පිනි පලස

මට වෙන රස්සා තේරෙන්නේ නැහැ

මට වෙන රස්සා තේරෙන්නේ නැහැ

ප්‍රතිභාපූර්ණ රූපණවේදීන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවින්ද්‍ර කියන්නේ. බොහොම සීරු මාරුවට චරිත තෝරා බේරාගෙන ඒ චරිත ජීවමාන කරන අපූර්වත්වයේ තියෙන්නා වූ විශිෂ්ටත්වය නිසාම මේ වනවිටත් සම්මාන උළෙල රැසකදීම හොඳම නළුවා ලෙසින් සම්මානනීය වන්නට ඔහු සැබවින්ම දක්ෂ වුණා. පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මානයට පාත්‍ර වූයේද ආනන්ද අබේනායක මහතාගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වූ “වීරයා ගෙදර ඇවිත්” හි රොෂාන් රවින්ද්‍ර නිරූපණය කළ චාමර නම් දෑස් අහිමි වූ යුද විරුවාගේ චරිතයයි.

ඒ නිසාම ඒ චරිතය තුළ ජීවත් වූ කාලය ගැන, එහි අත්දැකීම් ගැන යළි මතක ආවර්ජනය කරන්නට අපි රොෂාන් රවින්ද්‍රට කතා කළා.

අපි මතක් කළොත් “වීරයා ගෙදර ඇවිත්” නාට්‍ය රූ ගැන්වෙන කාලය ගැන

ඔය නාට්‍ය නිර්මාණයට ආනන්ද අබේනායක මහතා මට කතා කරන්නේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රූ ගැන්වීම් සඳහා ජර්මනියට ගිහින් ඉන්න අවස්ථාවේ. මට එතුමා එදා කිව්වේ ඔයා අනිවාර්යෙන්ම කළ යුතු චරිතයක් නිසා ලංකාවට ආවට පස්සේ කතා අපි කතා කරමු කියලා. ඊට පස්සේ මම තණමල්විල කොල්ලෙක් හි ජර්මනියේ රූ ගැන්වීම් ඉවර කරලා ලංකාවට ඇවිත් ලංකාවේ රූප ගත කරන්න කලින් “වීරයා ගෙදර ඇවිත්” හි පිටපත භාර ගෙන එහි රූප ගත කිරීම් භාගයක් ඉවර කරනවා. විශේෂත්වය තමා එකම කාල සීමාවක දින බෙදාගෙන කරපු නිර්මාණ දෙකක්.

පිටපත කියෙව්වම මොකද හිතුණේ

ඒ පිටපත තුළ දැනෙන චරිතයක් තිබ්බා. වෙනත් කවර ටෙලි නාට්‍යකට වඩා චරිතයකට අවශ්‍ය කරන සියලු ගුණාංග ඒ පිටපත තුළ තිබුණා. මම අදටත් විශ්වාස කරනවා මම මෙතෙක් කරපු චරිත අතරේ මට ලැබුණු සුවිශේෂි කඩඉමක් කියලා.

ඒ චරිතය ගැන අපි මතක් කළොත්

අත්දැකීම කියන්නේ මම ඒ චරිතය දකින්නේ රංගන ශිල්පියෙක්ට ලැබෙන අභියෝගයක් විදියට. ඒ වගේම තමා මට ඒ අභියෝගයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වුණා. ඒකට හේතු වුණේ මට තිබුණු අත්දැකීම් සහ මම රංගනය ගැන විශ්වාස කරපු විදිය සහ දැනුම.

එකම කාලයේ චරිතයක් වෙනුවෙන් කැපවීම සහ පළමු ටෙලි අධ්‍යක්ෂණය කියන භූමිකා දෙක වෙනුවෙන් කොහොම ද වෙහෙසුනේ
එය මට අසීරු වුණේ නැහැ. චරිතයක් වෙනුවෙන් හෝ ඕනෙම කලා නිර්මාණයක් වෙනුවෙන් වෙහෙසීම හෝ මහන්සිවීම මට පීඩාකාරී දෙයක් නෙවෙයි. අපේ දක්ෂතා වැඩිදියුණු කරගන්න අපි කැමතියි. නමුත් එවැනි අවස්ථා අපිට හම්බෙන්නේ නැති එක තමා ප්‍රශ්නෙ. මහන්සි වෙන්නේ කැපවෙන්නේ බොහොම කැමැත්තෙන්. රංගන ශිල්පියෙක් විදියට සහ කලාව ඇතුලේ මම මොන වගේ භූමිකාවක් ද කරලා ඉවර කරලා යන්න පුළුවන් වෙන්නේ කියලා මම හිතන කෙනෙක්. ඒ වෙනුවෙන් මට ලැබෙන අවස්ථා මහන්සියක් හරි අපහසුතාවක් හරි කියලා මම හිතන්නේ නැහැ. මට වැඩ දෙකක් නෙවෙයි තුනක් හතරක් හරි කළමනාකරණය කරගෙන කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

අමතක නොවන අත්දැකීම් මොනවද?

