විශේෂාංග

රුපියල බාල්දුවීමෙන් රටේ ආර්ථිකයට වන බලපෑම

මේ වනවිට රුපියලේ අගය දිනෙන් දින අවප්‍රමාණය වෙමින් පවතී. පසුගිය සති අන්තයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 දක්වා ඉහළ ගියේය. මෙලෙස රුපියල බාල්දුවීමට හේතුව කුමක්ද? එය අපේ ආර්ථිකයට කරන බලපෑම කුමක්ද? ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ගය මොනවාද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කළ සංවාදයයි මේ.

coins and more: 64) Currency/Coinage of Sri Lanka :Central Bank of Sri Lanka (CBSL):පසුගිය සතිය අවසානයේදි ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 200 දක්වා ඉහළ ගොස් තිබුණා. ආනයන සීමාකර තියෙන තත්ත්වයකදීත් මෙලෙස රුපියල දිගින් දිගටම බාල්දු වෙන්න ඇයි?

ඩොලරයට කොපමණ රුපියල් ප්‍රමාණයක් ගෙවිය යුතුද කියන එක තීරණය වෙන්නෙ ඩොලර් සැපයුම සහ ඉල්ලුම කියන සාධක දෙක මත. අද වෙද්දි රුපියල අවප්‍රමාණය වීමෙන් පැහැදිලි වෙන්නෙ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩියි කියන එක. කොවිඩ් තත්ත්වයත් එක්ක අපේ ආනයන සහ අපනයන පසුගිය කාල සීමාවේ යම් ආකාරයක පහළ යෑමක් සිද්ධ වුණා. හැබැයි එතනදි ආනයන පහළ යෑමේ වේගයට වඩා අඩු වේගයකින් තමයි අපනයන පහළ ගියේ. එනිසා වෙළෙඳ ශේෂයේ පෙර පැවැති අවාසිසහගත තත්ත්වය යම් අවමවීමක් සිද්ධ වුණා. යානවාහන, අනෙකුත් සුඛෝපභෝගී සහ වෙනත් ආහාර ද්‍රව්‍ය වගේ දේවල් විතරයි යම් තාක්දුරකට ආනයන පාලනයකට නතුවුණෙ. හැබැයි අපි පිටරටින් වැඩිවශයෙන් ගෙන්වන්නෙ අන්තර්මාධ්‍ය භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ. ඒවා මුළු ආනයනයන්ගෙන් 80%ක විතර ප්‍රමාණයක්. රජයට එම භාණ්ඩ ගෙන්වීම පාලනය කිරීමේ හැකියාවක් නෑ. එහෙම කරන්න ගියොත් ආර්ථිකයෙ නිෂ්පාදන කටයුතු අඩාළ වෙනව. ඒ නිසා ආනයන සඳහා වැය වන විනිමය සැලකිය යුතු තරමකින් අඩුවුණේ නෑ. ඒ වගේම ආනයන කියන්නෙ විනිමය ගලායෑමේ එක් අංශයක් විතරයි.

රුපියල දිගින් දිගටම බාල්දුවීමට බලපා තියෙන මෑතකාලීන වෙනත් සාධක මොනවාද?

අපට විදෙස් විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග කීපයක් තියෙනව. එකක් තමයි විදෙස් ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල්. පසුගිය සමයේ විදෙස් විනිමය මෙරටට ඒම ඉහළ මට්ටමක තිබුණත් මේ වෙද්දි නැවත වරක් ඒක පහත වැටිල. ඒ වගේම සංචාරක කර්මාන්තය කඩා වැටීම හරහා විදේශ විනිමය ලැබීම සම්පූර්ණයෙන්ම බිඳවැටී තියෙනව. ඒ වගේම ලංකාවට පැමිණෙන විදෙස් ආයෝජන අඩුවෙලා. විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළ තුළ විදේශීය විකිණීම් වැඩිවෙලා තියෙනව.

ඒ වගේම අපේ අවධානය එතරම් යොමුනොවුණ කාරණයක් තමයි සංවර්ධන ව්‍යාපෘතිවලට විදේශ ආධාර ලෙස ලංකාවට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය අඩුවීම. ඒකට ප්‍රධාන හේතුව තමයි නව රජය මහා පරිමාණ ව්‍යාපෘති නවතා දැමීම. උදාහරණයකට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කැලණි වැලි දුම්රිය මාර්ගය ආදී ව්‍යාපෘති ආරම්භ කිරීම මේ වෙද්දි පමාවෙලා තියෙනව. මේ කරුණු නිසා ලංකාවෙ විදේශ විනිමය ලැබීම් පහළ ගිහින් තියෙනව.

