විශේෂාංග

රට වටේම මුහුද තිබුණට මාළුත් රටින් ගේන්න වෙන ලකුණු

ශ්‍රී ලංකා සාගරය අඩකට වැඩියෙන් දූෂිතයි

බෙංගාලබොක්ක ආශ්‍රිත සාගර කලාපයේ මළ මුහුදක් නිර්මාණය වෙමින් පවතින බව අනාවරණය වීමත් සමගම මතු වූ ප්‍රශ්නයක් වූයේ එය ශ්‍රී ලංකා මුහුදට කෙසේ බලපානු ඇතිද යන්නය. ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හෙවත් නාරා ආයතනය පවසන්නේ මළ මුහුදක් නොවුණත් ශ්‍රී ලංකා මුහුදු තීරයද බරපතළ ලෙස දූෂණය වී ඇති බවය. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා සාගර පත්ලෙන් 50% කට වැඩි ප්‍රමාණයක කැළිකසළ රැස්වීමෙන් දූෂණයට ලක්ව ඇති බව නාරා ආයතනය පවසයි. නාරා ආයතනයේ ගවේෂණයකට අනුව වැඩි වශයෙන් දූෂණයට ලක්ව අැත්තේ බස්නාහිර මුහුදු තීරයයි. එම මුහුදු තීරයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් කැළිකසළ තැන්පත් වීමෙන් දූෂණයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරය දූෂණය වීමටද බලපා ඇති ප්‍රධානම සාධකය වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. ශ්‍රී ලංකාවේ වයඹ දිග මුහුදු තීරය ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවෙන් දැඩි ලෙස දූෂණය වූ මුහුදු තීරය ලෙස මෙම ගවේෂණයේ දී හඳුනාගෙන තිබේ. එහිදී ගණනය කළ පරිදි වයඹ මුහුදු තීරයේ ඝන මීටරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.89 ක් හඳුනා ගෙන ඇත. ගිනිකොන මුහුදු තීරයේ එම ප්‍රමාණය ඝන මීටරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.28 ක් වශයෙනි. නිරිතදිග මුහුදේ එම ප්‍රමාණය 0.29 ක්ද, දකුණු මුහුදේ 0.27 ක් හා ඊසානදිග මුහුදේ 0.21 ක්ද වශයෙන් ගණනය කර ඇත.

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක් නාරා ආයතනයත් සමග එක්ව මෙම ගවේෂණය සිදු කළේ ය. එම වාර්තාව පසුගිය දිනක එළිදැක්විණි. සාගරය දූෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වටා සාගරයේ මත්ස්‍ය සම්පත පසුගිය වසර 40 ක කාල සීමාව තුළ ශීඝ්‍රයෙන් අඩු වී තිබෙන බවද මෙම ගවේෂණයේදී අනාවරණය විය.

දැනට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු පත්ලේ ජීවත්වන මත්ස්‍යය විශේෂ ජෛව ස්කන්ධය ගණන් බලා ඇත්තේ ටොන් 53,000 ක් වශයෙනි. මීට දශක 4 කට ඉහතදී එනම් 1978 – 1980 වකවානුවේ එම ජෛව ස්කන්ධය ටොන් 250,000 – 300,000 අතර විය. එනම් එම ප්‍රමාණය 1/5 පමණ දක්වා ශීඝ්‍රයෙන් අඩු වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛන මගින් පිළිබිඹු වන වර්තමානයේදී මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිවන මත්ස්‍ය අස්වැන්න ටොන් 200,000 කට ආසන්නය.

