ක්‍රීඩා

රදැල්ලේ පුහුණුවට ගියානම් මේ ආබාධ නෑ

රදැල්ලේ පුහුණුවට ගියානම් මේ ආබාධ නෑ

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පිටිය ගැන අර්ජුන ද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

සිරුරේ නිරාවරණය වූ තැනක් වේද සීතල ඇවිදින් ඒ තැන් රුදුරු ලෙස ආක්‍රමණය කරයි. මේ සීතල හමුවේ හිරු එළියද අසරණව බලා සිටින අයුරකි. ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුමද පරදා අප රැඳී සිටින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීලෝන්ග් හි සීතල ජයගෙන ඇතුවා සේය. මෙවර ලෝක කුසලාන ඇරඹුණේ ජීලෝන්ග්හිදීය. ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙනි. ඉකුත් වසරේ අදාළ දිනය වන විට ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 8 අතරට ඒමට නොහැකි වූ, නමුත් ක්‍රිකට් ලොව මුල් තැන් හා තරග වැදීමේ ‘සවිය’ ඇති කණ්ඩායම් 8ක් මේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විය.

මේ සටහන තබන 21 වැනිදා දිනය වන විට එම ‍සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසන් වීමට නියමිතව තිබුණි. පෙරදා සන්ද්‍යාව වන විට ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් මේ කඩඉම පැනගත්තේය. එහෙත් මේ වන විට අප කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධවලට ‍ගොදුරු වී හමාරය.

අප කණ්ඩායමේ පමණක් නොව එමීරය, නෙදර්ලන්තය ආදී අනෙක් කණ්ඩායම්වලද ආබාධ වාර්තා වූ නමුත් වැඩිම හානිය සිදුව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටය. එහිද අප වේග පන්දු යවන්නන්ගේ බලඇණියටය. සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නන්ට උචිත මෙම කලාපයේ තණතිලි මත සිය අංක එකේ වේග පන්දු යවන්නෝ නොමැතිව තරග වැදීම මානසිකත්වය අතින්ද ගැටලු මතුකරන්නේය. ලංකාවට මේ සංචාරය ඇරඹි සතියක් යන්නට මත්තෙන් මෙවන් හදියක් කිරීම ගැන පළමු චූදිතයා වී ඇත්තේ මේ රුදුරු සීතලය.

රැයට සෙල්සියස් අංශක 6ක් තරම් පහළ බසින මේ සීතල, දහවලට සෙල්සියස් අංශක 14කට වැඩිය ඉහළ යන අවස්ථා විරලය. ඔස්ට්‍රේලියාවේ අප සිටින පෙදෙසට මේ ගෙවෙන්නේ වසන්ත සෘතුවයි. අවසන් වූයේ ශිත සෘතුවයි. නමුත් ශීත සෘතු කාලය පසු වුවද ශීත සෘතුවේ සමහරක් ගති ලක්ෂණ තවම රැඳී ඇති අයුරකි. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අනවශ්‍ය කරදරය ගෙනාවේ මේ සීතල විසින්මද? නැතහොත් වෙනත් කරුණු කාරණාත් මෙහි තිබුණේද? අපට ඉදිරියේදීත් මෙවැනි දේශගුණ තත්ත්වයන් යටතේ තරග වැදීමට සිදුවුවහොත් අප කළ යුත්තේ කුමක්ද? සැබැවින්ම ඔය කියනා තරම්ම කණ්ඩායමේ ආබාධ තත්ත්වයන් බරපතළද?

මේ පැන විසඳාගැනීමට හොඳම සුදුස්සා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වාය. අප ඔහුව අමතන විට ඔහු සිටියේ ශ්‍රී ලංකාවේය. තවත් දින 5ක ඇවෑමෙන් ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණීමට සූදානම්ය. නමුත් ශ්‍රී ලංකාවේ රැඳෙමින් වුව ඔහු අප ක්‍රිකට් කණ්ඩායමේ සිදුවන්නේ මොනවාද යන්න ගැන පූර්ණ විමසීමකින්, දැනුමකින් යුක්තව කටයුතු කරයි.

‘ඔබ මගෙන් ඔය ප්‍රශ්න අහන්න කලින් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්’

මේ දුරකථන මාර්ගික කරුණු විමසුමට ඔහු ලබාගත්තේ අමුතුම ප්‍රවේශයකි.

