මම නූගතෙක් කියන කතාව බොරු
25 August 2020
මම නූගතෙක් කියන කතාව බොරු
25 August 2020
පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැසීමේ සිද්ධියත් සමග රටේ ආන්දෝලනයට ලක් වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ගැන දැන් යළිදු වරක් කතාබහක් ඇති වී තිබේ. ජනපතිවරයා දුසිම් ගණනක් රාජ්‍ය ඇමැතිකම් ප්‍රදානය කළත් රටුන් අතරේ නැගලා ගිය ඇමැතිකම වූයේ ඔහුට දුන් මැටි ඇමැතිකමය. රටුන් මැටි ඇමැතිකම යනුවෙන් කීවත් ප්‍රසන්න රණවීරට ලැබුණේ වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය ඇමැතිකමය. මේ තමාට ලැබුණු ඇමැතිකම ගැන ප්‍රසන්න රණවීර සතිඅග අරුණට කී කතාවය.
මේ දවස්වල හැමෝම ඔබට කියන්නෙ 'මැටි ඇමති' කියලා... එහෙම කියනකොට තරහ යනව ද?
අපොයි නැහැ. කවුරු විහිළු කළත්, මට නං මේ අමාත්‍යංශය විහිළුවක් නෙවෙයි. මේක මේ රටේ හැදෙන්නම ඕන අමාත්‍යංශයක්. ඒ වගේම මං දැක්කා, බුලත් - කරඳමුංගු - කරාබුනැටි වගේ සුළු අපනයන බෝග සංවර්ධන අමාත්‍යංශයත් සමහර ළමයින් විහිළුවට ගන්නවා. ඒ වගේම අමාත්‍යංශ විෂයක් බවට පත් වුණු 'බතික් කර්මාන්තය' ගැනත් පහත් කරලා කතා කරනවා. ලංකාවේ අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් හොයන පරමාර්ථයෙන් හදපු අලුත් අමාත්‍යංශයත් විහිළුවට ගන්නවා. ඒ විදියෙ විහිළු නිර්මාණය කරන්නෙ අපේ ආණ්ඩුවෙ අලුත් අමාත්‍යංශවල විෂය පථ හැදුණු හැටි නොදන්න අය.
එහෙනම් කොහොමද ඔබගේ අමාත්‍යාංශය හැදුණේ?
'නොදන්නා අයගේ දැනගැනීම සඳහා' මගේ අමාත්‍යංශය හැදුණු හැටි ගැන පොඩ්ඩක් කියන්නම්.
හැමෝම දන්නවා අපේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කාලෙත්, මහ මැතිවරණය කාලෙත් රටේ මිනිස්සු එක්ක කතා කර කර ගමින් ගමට, නගරෙන් නගරෙට ගියා. ඒ ගමන්වලදි එතුමා මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ සැබෑ ජීවන ප්‍රශ්න හඳුනාගත්තා. නුවර පිළිමතලාව පැත්තෙ යන කොට එතුමා දැක්කා පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ යෙදෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්න. ඒ අයට අමුද්‍රව්‍ය නැති ප්‍රශ්න තියෙනවා. වෙළඳපොළ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඔය අතරෙ මැටි කර්මාන්තයේ යෙදෙන මිනිස්සු තමන්ගෙ නිෂ්පාදන විකුණගන්න බැරුව මාස ගණන් බලා ඉන්න බව එතුමා දැක්කා. වේවැල් කර්මාන්තයෙ ප්‍රශ්නත් එහෙමම යි. වේවැල් කර්මාන්තකරුවො වේවැල් වලින් ලස්සන ලස්සන නිර්මාණ කරන්න දැනගෙන හිටියත්, ඒ අයට ගුල්ලො නොගහන තත්ත්වයට වේවැල් පදම් කරගන්න තාක්ෂණය නෑ. මොරටුවෙ ලී බඩු නිෂ්පාදකයින්ට වෙලා තියෙන්නෙ තමන් හදන ලීබඩු කුණු කොල්ලෙට කොළඹ 'ෂෝ රූම්' අයිතිකාරයින්ට විකුණලා දාන්න. ඉතිං ශිල්පෙ දන්න මිනිස්සු දුක් විඳිද්දි අතරමැදියොයි, වෙළෙන්දොයි ඒවයින් ලාභ උපයනවා. මේ විදියට ග්‍රාමීය කොහු කර්මාන්තකරුවන්ටත්, හම් භාණ්ඩ නිපැයුම්කරුවන්ටත්, ඔවුන්ටම අනන්‍ය වෙච්චි ප්‍රශ්න ටිකක් තියෙනවා. අනෙක් කුඩා කර්මාන්ත වලටත් එහෙම ම යි. ඉතිං මේ කියන ග්‍රාමීය කර්මාන්ත ඔක්කොම එකට එකතු කරලා හදපු අමාත්‍යංශය තමයි ජනාධිපතිතුමා මට දුන්නෙ.
දැන් මේ ප්‍රශ්නවලට නිර්මාණශීලීව උත්තර හොයන එකයි මට පැවරිලා තියෙන්නෙ. මේ කර්මාන්ත හැකි උපරිමයෙන් නඟාසිටුවන්න ඕන. මේ කියන ප්‍රාථමික නිෂ්පාදන 'විවිධාංගීකරණය' කරන්න ඕන. දේශීය අවශ්‍යතා සම්පූර්ණ වුණායින් පස්සෙ පුළුවන් වුණොත් 'අපනයනය' කරන මට්ටමට ඒවා දියුණු කරන්න ඕන.
ඉතිං කවුරු හරි කරන විහිළුවකට තරහගන්න තරම්වත් වෙලාවක් නෑ. මම මට ලැබුණු අමාත්‍යංශය සතුටින් බාර අරන් මහන්සි වෙලා වැඩ කරනවා. එච්චරයි.
නමුත් එක දෙයක් කියන්න ඕන, මට 'මැටි ඇමති' කියලා අපහාස කළාට කමක් නෑ. ඒත් ඒ කර්මාන්තයේ නියැළෙන මිනිස්සුන්ට නං අපහාස කරන්න එපා. අපි ඇත්තටම කරන්න ඕන ඒ වගේ සාම්ප්‍රදායික කර්මාන්තවල නියැළෙන මිනිස්සුන්ව ධෛර්යමත් කරන එක.
මේ අමාත්‍යංශය ඔබට ලැබෙන බව කලින් දැනගෙන හිටිය ද?
කොහෙත්ම නෑ. මට රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙන බව දැනගෙන හිටියා මිසක්, අමාත්‍යංශ විෂය දැනගෙන හිටියෙ නෑ. මං දන්න තරමින්, පත්වුණු ඇමතිවරු කවුරුවත්, තමන්ගෙ විෂය පථය කලින් දැනගෙන හිටියෙ නෑ.
ඔබ, ඔබට ලැබුණු ඇමති ධුරය සතුටින් බාරගත්තා වුණත්, දයාසිරි ජයසේකර, විමලවීර දිසානායක වගේ ඇමතිවරු නම් තමන්ට ලැබුණු ඇමති ධුර ගැන හරිම කනස්සල්ලෙන් තමයි කතා කරන්නෙ.?
ඔව්. මමත් දැක්කා. නමුත් ඒ 'කනස්සල්ල' කිසිම තේරුමක් නැති කනස්සල්ලක්. මොකද ඒ අයට අනුව, ඒ අය හිතන 'හොඳම අමාත්‍යංශ' කියන ඒවා තමයි ඇත්තට ම වැඩක් නැත්තෙ. උදාහරණයකට අපි 'වරාය විෂය' ගමුකො. ඒ විෂය භාරගන්න ඇමතිට පැවරෙන්නෙ 'කළමනාකරුවෙකුගේ' ජොබ් එකක්. මොකද එයාට අලුතින් හිතලා නිර්මාණශීලීව වැඩක් කරන්න ලැබෙන අවස්ථාව අඩුයි.
මං හිතන හැටියට, මට, දයාසිරි ඇමතිතුමාට ලැබුණු අමාත්‍යංශ විෂයන් ඉතාම හොඳයි. නිර්මාණශීලීව වැඩක් කරන්න පුළුවන්. ඉතිං මං ඒ අයටත් කියන්නෙ, කනගාටු වෙවී නොඉඳ වැඩ කරන්න කියලා.
මේ අතරෙ, ඔබට ලැබුණු අමාත්‍යංශ ගොඩනැගිල්ල ආපහු බාරදෙන්න යනවා කියල ආරංචියකුත් යනවා. ඒක ඇත්ත ද?
ඔව්. ඒක ඇත්ත.
ඇයි ඒ.? ලැබුණු අමාත්‍යංශ ගොඩනැගිල්ලේ පහසුකම් මදි ද?
මට මගේ අමාත්‍යංශ ගොඩනැගිල්ල හැටියට ලැබිල තියෙන්නෙ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 36 වැනි මහල. මගේ නිල කාමරේ 'වීව් එකත්' බොහොම ලස්සනයි. එතන ඉඳලා පහළ බලනකොට පේන්නෙ වරායේ නැව් තටාකාංගනය. ඉතිං සැප පහසුව නං උපරිමයි.
නමුත්, මගේ අමාත්‍යංශෙ එක්ක ගැටෙන මිනිස්සුන්ට, ඒ කියන්නෙ මැටි වළං හදන මිනස්සුන්ට, වේවැල් වැඩ කරන මිනිස්සුන්ට, පැදුරු වියන මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නයක් කියන්න මාව හොයාගෙන ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ, නැගෙනහිර කුලුනේ 36 වෙනි මහලට එන්න ලේසි නෑ. ඇරත් අර 'විදුලි පඩිපෙල් දෙකකුත්' පහු කරන්න එපායැ. ඉතිං මං ඔය ගැටලුව ජනාධිපතිතුමත් එක්කත් කතා කරලා 'බත්තරමුල්ලෙ - අපේ ගමෙන්' කාමරයක් ඉල්ලුවා. එතකොට ඔය කියන මිනිස්සුන්ට බස් එකක ඇවිල්ලා බැහැලා, කාගෙන් හරි අහගෙනවත්, මගේ අමාත්‍යංශයට ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරන්න පුළුවන් වෙයි නෙ.
ඒක එක හේතුවක්.
අනෙක් හේතුව තමයි, ගොඩනැගිලි කුලිය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ අමාත්‍යංශයේ මාසික කුලිය රුපියල් මිලියන 8 ක්. ඉතිං මං හිතුවා, ඒකත් රජයට විශාල බරක් කියලා.
ඒක තව හේතුවක්.
තව ඉස්සරහට මේ 'විෂය' ඇතුළේ දාන්න හිතාගෙන ඉන්න සෙල්ලම් මොනව ද?
මං මෙහෙම කියන්නම්කො. අපේ රටේ පවුල් 'හැට පන් ලක්ෂයක්' ජීවත්වෙනවා. ඔවුන් ජීවත්වෙන ගෙවලුත්, ඒවයේ මිදුලුත් දිනපතා අතුගානවා. ඒ අය හැම දවසකම දෙතුන් වේලක් උයනවා. කනවා. බොනවා. ඒ වගේම ඒ ගෙවල් වලට නිරන්තරයෙන් ම ඇඳ, පුටු, මේස, අල්මාරි ගැනෙනවා. ඒ ගෙවල් වල දවල් රෑ කෑම වේලට 'පපඩම්' බැදෙනවා. හින්දු ගෙවල් නං ශිව රාත්‍රියට, නව රාත්‍රියට 'මැටි පහන්' පත්තු කෙරෙනවා. බෞද්ධ ගෙවල් හැම එකකම පාහේ උදේට හවසට බුදුන් උදෙසා පිත්තල පහනක් පත්තු කෙරෙනවා. හැම ගෙදරකම වගේ හඳුන්කූරු පත්තු කෙරෙනවා. මේ ගෙවල්වල කුස්සිවලට ඇතුල්පත්, අලුත් කුළු, හැඳි ඕනෑ වෙනවා.
මෙහෙම බැලුවම මගේ අමාත්‍යංශ විෂය පථයට ගැනෙන නිෂ්පාදනවලට හොඳ සහ අඛණ්ඩ වෙළඳපොළක් තියෙනවා. මම ඉස්සෙල්ලම මේ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන වැඩිදියුණු කරනවා. ඒ වගේම දැනට තියෙන සාම්ප්‍රදායික කර්මාන්ත නඟාසිටුවන ගමන්, ඒ අමුද්‍රව්‍ය වලින් ම කරන්න පුළුවන් නව්‍ය නිෂ්පාදනවලටත් කර්මාන්තකරුවන්ව යොමු කරනවා. 'මැටි' වලින් ම උදාහරණයක් ගත්තොත්, හුඟක් අයට හිතෙන්නෙ, මැටිවලින් කරන්නෙ වළං හදන එක කියලා. ඒත් එහෙමම නෑ. මැටිවලින් 'මිල අධික' ආභරණ හදන්නත් පුළුවන්. එහෙම හදන 'මැටි ආභරණ' වලට අපේ රටට එන සංචාරකයින්ගෙන් වගේ ම, තායිලන්තෙ වගේ රටවල් වලිනුත් විශාල ඉල්ලුමක් තියෙනවා. අපේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තය නුදුරු දවසක ම මේ 'ලෙවල් එකට' ගන්නත් අපට පුළුවන් වෙයි කියල මං හිතනවා.
අනික 'ඉකෝ ටුවරිසම්' වලට කැමති ආයෝජකයින්ට 'උසස් තත්වයේ මැටි ගෙවල්' හදල දෙන්න අපට පුළුවන් වුණොත්, ඒක වෙන ම මානයක්. අපේ පාරම්පරික 'වෙස් මුහුණු කලාවේ' නියැළෙන්නන්ගේ නිෂ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කරන සැලැස්මක් හැදුවොත්, ඒක තව 'ඉල්ලමක්'.
