brand logo
logo

බොල්ගොඩ බොල්වෙයි

04 January 2021

වන ගහනයෙන් වැසී ගත් බොල්ගොඩ කොමළියගේ රූ සපුව වඩාත් ඔපවත් කළෝ, කදුරු, වල්බෙලි, රුක්අත්තන ආදී වෘක්‍ෂයෝ ය. අතීතයේදී විශාල පිටාර තැන්නකට හිමිකම් කී ඇය අදටත් බස්නාහිර පළාතේ ඇති එකම හා විශාලතම ස්වාභාවික ජලාශයයි. ඒ අවට ප්‍රදේශයේ ගංවතුර පාලනයට ද ඇය ඉටු කළේ නොමඳ සේවාවකි. එහෙත් දිනෙන් දින ඇගේ රූ සපුව කෙමෙන් වියැකී යන්නේ, ජලාශයේ දෙපස තැනෙන මන්දිර නිසා ය. වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන මේ ගැටලුව අද වෙද්දී වඩාත් උග්‍ර වී ඇත්තේ, විශේෂයෙන් පානදුර අවට බොල්ගොඩ ජලාශයේ ඉවුරු ගොඩකරමින් යන අනවසර පදිංචිකරුවන්ගෙනි. මේ නිසා ම දිනෙන් දින ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය විනාශ වෙමින් යන අතර ඉකුත් දිනෙක පළ වූ ප්‍රවෘත්තියකින් කියැවුණේ, මේ නිසා මොරටුව, පානදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිත ධීවර ප්‍රජාවගේ රැකියාවන්ටද දැඩි අවදානමක් මතුව ඇති බවයි. වේරැස් ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ, බොල්ගොඩ දකුණු වැව, හා පානදුර ගඟ යන පංචාකාර ජල පද්ධතීන්ගෙන් සැදුම්ලත් බොල්ගොඩ ජලාශය, පානදුර මෝය කටේ සිට වේරැස් ගඟේ දකුණු කෙළවර තෙක් හෙක්ටයාර එක්දහස් දෙසිය හතළිස් පහක් වූ මහා ජලස්කන්ධයකින් සමන්විත ය. කොළඹින්, රත්මලාන, මොරටුව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, කලුතරින් පානදුර, බණ්ඩාරගම, හා කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, බොල්ගොඩ ජලාශයේ මායිම් ය. ජලාශය අවට රක්‍ෂිතය ඉතා සරු ජෛව විවිධත්වයකට හිමිකම් කියන්නේ මත්ස්‍ය විශේෂ හතළිස් අටක්, පක්‍ෂි විශේෂ සියයක් පමණ, උභයජීවි විශේෂ දහඅටක්, උරග විශේෂ හතළිහක්, සහ ක්‍ෂීරපායී විශේෂ තිහකට අධික සංඛ්‍යාවක් ද සමගිනි. ඉන් බොහොමයක් දෙනා අපට ආවේණිකය. එක්දහස් නවසිය හැටේ දශකය අග භාගය වන විටත් වන බූටැවෙන් ගැවසී ගත් බොල්ගොඩ පිටාර තැන්නට කණකොකා හඬන්නට පටන් ගත්තේ අසූව දශකයේ මැද භාගයේදී ය. ඒ, බොල්ගොඩ ගඟබඩ ගම්මානය පර්චස් ගණනින් කැබලි වී විකිණෙන්නට පටන් ගැනීමත් සමඟිනි. ඒවා මිලදී ගත්තෝ රටපතළ ධන කුවේරයන් ය. දේශපාලන බලවතුන් ය. ඔවුහු එහි සිය මන්දිර තැනුවෝ බොල්ගොඩ වනසමිනි. මේ අලුත් අසල්වාසීන්ගෙන් බොල්ගොඩට ආ ගැටලුවල නිමක් නොවීය. පස් පුරවා ගත් බරවාහන නිතර දෙවේලේ දැල්තර, දම්පේ අවට ගැවසෙන්නට විය. අවට පදිංචිකරුවෝ ඇල්ල රක්‍ෂිතය දිනෙන් දින තමන් සතු කරගන්නට මාන බැලූහ. අදින් වසර එකොළහකට පමණ ඉහතදී එනම්, ඉකුත් දෙදහස් නවයේ දෙසැම්බර් තිස්වැනිදා 1980 අංක 47 දරන පාරිසරික පනතේ විධිවිධානවලට අනුව 1634/23 දරන ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද්දේ ද මේ ගැටලුවලට පිළියම් සොයන්නට ය. පානදුර මෝය කටේ සිට වේරැස් ගඟ සීමාව තෙක් පළාත ආවරණය වන පරිදි බොල්ගොඩ ජලාශය පෝෂණය වන ගංගා පහම ආවරණය කරමින් “බොල්ගොඩ පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශය” නම් කෙරෙන්නේ මේ ගැසට් පත්‍රයේ විධිවිධානවලට අනුව යි. ජලාශ ඉවුරේ සිට මීටර හැටක් ගොඩබිම දෙසට වන ප්‍රදේශය මෙකී පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයට අයත් බව ගැසට් පත්‍රයෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇතත් අද වෙද්දී රක්‍ෂිතය කොයි ඉසව්වේදැයි සොයා ගැන්මටත් නොහැකි තරම්ය. ඒ, ගැසට් විධිවිධාන පැත්තක දමා, ටිකෙන් ටික ජලාශය දෙපස ඉවුරු තමන් සන්තක කරගැන්මට අනවසර පදිංචිකරුවෝ මාන බලන නිසාය. “මේ අවට පදිංචිවෙලා ඉන්න මිනිස්සුයි, අවට තියෙන ලී මෝල්වලිනුයි කරන්නෙ ඉස්සෙල්ලම කුණු ටික ඉවුරු හරියට දාන එක. ඊට පස්සෙ එතන පිරුණාම ටික ටික ගොඩකරගෙන තමන්ගෙ බිම ලොකු කරගන්නවා. ජලාශය දිනෙන් දින පටුවෙනවා කියල කවුරුවත් හිතන්නෙ නැහැ.” එහෙම කියන්නේ බොල්ගොඩ සුරැකුම් ග්‍රාමීය සංවිධානයේ ලේකම් අසංක ප්‍රනාන්දුය. ඔහු පෙන්වා දෙන පරිදි, වගකීමකින් තොරව රක්‍ෂිත ඉඩම් අල්ලා ගැනීමත්, අවට හෝටල් හා කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය ජලාශයට බැහැර කිරීමත් නිසා අද වෙද්දී ඒ ආශ්‍රිත ධීවර කර්මාන්තයට ද එල්ල වී ඇත්තේ මරු පහරකි. බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව ධීවරයෝ හාරසියයකට අධික පිරිසක් සිය ජීවිකාව කරගෙන යති. එහෙත් දිනෙන් දින ජලාශය දූෂණය වන ආකාරයෙන් කෙරෙන කටයුතු නිසා මත්ස්‍යයන් බෝවීම ද සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. “අනිත් එක තමයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා විශාල යාත්‍රා යොදවල තියෙනවා මේ ජලාශයට. වෝටර් ජෙට් යාත්‍රා හැමතැනම යනවා. මේවා මත්ස්‍ය බෝවීමට ලොකු ගැටලුවක්. ලොකු යාත්‍රා ප්‍රවාහනය කරනකොට ධීවරයන්ට දැලක් එලා ගන්නවත් තැනක් නැති වෙනවා. මේ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හොඳයි තමයි. නමුත් අපි කියන්නෙ ඒ සඳහා යම් කලාපයක්, කාලසීමාවක් වෙන් කිරීම වඩාත් උචිත බවයි.” අනෙක් අතට ඔහු පෙන්වා දෙන්නේ විශාල යාත්‍රාවල විවිධ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් වැනි අපචාරී ක්‍රියාවන් ද හොර රහසේ සිදුවන බවයි. එමෙන් ම මේ ආශ්‍රිතව ඉදිකර තිබෙන හෝටල්වල විවිධ ඉදිකිරීම් සඳහා දිනෙන් දින කඩොලාන ශාක කපා දමන්නට කටයුතු කරමින් සිටින බව