දැනට මෙරට වැඩිම මත්ස්‍ය ගහණයක් වාර්තා වන්නේ ගිනිකොනදිග මුහුදු තීරයේය. එම ජෛව ස්කන්ධය ටොන් 8173 කි. අඩුම මත්ස්‍ය ප්‍රමාණයක් වාර්තා වන්නේ වඩාත්ම දූෂණයට ලක්ව ඇති වයඹදිග මුහුදු තීරයේය. එම ජෛව ස්කන්ධ අගය ටොන් 967 කි.
වර්තමානයේ ජලය මතුපිට මධ්‍යම සමුද්‍රික මත්ස්‍ය ප්‍රමාණය ටොන් 101,000 ක් බව සැලකේ. එය දශක කිහිපයකටම පෙර තත්ත්වය හා සසඳන විට විශාල අඩුවීමකි. ශ්‍රී ලංකා මුහුදු තීරයේ මතුපිට කලාපයේ මත්ස්‍ය ගහනයේ අඩුවීම මෙම සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිව පිළිබිඹු වේ. දැනට ඇති හුරුල්ලා, සාලයා වැනි මත්ස්‍ය ප්‍රමාණය ටොන් 21,000 ක් බවද ඉන් ගණන් බලා ඇත.

වාර්තාව මගින් පෙන්වා දී ඇති පරිදි, සමුද්‍ර දූෂණයට අමතරව ධීවර කටයුතු සැලසුම් සහගතව සිදු නොවීමද මෙලෙස මත්ස්‍ය සම්පත අඩුවෙමින් තිබීමට හේතුවකි. ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වය අතින් පොහොසත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක් වී තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් (Bio Diversity Hotspot) ලෙසද හඳුනාගෙන ඇත. එය සතුටුවිය හැකි කාරණයක් නොවේ. එලෙස ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වශයෙන් නම්වීමට හේතු කාරණා මෙම අධ්‍යයනය මගින් වුවද පැහැදිලි කරගත හැකිය.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කළ නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රභාත් ජයසිංහ පවසන පරිදි, ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ මනා ජෛව විවිධත්වයක් පවතින නමුත් මේ අන්දමින් එය විනාශයට ලක්වීම යනු එම විවිධත්වයද විනාශ වීමකි. සමුදුරු ජීවින්ගේ පැවැත්මට තර්ජනයක් අැති කරමින් සාගර පරිසරය කැළිකසළවලින් පිරීයාමේ ප්‍රතිඵලය එයය. ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ආලෝකය, වාතය ආදී සාධක සැපයීම සීමා වීම මේ නිසා සිදුවන අතර එය ජීවීන්ගේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.
මෙම නෝර්වේ නෞකාවට මීට වසරක 40 කට පෙරද මෙවැනි පර්යේෂණයක් සිදුකර තිබේ. එම දත්ත හා මෑතදී යළි එම නෞකාවම නාරා ආයතනය සමග එක්ව කළ මෙම ගවේෂණයේ දී ලබාගත් දත්ත සසඳන විට මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති අයුරු හඳුනාගත හැකිය.

‘‘නාරා ආයතනය මගින් වෙරළාශ්‍රිත මත්ස්‍ය අස්වැන්න එක් බෝට්ටුවකින් ලබාගන්නා මසුන් ප්‍රමාණය යන පදනම මත ගණනය කරනවා. පසුගිය වසර ගණනාවක දත්ත විමසා බලන විට පැහැදිලිව පෙනී යන්නේ එම අස්වැන්න අඩු වෙමින් ඇති බවයි…’’
මේ තත්ත්වයට සමුද්‍ර පරිසර දූෂණය වීමට අමතරව ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීමද (Over Fishing) හේතු වී ඇති බව ආචාර්ය ප්‍රභාත් පෙන්වා දේ.
‘‘මුහුදු පත්ල ආශ්‍රිතව සිටින මසුන් වගේම මතුපිට හා පත්ල අතර මධ්‍යම කොටසේ සිටින මසුන් කියන දෙකොටසම විශාල ලෙස අඩුවීමක් මේ නිසා දකින්න තියෙනවා. මීට බලපෑ කාරණයක් වශයෙන් 2004 දී සිදු වූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව මෙරටට ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් ආධාර වශයෙන් ලැබීම නිසා ධීවර බෝට්ටු වැඩිවී තිබීමත් දක්වන්න පුළුවන්.’’