අපේ විදෙස් විනිමය එළියට ගලා යන තවත් කාරණයක් තමයි විදේශීය ණය ගෙවීම්. 2019 සහ 2020 වර්ෂවලදී විදෙස් ණය ගෙවීම් විශාල වශයෙන් ඉහළ අගයක තිබුණ. මේ කාරණා නිසා ආනයන පාලනය කළත්, තවදුරටත් රුපියල අවප්‍රමාණයට අදාළ පීඩනයක් තමයි තියෙන්නෙ. ඒ වගේම සෞඛ්‍ය, අධ්‍යාපනයට විදෙස් විනිමය වැයවෙනව. මෙරට සිටින විදෙස් ආයෝජකයෝ තමන්ගෙ ඉපැයීම් ලාභය ඒ රටට අරගෙන යනව. ආනයනවලට පරිබාහිරව විදෙස් විනිමය රටින් ගලායාමේ මූලාශ්‍ර තියෙනව. ඒවා නැවැත්වීමට රජයකට මැදිහත්විය හැකි අවස්ථාවන් අවමයි. මොකද ඒවා පාලනයට රජය මැදිහත්වුණොත් ඒක රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන නිසා. උදාහරණයකට විදෙස් ආයෝජකයෙක් තමන්ගෙ කොටස් විකුණල ඒ මුදල් විදේශයකට අරගෙන යන එක නවත්වන්න රජයට බෑ. විදෙස් ආයෝජකයන්ට තමන්ට අවශ්‍ය වෙලාවට ආපසු යන්න පුළුවන් විදිහට තමයි රජය ඔවුන් සමග ගිවිසුම්ගතවෙලා තියෙන්නෙ. ඒ වගේම තමන්ගෙ දරුවන්ට අධ්‍යාපනයට විදෙස් රටවලට දෙමව්පියන් යවන මුදල් නවත්තන්න රජයට බෑ. ඒ නිසා අපේ පාලනයෙන් බැහැර විදේශ විනිමය ගලායෑම් රාශියක් තියෙන බව මෙයින් පැහැදැලියි.

රුපියල බාල්දුවීම නිසා අපට ඇතිවන යම් වාසිසහගත තත්ත්වයන් නැද්ද? උදාහරණයකට අපේ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් විදෙස් රටවලට අඩු මුදලකට ලබාගැනීමට හැකිවීම හරහා අපේ අපනයනය වර්ධනය විමක් සිද්ධවෙන බවට පැවැසෙනව. මෙය සත්‍යයක්ද?

රුපියල අවප්‍රමාණයවීමෙන් ලංකාවෙ භාණ්ඩ ලාභදායීවීම නිසා විදෙස් රටවලින් ලංකාවෙ භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් ඇතිවෙයි කියන කතාව න්‍යායාත්මක තලයෙදි පමණක් සත්‍ය වෙන දෙයක්. 1977 ඩොලර් ගන්න අපිට ගෙවන්න වුණේ රුපියල් 8.00යි. හැබැයි විවෘත ආර්ථිකය ඇති කිරීමත් සමග ප්‍රතිපත්තිමය පියවරක් ලෙස රුපියලේ අගය පහත හෙළීමක් කළා. එහෙම කරල ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 16ක් කළා. එලෙස ආරම්භ වුණ තත්ත්වය අද වෙද්දි රුපියල් 200 දක්වා ඉහළ ගිහින් තියෙනව. ඔබ කියූ කාරණය ප්‍රායෝගිකව සිදුවුණා නම්, මේ වෙද්දි අපේ අපනයනයන්ගෙ විශාල ප්‍රවර්ධනයක් තියෙන්න ඕනනෙ. නමුත් එහෙම වෙලා නෑ. ඒ නිසා මතක තබාගත යුත්තෙ රුපියල පහළ හෙළීම නිසා අපේ අපනයන වර්ධනය වෙන්නෙ නෑ කියන එක වගේම, අපේ අපනයන වර්ධනය කිරීමේ හැකියාවක් අපට නෑ කියන එක.

ලංකාව අපනයනය කරන භාණ්ඩ වන තේ, රබර්, පොල් වගේම ඇඟලුම් ගත්තත් කෙටිකාලීනව ඉල්ලුම ඉහළ ගියත් ඒකට ප්‍රතිචාර දැක්වීමට දේශීය නිෂ්පාදකයන්ට හැකියාවක් නෑ. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීම නිසා අපනයන ප්‍රවර්ධනයවේ යැයි කියන එක යථාර්ථවාදී දෙයක් නෙමේ. එහෙම වුණත් ඒක ඉතා කෙටිකාලීනව ලැබෙන වාසියක් විතරයි.

රටක දේශීය ව්‍යවහාරයේ පවතින මුදල දිගින් දිගටම බාල්දුවීම ඒ රටේ ආර්ථිකය ගැන දෙන සංඥාව කුමක්ද?

විදෙස් මුදලට ගෙවන්න ඕන දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යනව කියන්නෙ අපි ලෝක ආර්ථිකය තුළ උපයාගන්නා ප්‍රමාණය අඩුයි කියන එක. ඒ විදිහට උපයාගන්නා ප්‍රමාණය පහත යන්න ප්‍රධානම හේතුව තමයි තරගකාරී ලෙස ලෝක වෙළෙඳපොළට භාණ්ඩ සැපයීමට අපි දක්වන අසමත්කම. ඇයි ජපානයට වැඩිපුර භාණ්ඩ සැපයීමට හැකිවෙලා තියෙන්නෙ? ඔවුන් තරගකාරී නිසා. ඔවුන්ට නවෝත්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙන්න හැකිවීම නිසා. නමුත් ලංකාවෙ ඩොලර් ඉපැයීම් පහළ වැටෙන්න හේතුවෙලා තියෙන්නෙ අපේ භාණ්ඩ පුළුල් විදිහට විදෙස් වෙළෙඳපොළට සැපයීමට නොහැකිවීම නිසයි. ඒනිසා අපි වෙළෙඳපොළේ විකුණන ප්‍රමාණය අඩුයි. මිලදී ගන්න ප්‍රමාණය වැඩියි. පසුගිය කාල සීමාවන්වලදි එවැනි අවාසිසහගත තත්ත්වයන් වහගත්තෙ විදේශිකයන්ට ශ්‍රමය විකුණල. විදේශිකයන්ට සංචාරක සේවා සපයල. විදෙස් ණය අරගෙන. අද වෙද්දි ඒව අඩපණ වීම හරහා පේනව අපි ජාත්‍යන්තරව තරගකාරී නොවීමේ ප්‍රතිවිපාක. එහෙම නම් අත්‍යවශ්‍යයෙන්ම ආර්ථිකයෙ දුර්වලතාවක් තමයි මේ පිළිබිඹු වෙන්නෙ. ඒක හැබැයි අද ඇතිවුණ තත්ත්වයක් නම් නෙමේ. විශේෂයෙන්ම 77 විවෘත ආර්ථිකය හඳුන්වාදීමේ ඉඳලම අඛණ්ඩව පැවැතගෙන එන ව්‍යුහාත්මකව අපේ ආර්ථිකයේ පවතින දුර්වලතාවක්. මේකෙන් පෙන්නන්නෙ එන්න එන්නම අපි ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරී නොවන අපනයනකරුවෙක් බව. නැත්නම් තරගකාරී නොවන ආර්ථිකයක් බවට පත්වෙමින් තියෙන බව.

ආර්ථිකය බල ගන්වන ජාත්‍යන්තර වෙළෙඳාම | දිනමිණ

කොරියාව ඩොලරයට වොන් 1129 විතර මේ වෙද්දි ගෙවනව. නමුත් කොරියානු ආර්ථික ශක්තිමත් ආර්ථිකයක්. ඒ පදනමින් ගත්තාම රුපියල අවප්‍රමාණය රටක ආර්ථිකයේ කඩාවැටීමක් කියල අර්ථකථනය කරන්න පුළුවන්ද?

තර්කයක් විදිහට ඒක කෙනෙක්ට ගේන්න පුළුවන්. ජපානය වගෙ රටකුත් මේ වෙද්දි ඩොලර් එකට යෙන් 180ක් විතර ගෙවනව. මෙතනදි වැදගත් වෙන්නෙ ඩොලරයට ගෙවන දේශීය මුදල් ප්‍රමාණය ඒකක 100ද, 200ද, 500ද කියන එක නෙමේ. ඒ ගෙවන්න වෙන ප්‍රමාණයම අඛණ්ඩවම වෙන්නෙ මොකක්ද කියන එක. රටක් ඇමරිකන් ඩොලරයකට ඒ රටේ මුදල් ඒකකයෙන් 1000ක් ගෙවන එක ප්‍රශ්නයක් නෙමේ. හැබැයි ඒ 1000 ගෙවීම කෙටිකාලකදි එක්වරම 1500, 2000, 3000 වෙනව නම් ඉන් කියැවෙන්නෙ ඒ රට ආර්ථික වශයෙන් දුර්වල බවයි. හැබැයි ගෙවන්න වන ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි එරට තරගකාරී කියල ප්‍රදර්ශනය වෙන්නෙ. ඒ නිසා ඩොලරයට ගෙවන ඒකක ප්‍රමාණය නෙමේ වැදගත් වෙන්නෙ, ඒ ගෙවන ඒකක ප්‍රමාණය වැඩිවෙනවා හෝ අඩුවෙනවද කියන එක. ඓතිහාසිකව ඩොරලයකට ගෙවන්න තීන්දු කළ මුදල ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් අපි තරගකාරියි.

විදෙස් ණය අරගෙන ඒවා ගෙවාගන්න බැරි තත්ත්වයට පත්වුණු කාම්බෝජය, වියට්නාමය වගේ රාජ්‍යයන් ඔවුන්ගේ දේශීය ගෙවීම් සඳහා ඩොලර් භාවිත කළා. කාම්බෝජය වැටුප් ගෙව්වෙත් ඩොලර්වලින්. අපේ රටෙත් යම් යම් ගෙවීම් ඩොලර්වලින් කළ යුතු බවට යෝජනා එනව. එලෙස කිරීමෙන් මේ තත්ත්වයෙන් ගොඩඑන්න හැකිවෙයිද?

අපේ රටෙත් තේ වෙන්දේසිය වගේ දේවල් ඩොලර්වලින් කරන්න දෙන්න කියන එක කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. නමුත් රජය ඒ ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරයන් ධනාත්මක වුණෙ නෑ. ඒකට හේතුව විනිමය අනුපාතය උච්ඡාවචනය වෙන තත්ත්වයන් ව්‍යාපාරික කටයුතුවලදි හොඳ නැති තත්ත්වයන් ලෙයසි සලකන්නෙ.

ඇතැම් ව්‍යාපාරික කටයුතුවලදි ගනුදෙනු රුපියල්වලින් බැහැරව ඩොලර් කරන තත්ත්වයට යා හැකි නම් ඒක යහපත් වේ යැයි කල්පනා කරන පිරිසක් ඉන්නව. හැබැයි එතනදි ඇතිවිය හැකි තත්ත්වය තමයි රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේදී අර්ථිකයේ නිෂ්පාදන කටයුතුවලට මැදිහත්වීම සඳහා තියෙන ඉඩප්‍රස්ථාව අඩුවීම. ඩොලර් සැපයුම අඩුවැඩි කරන්න අපේ මහ බැංකුවට බෑ. මේ නිසා රුපියල බාල්දුවීම නිසා ඩොලර්වලින් ගනුදෙනු කරන්න ඕන කියන එක යෝග්‍ය තත්ත්වයක් නෙමේ. අනෙක් කාරණය එවැනි ආකාරයේ අසරණ තත්ත්වයට අපේ ආර්ථිකය ගිහින් නෑ.

එසේ නම් අපට මේ තත්ත්වයෙන් ගොඩඑන්න මොන වගේ ක්‍රියාමාර්ගවලටද යා හැක්කේ…?

මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට කෙටිකාලීන විසඳුම් දෙන්න රජයට අසීරුයි. මේ වෙද්දි රජයට විදෙස් සංචිත තියෙන්නෙ ඩොලර් බිලියන 4.6ක් විතරයි. ඒක ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට තබාගත යුතුයි. මේ අවස්ථාවේදි රුපියලට එන බර යම් ආකාරයක මුදාහැරීමක් රජය විසින් සිදුකළ යුතුයි. ජලාශයක වතුර වැඩිවෙද්දි සොරොව් ඇරල වැඩි ජලය ඉවතට යවන වගේ දෙයක් ඒක. එහෙම වැඩි ජලය නොයැව්වොත් ජලාශයේ වේල්ල කඩාගෙන යනව. ඒ නිසා මේ පීඩනය ටික ටික මුදාහැරීමක් කළ යුතුයි. එහෙම නොකළොත් ආර්ථිකයම කඩා වැටෙනව.