‘ඇයි අහන්නේ නැත්තේ අපි දිනපු ආසියානු කුසලානෙදි මොකද කව්රුවත් ආබාධවලට ලක්නොවුණේ. මොකක්ද ඒකෙ රහස කියලා. එදා ආසියානු කුසලාන දිනලා එනකොට මහත් හසරසෙයන් පිළිගත්තු, අපි ඉඳගෙන සෙල්ෆි ගහපු ටීම් එකම තමයි මෙතැන ඉන්නේ. ඒ නිසා ‘මුන්ට මැච් එකක් ගහගන්න බැහැ. ඉන්ජරීස් එනවා. බෝලයක් අල්ලගන්න පණ නෑ’ වගේ සෘණාත්මක කථා කියන්නේ නැතිව මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වුණේ ඇයි කියන ප්‍රශ්නය අපි විමසලා බලමු. ඒත් ඊට කලින් මම ඔබට කියන්න ඕනේ මේ වන විට කණ්ඩායමේ දුෂ්මන්ත චමීර හැරුණු විට අනෙක් අයට (පැතුම් නිශ්ශංක, ප්‍රමෝද් මධුෂාන් සහ ධනිෂ්ක ගුණතිලක තිබෙන ආබාධ ඒ හැටි බරපතළ නැති බව’ යැයි ඔහු සිය පැහැදිළි කිරීම ඇරඹීය.

‘ඇත්තටම මේක ප්‍රධාන වශයෙන් අපිට නුපුරුදු ශීත දේශගුණයක් මැද ක්‍රීඩා කිරීම නිසා ඇතිවුණු දෙයක්. අපි මැද පෙරදිග රටක ආසියානු කුසලාන සෙල්ලම් කරනකොට මේ වගේ ශීතලක් තිබුණෙ නැහැ. ඒ වගේ දේශගුණයක ඉඳලා මේ වගේ දේශගුණයකට ආවාහම ආබාධවලට ලක්වීමේ හැකියාව වැඩියි. මොකද අපි විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වුණු ක්‍රිස් සිල්වර්වුඩ් කියන එංගලන්ත ජාතිකයත් කියනවා එයාටත් සීතලයි කියලා. එහෙම දේශගුණයක සෙල්ලම් කරන එක කොහොමත් අමාරු වැඩක්’

එහෙත් එයට යම් පමණින් පිළියම් ඇති බවද මහාචාර්ය අර්ජුණ පවසයි.

ඒ අනුව ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම යහමින් සිදුකිරීමත්, සිරුරේ ඇදෙනසුළුබව නැංවෙන ව්‍යායාමවල යෙදීමත්, දෑත් උණුසුම් කාරක යොදාගැනීමත් එවැනි පිළියම්ය. මෙවැනි තත්ත්වයක් යටතේ දෑත් උණුසුම් කරන ද්‍රව්‍යයක් භාවිතා කිරීමට නීතියෙන් අවසරයක් ඇති බවත් එම දෑත් උණුසුම් කිරීමේ දෑ තරගය අතරතුර නිතර සාක්කුවේ තබාගැනීමටත් කටයුතු කිරීම නුවනට උචිත බව ඒ සියල්ලට වඩා, මෙවැනි දේශගුණයක පැනනැගිය හැකි මෙවැනි තත්ත්වයන් ගැන අවබෝධයන් කටයුතු කිරීම වටින බව මහාචාර්යවරයාගේ අදහසයි.

එපමණක් නොව තරගයක් ක්‍රීඩා කිරීමේදී ඇතිවන මානසිකත්වය මත ශරීරයේ අදාළ හෝමෝන ශ්‍රාවයවීමද වැඩි බව වෛද්‍ය අර්ජුණ පවසන්නේය. ඒ අනුව එයද තරගයක් අතරතුර ක්‍රීඩකයකු ආබාධයකට ලක්වීමට හේතුවක් වන බවත්, තීරණාත්මක හෝ තියුණු තරගයකදී මෙම අවදානම තවත් වැඩි බවත් ඔහු පවසයි. ඒ අනුව ශීතල පමණක් නොව තරග මානසිකත්වය විසින්ද ආබාධ අවදානම උත්තේජනය කරනු ලබයි.

නමුත්, ඔහුට අනුව, දුෂ්මන්ත චමීරට මුහුණදීමට සිදුවූ දෙයට අනෙකට වඩා ක්‍රීඩාංගණයේ තත්ත්වය බලපා තිබේ.

‘අපි ක්‍රීඩාකරපු ජීලෝන්ග් ක්‍රීඩාංගණය හරිම මෘදු ක්‍රීඩාංගණයක්. එවැනි බිමක පාද පොළොව තුළට කාවැදීමට තිබෙන හැකියාව වැඩියි.. ඒ නිසා වේග පන්දු යවන්නන් දුවගෙන එනකොට එවැනි ආබාධවලට ලක්වෙන්න පුළුවන්. දුෂී (දුෂ්මන්ත චමීර) වගේ අපට ඉන්න හොඳම කෙනෙක් අහිමිවීම ලොකු පාඩුවක්. කොහොමත් චමීරගේ පාදයේ සැත්කමක් කරන්න යෙදිලා තිබුණේ. ඒක මේ ගමන්ම සිදුකළොත් චමීරට ලෝක කුසලාන විතරක් නෙමෙයි ඊට පසුව යෙදෙන තරගාවලි දෙක තුනක් වුනත් අහිමි වෙන්න පුළුවන්’