ආචාර්ය ප්‍රභාත් එලෙස පැහැදිලි කරන්නේ ප්‍රමාණය ඉක්මවා මසුන් අල්ලා ගැනීම පිළිබඳ කාරණයයි.

බස්නාහිර මුහුදු තීරය දූෂණය වැඩිවීමට ප්‍රධාන ගංගා 2 ක් එම ප්‍රදේශයෙන් මුහුදට එක්වීමද බලපා තිබේ. ගංගාවක් ඍජුවම මුහුදට එක්වීමේදී මෙන් නොව නගර ගණනාවක් පසුකරගෙන ගලා බසින එම ගංගා හරහා විශාල කැළිකසළ ප්‍රමාණයක් මුහුදට එක් වීම ඊට හේතුවයි

‘‘මේ කැළිකසළ සමග සාගරයට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් වැනි කොටස් සමුද්‍රීය පරිසර පද්ධතියට විශාල බලපෑමක් ඇතිකරනවා. මේ තත්ත්වය බස්නාහිර මුහුදු තීරය ආශ්‍රිතව ඉතා ඉහළයි. සාගර විද්‍යානුකූලව බලන විට වෙනත් කලාපවල අැති එවැනි අපද්‍රව්‍යද දියවැල් සමග අපේ මුහුදු තීරයට එක්වීමත් සිදුවෙනවා…’’

සාගර දූෂණය වැඩිවීම ජෛව විවිධත්වයට ඇති කරන බලපෑම පැහැදිලි කරන ආචාර්ය ප්‍රභාත් ජයසිංහ පෙන්වා දෙන්නේ එලෙස රැස්වන කැළිකසළ හේතුවෙන් සමුද්‍රීය ජීවීන්ට අවශ්‍ය හිරු එළිය, වාතාශ්‍රය වැනි සාධක නිසි ලෙස නොලැබීම ජෛව විවිධත්වයට බලපෑමක් ඇතිකර ඇති බවය.

‘‘නාරා ආයතනය සිදු කළ ගවේෂණවලදී අප සිතනවාටත් වඩා මෙරට සිටින මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වැඩි බව හඳුනාගත්තා. අපේ රටට පමණක් නොව ලෝකයටම අලුතෙන් හඳුන්වාදිය හැකි විශේෂත් මේ අතර සිටිනවා. නමුත් එම විශේෂ ගැන තවමත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අවශ්‍ය පර්යේෂණ කරමින් සිටිනවා. එහෙත් එම තොරතුරු නිශ්චිතව දැක්වීම අසීරුයි. එසේ වුවත් එතරම් විවිධත්වයක් ඇති අපේ මත්ස්‍ය සම්පත රැක ගැනීම ගැන අප කාටත් වගකීමක් තියෙනවා. එය කළ හැක්කේ ජලජ පරිසර විශේෂයෙන් සාගරය දූෂණය වීම අවම කර ගැනීමෙන්. එය කිසියම් ආයතනයකට හෝ පුද්ගලයන්ට තනිව කළ හැකි කාර්යභාරයක් නොවෙයි. රටවැසි කාටත් එම වගකීම පැවරෙනවා.’’

ආචාර්ය ප්‍රභාත් මෙහිදී තවත් කාරණයක් අවධාරණය කරයි. ඒ, ගැඹුරු මුහුදේ එනම් මීටර් 75-100 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ ඔක්සිජන් හිඟවීමක් නිරීක්ෂණය කළ හැකි බවය. එය විශාල අඩුවීමකි. එය ස්වභාවික තත්ත්ව හේතුවෙන් ඇති වූවක් වන නමුත් ගැඹුරු මුහුදේ මසුන් ඇතුළු මුහුදු ජීවීන් අඩුවීමට එයද බලපා තිබේ.

ධම්මික සෙනෙවිරත්න