයෙන් එකල ඉතා සුලබ ව්‍යාපාරයක් වූ බැටළු පට්ටි රැක බලා ගැනීමේ දී එම සතුන්ට මතු වූ නොයෙක් වර්ගයේ ලෙඩ රෝග සුව කිරීම සඳහා මිනිස් මූත්‍රා යොදා ගත් බවට සාක්ෂි තිබේ. පෙණහලුවල ගැටලු ඇති වූ සතුන් හට උන්ගේ නාසය හරහා මූත්‍රා නස්න කරන ලදී. රෝගී වූ මී මැස්සන්ට පවා මූත්‍රා ප්‍රතිකාරය සිදු කොට තිබේ. මී මැස්සන් ඉතා කුඩා වන බැවින් එය ඉතා අපහසු වන්නට ඇති බව නිසැක ය. නිවෙස්වල ඇති කළ කුරුල්ලන්ට හට ගත් උණ වයිරස සුව කිරීම සඳහා කුරුලු හිමිකරුවා විසින් උන්ගේ හොටයට මූත්‍රා කළ බව කියවේ.

පුරාණ රෝමයේ මිනිස් මලමූත්‍රා විවිධාකාරයෙන් භාවිත කළ ද, ඒවා එකතු කර ගත්තේ කෙසේ ද? යන්න පැහැදිලි නැත. කෙ​ෙස් වෙතත් මේ සඳහා ප්‍රාදේශීය මෙන් ම පෞද්ගලික වැසිකිළි හා කැසිකිළි ද නිසැකව ම ප්‍රයෝජනවත් විය. එසේ ම මෙම අපද්‍රව්‍ය එකතු කිරීම නොමිලේ සිදු නොවූ බව ද පෙනේ. ක්‍රි.ව. 70 දී පමණ ජීවත් වූ වෙස්පේසියානු අධිරාජ්‍යයා මූත්‍රා එකතු කරන්නන් සඳහා බද්දක් අය කළේ ය. එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කළේ මූත්‍රා එකතු කිරීම හේතුවෙන් නගරය පුරා විශාල දුර්ගන්දයක් ඇති වීම යි. එනමුත් ඔහුගේ පුත් ටයිටස් මෙම අසාධාරණ බද්ද කෙරෙහි සිය පිළිකුල ප්‍රකාශ කළ විට, වෙස්පේසියන් පිළිතුරු දී තිබුණේ, “පෙක්නියා නො ඔලෙට්” යනුවෙනි. එනම්, “මුදල් ගඳ ගසන්නේ නැත” යන්න යි. ඔහුගේ මූත්‍රා බද්ද කොතරම් ප්‍රසිද්ධ වූයේ ද යත්, ඔහුගේ නම අදටත් මූත්‍රා සඳහා පොදු යෙදුමක් ලෙස භාවිත කෙරෙයි. ඒ ප්‍රංශ බසින් “වෙස්පේසියන්ස්” සහ ඉතාලි භාෂාවෙන් “වෙස්පසියානි” යනුවෙනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි