විශේෂාංග

මියන්මාර ලේ පැල්ලම

භික්ෂූන් වහන්සේලාත් අත්අඩංගුවේ

මුලින්ම මියගියේ වයස විස්සක තරුණියක්

දැනටමත් සිය ගණනක් මිය ගිහින්

 

මේ වනවිට මියන්මාරය ලෝක දේශපාලන පිටියේ ලොකුම මාතෘකාව වී තිබේ. ඒ, පසුගිය නොවැම්බරයේදී මහජන ඡන්දයෙන් තේරීපත් වූ අවුං සාං සුඛීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (NLD) බලයෙන් පහකර හමුදාව බලය අතට ගැනීමයි.

කෙසේ වෙතත් දැන් මේ තත්ත්වයට එරෙහිව රටේ විවිධ විරෝධතා මතුවී තිබේ.

මේ විරෝධතාව මේ වන විට ජීවිත සිය ගණනක් බිලිගත් අවාසනාවන්ත ගැටුමක් බවට පත් වී තිබේ. මේ විරෝධතාවය නිසා සිදු වූ පළමු ජීවිත හානිය වාර්තා වූයේ පෙබරවාරි නව වෙනිදාය.එහිදී විසි හැවිරිදි තරුණියක් විරෝධතාව අතරතුර දී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගියාය. අද දක්වා මියගිය මේ අය අතර පොලිස් නිලධාරීන් ද වේ. වැඩිම ජීවිත හානිය වාර්තා වූයේ මාර්තු 14 වැනිදාය. ඒ දළ වශයෙන් පුද්ගලයන් 74 දෙනෙකි.

මේ විරෝධතාවය ඔවුන් ඇරඹූයේ හේතු කිහිපයක් පදනම් කර ගනිමිනි. පළමුවැන්න හමුදා පාලකයාට බලය අතහැර පසු බසින ලෙස බල කිරීමයි. එමෙන්ම අවුං සාන් සුඛී, ඇගේ අමාත්‍ය මණ්ඩලය හා නිලධාරීන් නිදහස් කරන ලෙස බල කිරීමද විරෝධතාකරුවන්ගේ තවත් අරමුණකි. සිවිල් රජයක් යළි ස්ථාපනය කරමින් 2020 මැතිවරණ ප්‍රතිඵල පිළිගන්නා ලෙසද ඔවුහු බල කරති. එමෙන්ම 2008 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලාත්මක කර ගැනීමද ඔවුන්ගේ අරමුණකි.

මේ විරෝධතාව ක්‍රම කීපයකින්ම පැවැත් වෙන්නකි. පෙළපාළි, වැඩ වර්ජන, සිවිල් විරෝධතා ක්‍රියාකාරකම්, online විරෝධතා වැඩසටහන් මෙන්ම නව්‍ය විරෝධතා ආර කීපයක්ම තවමත් නොනිවී දැල්වෙන මේ කලිකලහ අතර දකින්නට ලැබේ.

විරෝධතාකරුවන්ට ලැබෙන පහරද ඒ හැටි ලෙහෙසි පහසු එකක් නොවේ. මේ පීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ Tatmadaw නමින් හඳුන්වනු ලබන බුරුම හමුදාවයි. මීට අමතරව මියන්මාර් හමුදාව හා මියන්මාර් පොලිස් බළකාය තම යකඩ හස්තය විරෝධතාකරුවන්ගේ හිස මත හෙළමින් සිටිති. මේ විරෝධතාවයට සිවිල් සමාජයේ උදව් පදව් නැතුවාද නොවේ. එරට ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන එක්සත් සහයෝගීතා හා සංවර්ධන පක්ෂයේ (Union Solidarity and Development party) සහාය හිමි වී ඇත්තේ හමුදා පාලනයටයි.

මේ විරෝධතා ව්‍යාපාරයේ කැපී පෙනෙන අංගයක් වන්නේ රතු රිබන් (Red Ribbon) ව්‍යාපාරයයි. එය දියත් කළේ එරට සෞඛ්‍යය සේවකයන් විසිනි. මෙහිදී ඔවුන් රතු පැහැය යොදා ගන්නට හේතු වූයේ 2020 මහ මැතිවරණය ජයග්‍රහණය කළ සුඛිගේ පක්ෂයේ වර්ණය එය වූ බැවිනි. කලාකරුවන් උගතුන් හා වෘත්තිකයන්ගේ සහායද මේ ව්‍යාපාරයට හිමි වී තිබේ. පෙබරවාරි පස්වැනිදා වෙද්දී මෙම ව්‍යාපාරයට තඹ පතල්කරුවන්ගේ සහායද ලැබිණ. වැඩ වරන්නට ඔවුනට නොහැකි වූ බැවින් ඔවුන් කළේ රතු රිබන් ව්‍යාපාරය සමග එක්වීමයි.

2021 පෙබරවාරි 17 වැනිදා රැන්ගුන්හි කාර්යබහුල වීදිවල අබිරහස් අන්දමෙන් මොටෝ රථ කැඩී නතර වී තිබෙනු දකින්නටද ලැබිණි. එයද මේ විරෝධතාකරුවන්ගේ නිර්මාණශීලී අදහසක්, උපක්‍රමයක් වීමද විශේෂයකි.