මම හිතාගෙන ඉන්නවා, ලීබඩු කර්මාන්තය වෙනුවෙන්, වැඩි වැඩියෙන් තේක්ක වවන්න. ඒ වගේම වේවැල් වතු වවන්නත් පුළුවන්. 'ඇලුමිනියම් සාස්පාන්' වල උයන කලාව ක්‍රම ක්‍රමයෙන් 'මැටි වළං වලින් උයන කලාවක්' දක්වා වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන්, ඉතා ඉක්මනින් ම 'ගෑස් ළිපේ තියල උයන්න පුළුවන් මැටි වළඳ' සුපර් මාකට් එකේ රාක්ක වලටත් ගේනවා. පොල්කටු හැන්දත්, ලේසියෙන් ම ඒ තැනට ගේන්න පුළුවන්. නොයෙකුත් ප්‍රශ්න හින්දා මේ වෙනකොටත් මේ කර්මාන්තය හැර ගිහින් ඉන්න අය ආපහු මේ කර්මාන්තවලට ම අද්දවාගෙන ඒ අයටත් හොඳ ආර්ථිකයක් හදන්න මහන්සි වෙනවා.
ආපහු අපි මැටි වළඳෙ උයාගෙන කන සංස්කෘතියකට මාරු වුණොත්, ඒක මේ රටේ ගෙයක් ගෙයක් ගානේ පැතිරෙමින් තියෙන පිළිකාව වගේ ලෙඩ රෝගවලට හොඳ විසඳුමක් වෙයි.
මේ අතරෙ ඔබව ප්‍රසිද්ධ චරිතයක් කරපු 'මිරිස්කුඩු සිද්ධියත්' අමතක කරන්න ම බැරි සිද්ධියක්. ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඒක එක්තරා අතීත සිද්ධියක්. ඒවා එහෙම වුණේ කොහොමද, එහෙම කරන්න හේතු මොනවද වගේ ඒවා දැන් කතා කරලා වැඩක් නෑ. අනික මම දේවල් ගැන පසුතැවෙන මිනිහෙකුත් නෙවෙයි. තව අවුරුද්දකින්, දෙකකින්, පහකින් මේ රටේ මිනිස්සු 'ප්‍රසන්න රණවීර' ගැන කියන්නෙ මොනවද කියන එක ගැන විතරයි, මම දැන් වද වෙන්නෙ.
සමහර මිනිස්සු කියනවා, ඔබ 'ඉගෙනගත්තෙ නැති මිනිහෙක්' කියලා. ඒ කතාවෙ ඇත්තක් තියෙනව ද?
ඒ කතාව සම්පූර්ණයෙන් ම බොරු. මගේ ගම් පළාත ගම්පහ හුණුපිටිය. එහේ මිනිස්සු දන්නවා මං ගැන. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවෙ හුණුපිටිය කණිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සෙ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තෙ හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයෙන්. උසස් පෙළ හැදෑරුවෙ වාණිජ අංශයෙන්, කැලණිය ධර්මාලෝක විද්‍යාලේ. ඉන්පස්සේ මම දේශපාලනයට එන්න කලින් පෞද්ගලික සමාගමක ඉහළ රැකියාවකුත් කළා.
දේශපාලනය තුළ අවසාන 'තනතුරු ඉලක්කය' මොකක් ද?
මං ගැන දන්න මිනිස්සු හොඳට දන්නවා, මං කවුද කියන එක. මං බොහොම පුංචි තැනකින් ආපු පුංචි මිනිහෙක්. මගේ තාත්තා කම්කරුවෙක්. අම්මා ගෘහණියක්. අපි බොහොම අමාරුවෙන් තමයි, ඉගෙන කියාගත්තෙත්. මහ පවුල් වල මිනිස්සුන්ට සින්නක්කර වෙච්චි දේශපාලනේට අත පෙව්වෙත්, පුංචි මිනිස්සුන්ගෙ දුක දන්න මිනිස්සු දේශපාලනේට එන්න ම ඕනි කියල තදින්ම විශ්වාස කරපු හින්දා. කොහොම හරි ඒ විශ්වාසය උඩ මම දැන් මේ තැනට ඇවිත් තියෙනවා. හැමෝම දන්නවා, මං පටන් ගත්තෙ ප්‍රාදේශීය සභාවෙන්. ගම්පහ මිනිස්සු තමයි 'රාජ්‍ය ඇමතිකමක්' දක්වා මාව ඔසවල තියෙන්නෙත්. ඒ මිනිස්සුන්ට මාව තවදුරටත් ඕනෙ නම්, ඊළඟ වතාවක දි මට කැබිනට් ඇමතිකමකුත් ලැබෙයි. මට නං ඒ ඇති.
මේ තනතුරු ඇතත්, නැතත් මට පුළුවන් කාලයක්, මේ රටටත් මේ රටේ මිනිස්සුන්ටත් වැඩ කරනවා.
සුරේඛා සමරසේන