brand logo
logo

මාර්ගෝපදේශ කඩන පෞද්ගලික රෝහල් PCR වලින් ඉවතට

22 January 2021

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවලට අනුව පී.සී.ආර්. නොකළහොත් පෞද්ගලික අංශයේ රෝහල් එම පරීක්ෂණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇත. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් හා පෞද්ගලික රෝහල්වල රසායනාගාර අංශ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දන්වා ඇත. ඇතැම් පෞද්ගලික රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර නොගෙන ප්‍රාදේශීය රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ කරන බවට හෙළි වී ඇතැයි මෙහි දී අනාවරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙතෙක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අවසර දී ඇත්තේ රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාර තිහකට පමණි. මාර්ගෝපදේශවලට පිටින් ගොස් පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රමවේදවල විශ්වාසනීයත්වය බිඳ නොදමන ලෙස මෙහි දී දැනුම් දී තිබේ. පෞද්ගලික අංශය මගින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු අඩු කරන ලෙසද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහි දී ඉල්ලීමක් කර ඇත. යුක්රේන් සංචාරකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණද පෞද්ගලික අංශයේ රෝහල් වෙත ලබා දී ඇති අතර ආයෝජන මණ්ඩලයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල පී.සී.ආර්. පරීක්ෂණ භාරදී ඇත්තේ ද පෞද්ගලික අංශයේ රෝහල් වෙතය. ගමන් ගාස්තු නොමැතිව පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා රුපියල් 6750ක මුදලක් ආයෝජන මණ්ඩලයේ ඇඟලුම්හල්වලින් දැනට අය කරයි.   තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..