මේ විරෝධතාව වාර්තා කිරීම සඳහා සම්බන්ධ වී සිටි මාධ්‍යවේදීන් ගණනාවකට හමුදා ගුටි බැට හිමිවී තිබිණ. එරට නිදහස් මාධ්‍ය ආයතන පහක බලපත්‍ර අහෝසි කරන්නට හමුදා රජය කටයුතු කළ අතර පරිගණක හෝ දත්ත හුවමාරු උපකරණ හෝ ඇති තැන් බල බලා ඒවා එක්රැස් කර ගන්නා තැනට මේ මිලිටරි වියරුව වැටී තිබේ.

මේ දක්වා විවිධ තරාතිරමේ පුද්ගලයන් මිලිටරි ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අසන්නට ලැබේ. හමුදාවට අපහාස කිරීමේ චෝදනාව යටතේ භික්ෂූන් වහන්සේද අත්අඩංගුවට ගැනීමට හමුදා රජය කටයුතු කර ඇත. මීට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිහිපදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔස්ට්‍රේලියානු ජාතික ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ෂෝන් ටර්නල්ද නිවාස අඩස්සියට පත්ව සිටී.

තම සමාජ ජාලා ගිණුම් හරහා ජනතාව කුලප්පු කෙළේ යැයි චෝදනා කරමින් එරට ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකුද ලූ මින් ආදී ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙකුද හමුදා රජය විසින් සිර භාරයට ගෙන තිබේ.

සාමකාමීව ආරම්භ වූ මේ විරෝධතාව මේ සා ප්‍රචණ්ඩ තත්ත්වයට ඇදවැටුණේ මිලිටරි ආණ්ඩුව ඊට විරුද්ධව මුදාහළ ප්‍රබල මර්දන පිළිවෙත හේතුවෙනි. උද්ඝෝෂකයන් පලවා හරිනු පිණිස රබර උණ්ඩ, ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මුලදී යොදා ගැනුණු නමුත් ක්‍රමයෙන් දෙපාර්ශ්වය අතර හබය දුරදිග යද්දි උද්ඝෝෂකයන්ට වෙඩි තබන්නට සහ බෝම්බවලින් දමා ගසන්නට බුරුම හමුදාව පියවර ගෙන තිබුණි.

මේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව ලොව නන්දෙසින් විරෝධතා නැගෙනු දකින්නට පුළුවන. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පුද්ගලිකවම එයට මැදිහත් වෙමින් එරට බලධාරීන්ට බල කර ඇත්තේ සමාජය සහ ධර්මය එහි යළි බල ගන්වන ලෙසය. ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ද ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණය යළි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස උද්ඝෝෂණයේ යෙදෙන්නන්ට එල්ලවන මේ ප්‍රහාර ගැන එක්සත් ජනපදය දැඩි අවධානයකින් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ද පවසා ඇත්තේ සාමකාමීව රැස්වීම සහ විරෝධතා දැක්වීමේ අයිතියට ඉඩ ලබාදීම ගැන වහා මිලිටරි රජය අවධානය යොමු කළ යුතු බවයි.

මියන්මාරයෙන් මේ ව්‍යාපාරය එරට බිම් සීමාවෙන් පිටතට ද ව්‍යාප්ත වී තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර, ජපානයේ United Nations University ඉදිරිපිට, වොෂින්ටනයේ මියැන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට, ටෙනසි ප්‍රාන්තයේ නෑෂ්විල් එමෙන්ම ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිටද යම් ආකාරයක විරෝධතා ව්‍යාපාර ආරම්භව තිබෙන බව අසන්නට ලැබේ.

මේ විරෝධතාවය මර්දනය කිරීමේ ලා හමුදා ආණ්ඩුවට චීන රජයේ සහය ලැබෙන බවට චෝදනාවක් ඉස්මතු වී තිබේ. මියන්මාරය වෙළෙඳපොළ අල්ලා ගැනීම සඳහා ජපානය සමග තරගයක යෙදී සිටින චීනය තම ස්ථාවරභාවය ඇති කර ගැනීම උදෙසා මෙසේ මේ කටයුත්තට වක්‍රව දායකව සිටින බව විරෝධතාකරුවන්ගේ චෝදනාව වෙයි.

යැංගුන් නගරයේ සමූහ මිනී වළවල් කැපෙන අතර නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් දිවි දුන්නවුන්ට අවසන් ගෞරවය දැක්වීම පිණිස පැමිණි පුරවැසියන්ගේ වැලපිල්ල මුළු මියන්මාරය පුරා ඇදී යන්නේ එකම අඳෝනාවක් ලෙසිනි. පසුගිය ඉරිදා පොලිස් වෙඩි පහරින් මිය ගිය වෛද්‍ය ශිෂ්‍යයාට අවසන් ගෞරව දැක්වීම පිණිස පැමිණි සිය දහස් ගණන් ජනතාවගෙන් වීදි පිරී තිබුණි.

මේ කිසිවකු පසුබසින්නට සූදානම් නැත.

“Our revolution must prevail.” ඒ ඔවුන් එකම හඬින් නගන ඝෝෂාවයි.

පාලිත ජයකොඩි