අමතක නොවන අත්දැකීම තමා නාට්‍යය රූපගත කිරීම් ඉවර කරලත් සෑහෙන කාලයක් ගියා මගේ සුපුරුදු ජීවන රටාවට එන්න. මගේ සමහර යාළුවෝ පවා කිව්වා උඹ නිකම් ඉන්නකොටත් “වීරයා ගෙදර ඇවිත්” හි චාමර වගේ කියලා.

රොෂාන් බොහොම සීරු මාරුවට චරිත තෝරා ගන්නේ, එදා වගේම අදටත් එකසේ ප්‍රේක්ෂක සිත් තුළ ඉන්න චරිතයක්

සිනමා ක්ෂේත්‍රයේ ඉන්න මිනිසුන්ට තියෙනවා මෙහෙම අදහසක්. අපෝ අපි ටෙලි නාට්‍යය කරන්නේ නැහැ අපි සිනමාව විතරයි කියලා ලොකුවට හිතනවා. හැබැයි සමහර චිත්‍රපටවලට වඩා හොඳ ටෙලි නිර්මාණ ලංකාවේ කෙරෙනවා. ඒක නිසා මම විශ්වාස කරන්නේ රංගන ශිල්පියෙක් මම හොඳයි කියලා කිව්වට වැඩක් නැහැ. ඒක ප්‍රේක්ෂකයා තුළින් එන්න ඕනේ. මට කියන්න පුළුවන් මම ඒ දේ සියයට සීයක් හොඳින් කළා කියලා. හැබැයි එහෙම අපි අපි ගැනම කියලා වැඩක් නැහැ. අවසන් ප්‍රතිපලය එන්න ඕනේ ජනතාව තුළිින්. ඉතින් ඒ දේ එන්නේ නැහැ.

හොඳම නළුවා සම්මානය අවස්ථා කිහිපයකදීම ලැබිලා තියෙනවා. නැවතත් ඒ හොඳම නළුවා සම්මානයට පාත්‍ර වෙද්දී මොකද හිතුණේ
මුකුත් විශේෂයෙන් හිතුණේ නැහැ. ඕක ගෙදර ගිහින් තියලා සුපුරුදු විදියටම ඉන්න වෙනවනේ වගේ හැඟීමක් ආවේ. ඉස්සර තිබ්බ වටිනාකම් දැන් සම්මාන උළෙලවල්වල නැහැ. සම්මාන උළෙලවල්වලට දොස් කියලා බැණලා වැඩක් නැහැ. මොකද නිර්මාණාත්මක හොඳ නිර්මාණ බිහිනොවන නිසා එදා වගේ තරගකාරිත්වයක් අද නැහැ. ඒක නිසා මම විශ්වාස කරන්නේ මේක මීට වඩා වෙනස් විය යුතුයි කියලා. අපිට ඕනේ කරන නිර්මාණ කරන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ ගැන හිතලා බලලා වැඩ කරන කවුරුහරි කෙනෙක් ආවොත් අපිට හදාගන්න බැරිකමක් නැහැ.

තණමල්විල කොල්ලෙක්ගෙන් පසු අලුත් නිර්මාණයකට දැන් සූදානම් ද?

අලුත් නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. ඒ සඳහා මේ දවස්වල නිෂ්පාදකවරයෙක් හොයනවා. නිෂ්පාදකවරයෙක් හම්බුණ ගමන්ම මම අලුත් ටෙලි නිර්මාණය පටන් ගන්නවා.

මොන වගේ නිර්මාණයක් ද කියලා කියන්න පුළුවන් ද?

තණමල්විල කොල්ලෙක් එහෙමම තියලා එතැනින් ඉස්සරහට යන නිර්මාණයක් ගැන මම හිතලා තියෙන්නේ. ඒ නිර්මාණයත් තණමල්විල කොල්ලෙක් වගේම මිනිසුන්ට නැවුම් අත්දැකීමක් වෙයි. කොහොමත් මම උත්සහ කරනවා රටේ යම් කතාබහක් ඇති කරන විශේෂ වූ නාට්‍යයක් කරන්න.

දැන් වෙද්දී ගැමි පරිසරය මුසුවූ නාට්‍යය වටා ප්‍රේක්ෂයින් එකතුවෙන ප්‍රවණතාවක් තියෙනවා.