මෙම තරග පැවැති කාදිනියා ක්‍රීඩාංගණය යනු ක්‍රිකට් වෙනුවෙන‍් වෙන්වූවක් නොවේ. මෙම තරගාවලිය ඇරඹීමට ප්‍රථම එහි පවත්වා තිබුණේ එකම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණි. එයද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 2017 වසරේ පැවැත්වූවකි. මෙම ක්‍රීඩාංගණය බහුලවම යොදාගන්නේ ඔස්ට්‍රේලියානුවන්ගේ අතිශය ආකර්ශනය දිනාගත්, ඔවුනටම ආවේනික ක්‍රීඩාවක් වන රග්බි සහ පාපන්දු ක්‍රීඩාවන් හි මිශ්‍රණයක් වන් ෆුටි වෙනුවෙනි. මේ නිසා මෙම ක්‍රීඩාංගණය හදා ඇත්තේ වැටුණත් හානියක් නොවන සුවිසල් මෙට්ටයක් මෙනි. එය ෆුටි හෝ පාපන්දු ක්‍රීඩාවට ඔට්ටු වුවද වේග පන්දු යවන්නෙකුගේ ඉරියව්වට එනම් එතරම් සුබදායක නැත.

මෙවැනි බිමක් සහිත ක්‍රීඩාංගණයක තරගයක් යෙදීමේදී ඒ වෙනුවෙන් විකල්ප නැතත්, මෙවැනි දේශගුණයක් සහිත තැනක තරගයකට පැමිණීමේදී ඒ වෙනුවෙන් ඔරොත්තු දීමේ විකල්පයන් අපට නොතිබුණේද? එන්නට පෙර අපි මේ ‍එන්නේ සීතල කාලගුණයකටය යන්න ගැන පූර්වාවබෝධයක් සහිතව එයට ‘සූදානම් ශරීරයෙන්’ එන්නට නොතිබුණේද? අපි මහාචාර්ය අර්ජුණට එම පැනය යොමුකළෙමු.

‘ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මෙවැනි දේශගුණයකට මුහුණ දෙන්න තමයි අ‍පේ අය නුවර ගිහින් (පල්ලෙකැලේ) පුහුණුවීම් කරලා ගියේ. පුහුණු පහසුකම් තිබෙන සීතලම තැන තමයි එතැන. ඊට වඩා සීතල තැන් ලංකාවේ තිබුණත් ඒවයෙ පුහුණු පහසුකම් නැහැ’

සැබැවින්ම ඔස්ට්‍රේලියාවේ ජිලෝන්ග්හි සිටින විට අපට දැනුණු සීතල නුවරඑළියේ සීතලට සමීපය. එසේනම් නුවරඑළිය ආශ්‍රිතව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබුණහොත් මෙවැනි තරගාවලි සඳහා ඒමට පෙර මනා දේශගුණික හුරුවක් ලබමින් ආබාධ මගහරවා ගැනීමට අවස්ථාව ඇත්තේ නොවේද?

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපතිවරයාට ඒ පැනය ද යොමුකළෙමු.

‘ඇයි අපිට තියෙන්නේ රදැල්ල ක්‍රීඩාංගණය. ඒක ඔය කියන දේට ඉතාම ගැළපෙන තැනක්. නමුත් එතැන ක්‍රීඩාංගණය තිබුණට අපිට ඒ ක්‍රීඩාංගණයේ පුහුණු පහසුකම් නෑ. මම කිහිපවරක්ම ඒ ගැන යෝජනා කරලා තිබෙනවා. අපිට රදැල්ල ක්‍රීඩාංගණයේ අවශ්‍ය පුහුණු පහසුකම් ටික ස්ථාපනය කරගන්න පුළුවන් නම් ශීත දේශගුණයක් තිබෙන රටක තරගාවලියකට යන්න කලින් අපේ ළමයින්ට ගැළපෙන පුහුණුවක් දෙන්න පුළුවන්’

මේ වන විට භාණ්ඩාගාරය පිරෙන්නට මුදල් ඇති, එපමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් පවා මුදල් පිරිනමමින් අනෙක් ක්‍රීඩා ගැනත් සොයා බලා අවශ්‍ය කටයුතු කරදෙන්නට තරම් හිත් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රදැල්ලේ එම ක්‍රීඩාංගණය හෝ නුවරඑළිය ආශ්‍රිතව පුහුණු මධ්‍යස්ථානයක් හදාගන්නට බැරිකමක් හෝ හිත් නොදීමක් නැතැති අපි සිතමු.

ඉන්ද්‍රජිත් සුබසිංහ ඔස්ට්‍රේලියාවේ සිට