 

මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නෙ හැකිතාක් දුරට විනිමය උපයා ගැනීමට තියෙන ඉඩ ප්‍රස්ථා මොනවද කියන එක ගැන සොයාබැලීම. ඒ අතර මගේ යෝජනාව නම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජපානය හා සමාන ණය දෙන ආයතන සමග කටයුතු කරල ඉතා ඉක්මනින් අපේ සංවර්ධන වැඩසටහන් සඳහා ආධාර ලබාගැනීම.

IMF warns Venezuela over failure to supply data - EgyptToday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රටක ගෙවුම් ශේෂයේ ඇතිවන යම් අපහසුතාවන් මගහරවා ගැනීමට ණය දෙනව. ඒ ආයතන පිහිටුවා තියෙන්නෙ ඒ වෙනුවෙන්. ලංකාව 17 වතාවක් මේ වෙද්දි IMF එකෙන් එම පහසුකම් අරගෙන තියෙනව. ඒක හින්දා මේ මොහොතේ IMF එකට යනව කියන එක අලුත් දෙයක් නෙමේ. වත්මන් රජයේ දේශපාලනයත් එක්ක රජය යම් හිරවීමක් ඉන්නව. නමුත් ගැලරියේ කරන දේශපාලනයට රජය මේ මොහොතේ ආමන්ත්‍රණය නොකළ යුතුයි. තියෙන අවස්ථාවන් පාවිච්චි කරල මේ තත්ත්වය කළමනාකරණය කරන්න රජය මැදිහත් විය යුතුයි. වසංගතය නිසා ඇති වුණු ආර්ථික ආබාධයන් යම් කාල පමාවකින් පසුව නැවත සුව අතට හැරෙන්න ඉඩ තියෙන නිසා ඒ දක්වා වූ කාලසීමාව තුළ රුපියල ආරක්ෂා කර ගැනීමේ අටියෙන් ලංකාව IMF එකවෙත යෑම කාලෝචිතයි. එහෙම නැතිව මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වුණොත් ආර්ථිකය නරක තත්ත්වයට ඇද දැමීමට තියෙන ඉඩකඩ වැඩියි.

එසේ නොවුණහොත් මොනවද එතනදි විය හැකි අහිතකර බලපෑම්…

රුපියල අවප්‍රමාණයවීම ඩොලර් රුපියල් බවට පත්කිරීම පමා කරන්න හේතුවෙලා තියෙනව. මොකද එහෙම පමා කිරීමෙන් ඩොලරයට ගන්න පුළුවන් රුපියල් ප්‍රමාණය වැඩිවෙනව. ඒකට ආර්ථික විද්‍යාවෙදි කියන්නෙ සමපේක්ෂණ චේතනාව. මේක රජයට පාලනය කරන්න අමාරු තත්ත්වයක්. උදාහරණයකට විදෙස් ගත වුණු ශ්‍රමිකයන් වුණත් තමන්ගෙ ඉපැයීම් ලංකාවට එවීම පමා කරනව. ඒ වගේම රට තුළ ඩොලර් තියෙන පුද්ගලයන් ඒවා රුපියල් බවට පත්කිරීම ප්‍රමාද කරනව. පවතින තත්ත්වය සමපේක්ෂණ චේතනාවෙන් හැසිරෙන පිරිස උනන්දු කරවන තත්ත්වයක්. ඒ හින්ද ඒ තත්ත්වයට යන්න පෙර රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම කරන්න ඕන.

මේ තත්ත්වය උත්සව සමයේ භාණ්ඩ මිල වැඩිවීම කෙරෙහි බලපෑමක් කරයිද?

උත්සව කාල සීමාවෙදි තෙල් මිල, ගෑස් මිල ඉහළ දැමීමක් වුණොත් භාණ්ඩ මිලට අහිතකර ලෙස බලපාන්න පුළුවන් රුපියල අවප්‍රමාණය වෙලා තියෙන තත්ත්වය. ඒ හැරෙන්න මේ උත්සව සමයෙදි භාණ්ඩ මිල ඉහළ යෑමට රුපියල අවප්‍රමාණය වීම බලපායි කියල හිතන්න බෑ. රුපියල අවප්‍රමාණයවීම හරහා භාණ්ඩ මිල ඉහළයෑමට තියෙන්නෙ ඉතා පහළ සම්භාවිතාවක්. ඒ වෙනුවට වෙළෙන්දෝ උත්සාහ කරයි තියෙන ආනයනික භාණ්ඩ මිල ඉහළ දාන්න.

•සංවාදය – ලක්මාල් බෝගහවත්ත