මම දකින්නේ ෆැන්ටසිද, ගමද, නගරයද කියන එක නෙවෙයි එතන තියෙන්නේ. මිනිසුන්ට නාට්‍යය ඇතුලේ බොරු කරනවා කියලා තේරෙන්නේ නැති වුණාම, ඒ නාට්‍යය ජීවිතයට බලපෑමක් ඇති කරනවා කියලා දැනෙනවා නම් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයා භාර ගන්නවා. අපේ ගොඩක් අයට නොතේරෙන්නේ නිර්මාණයක් ඇතුලේ කොහොමද මිනිස්සුන්ට බොරු නොකරන නිර්මාණයක් ගේන්නේ කියන එක. මිනිසුන්ගේ රසවින්දනය කොතනද තියෙන්නේ කියලා තේරුම් අරගෙන එතැනින් එහාට රසවින්දනය වර්ධනය වන නිර්මාණ කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි කරන නිර්මාණය පිළිබඳ වගකීම භාරගන්න පුළුවන් වෙන්න ඕනේ.

සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නත් සිහිනයක් තිබුණා නේද?

අනිවාර්යයෙන්ම තවම ඒ සිහිනය නැති කරගෙන නැහැ. මට තියෙන අවුලත් ඕකම තමා. මට වෙන රස්සාවක් තේරෙන්නේ නැහැනේ. එහෙම වුණා නම් මේ වෙද්දී වෙන රස්සාවකට ගිහිල්ලා. දැන් ඉතින් කලාව රංගනය පමණක් දන්න නිසා මේ තුළම ඉන්න එක තමා කරන්නේ.
සිනමා සිහිනය දුර යන්නෙත් නිෂ්පාදකවරයෙක් නොමැති නිසාද?

පැහැදිලිවම. මා සතුව නිර්මාණ කිහිපයක් තියෙනවා. මම යම් සැලසුමකට අනුව වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ ගමන යන්න සුදුසු නිෂ්පාදකවරයෙක් හමුවුණොත් ඒ නිර්මාණ මගේ ප්‍රේක්ෂකයන්ට මම අරගෙන එනවා.

රංගනය පැත්තෙන් මේ දිනවල කොහොමද දායකත්වය

රූපගත කිරීම් කිසිවකට මම සහභාගි වෙලා නැහැ. ආරාධනා කිහිපයක් ආවත් මම මගේ දෙවැනි නිර්මාණය වෙනුවෙන් වැඩි කාලයක් යොදවපු නිසා භාර ගන්න බැරි වුණා. බලමු ඉස්සරහට හොඳ දෙයක් කරන්න ඕනේ.

නිතර රූප මාධ්‍ය තුළ දකින්න නොලැබුණත් සමාජ මාධ්‍ය තුළ ඔබ ඉහළ ප්‍රතිචාර ලබනවා.

මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තුළ තියෙන්නේ මගේ අවංක වීම සහ මගේ මහන්සිය. ඒ නිසා මට හිතට එකඟව සමරන්න පුළුවන්. ඒක හරි වටිනවා. මේ මොහොතේ මා වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මට සුබපැතුම් එකතු කරපු හැමෝටම මගේ ආදර ගෞරවය හිමිවෙනවා.

ලංකාවේ කලාකරුවෙක් විදියට පවතින්න බැරිද?

මම දකින්නේ පවතින්න පුළුවන් මේක කර්මාන්තයක් විදියට දියුණු වුණා නම්, ලාභ උපයන කර්මාන්තයක් විදියට පත්වෙනකම් පවතින්න බැරි වෙනවා. ඒ නිසා තමා වෙනයම් වෘත්තීන්වල නියැළෙන ගමන් විනෝදාංශයක් විදියට බොහෝ දෙනා කලාව කරන්නේ. කලාව කියන්නේ විනෝදාංශයක් නෙවෙයි වෘත්තියක්. මම හැමදාම කතා කරන්නේ මේක කර්මාන්තයක් විදියට දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන. මම මේ ළඟදී මන්ත්‍රීවරයෙක් එක්ක කතා කළා. ඔහු දන්නේ නැහැ කලාකරුවා රැකීම රජය සතු වගකීමක් කියන එක. ඒ දේ තේරුම්ගත් නායකයෙක් ආපු දවසට මේ ක්ෂේත්‍රය බලන් ඉන්නකොට දියුණු කරන්න පුළුවන්. ඒ නිසා අපි තාමත් බලන් ඉන්නවා දියසෙන් කුමාරයා එනකම්.

කැමතිද කවදා හරි දරුවන් කලාවට සම්බන්ධ වෙනවා දකින්න

මගේ දරුවෙක් කලාව නියෝජනය කරනවා දකින්න ලැබෙනවා කියන්නේ මට ඉතාම වැදගත් දෙයක්. හැබැයි කර්මාන්තයක් විදියට දියණු නොවුණහොත් දරුවට වෙන්නෙත් මට වෙච්චි දේ. ඒ නිසා මගෙන් පසු පරම්පරාව ගැන අපේ දරුවන්ගේ පරම්පරාව ගැන හිතලා තමා මම කියන්නේ මේ දේ කර්මාන්තයක් විදියට දියුණු විය යුතුයි කියලා.

අනුෂා රණසිංහ