ද අසංක ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ය. “ඒ ගැන වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට කියල බොහොම අමාරුවෙන් එක වතාවක් ඒ වැඩේ නැවැත්තුවා. දැන් එයාල ඒ වෙනුවට අලුත් සෙල්ලමක් පටන් අරන්. දැන් කරන්නෙ කඩොලාන කපන්නෙ නැහැ. ඒ වෙනුවට කඩොලාන මැරිල යන්න කෘමිනාශක දියරයක් ඉහිනවා එයාලව අහුවෙන්නෙ නැති වෙන්න. කඩොලාන ශාකය ද මත්ස්‍යයන්ගේ බෝවීමට විශාල වශයෙන් ඉවහල් වේ. අනෙක් අතට අතීතයේ බහුතරයක් දෙනා බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමෙන් ජීවිකාව කරගෙන ගියද අද එය තවදුරටත් නැතිවෙමින් යන්නේ ජලාශයට කිඹුලන් බෝවීමට පටන් ගෙන ඇති නිසා ය. ධීවර ජනතාව පෙන්වා දෙන්නේ අවට ඇති මස් අලෙවිසල්වලින් ඉවත් කරන මස් කැබලි ජලාශයට දැමීම නිසා ඒවා කන්නට කිඹුලන් පැමිණෙන බවයි. අපූරු ජෛව විවිධත්වයකින් හෙබි බොල්ගොඩ ජලාශයේ අද වෙද්දී “නයිෆ් ෆිෂ්” (මන්නයා) නමැති අංක එකේ ආක්‍රමණික මාළුවා බෝ වී ඇත්තේ ද මිනිසුන්ගේ අදූරදර්ශී ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසිනි. නිවෙස්වල ඇති මාළු ටැංකිවලින් ගඟට දැමීම නිසා මේ ආක්‍රමණික මත්සයා මේ වෙද්දී සීග්‍රයෙන් ජලාශයේ හැමතැනම ව්‍යාප්ත වෙමින් හිඳින බව ධීවරයෝ පවසති. ඒ මදිවාට අවට තියෙන සියලු හෝටල් සහ අනෙකුත් ආයතන තමන්ගේ අපද්‍රව්‍ය සියල්ල හරවා ඇත්තේ බොල්ගොඩ ජලාශයටයි. සමහර හෝටල්වල පිහිනුම් තටාක ඉදිකර ඇත්තේ ගංගාවේ මැද ඉසව්ව ද හසුවෙන පරිද්දෙනි. ඔවුන් මුලින් ම කරන්නේ සිය තොටුපළවල් ගඟ මැද සිටුවීමයි. පසුව ඒ යටින් හෙමිහිට පස් පුරවමින් ජලාශය ගොඩකර ගනිති. කර්මාන්තශාලාවලින් පිටකරන තෙල් සියල්ල ගඟට හරවා ඇති නිසා ජලාශ ජීවීන්ට ද ඉන් එල්ල වී ඇති තර්ජනය සුළුපටු නොවේ. අසංක ප්‍රනාන්දු කීවේ මේ ළඟදී දිනයක මහ රෑ ගංගාව මැදට තීන්ත ගොන්නක් මුදා හැරි බවයි. ඊට ප්‍රදේශයේ නම ගිය දේශපාලනඥයෙකු ද සම්බන්ධ බව කියැවේ. ඒ අවට ලී මෝල්වල ලී කුඩු ද ගඟට බැහැර කිරීම නිසා වේගයෙන් ගඟ ගොඩවෙමින් පවතී. අනෙක් බරපතළම කාරණය වෙන්නේ ඒ අවට පදිංචිවුන් කිසිවකුගේත් නිවෙසේ වැසිකිළි වළක් නැතිකමය. වැසිකිළිවල බට ඍජුව සම්බන්ධ කර ඇත්තේ ගඟටයි. ඒ නිසා ජලමට්ටම අඩු කාලයට ඒ හරියට අඩිය තියන්නට බැරි තරම් දුගඳ ය. මේ විනාශය උපේක්‍ෂාවෙන් දරා හිඳ බැරිම තැන ගැමියෝ ඊට එරෙහිව සන්නද්ධ වූයේ, “දැල්තර පාරිසරිකයෝ” නමිනි. ඊට නායකත්වය දුන් එහි වත්මන් සභාපති නිලුපුල් කහපොල ආරච්චි පරිසරවේදියා මේ සටන මුලින් ම ආරම්භ කළේ, එක්දහස් නවසිය අනූහතරේදී ය. ඒ, මේ විනාශය ගැන මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් ලියමිනි. එහි කූටප්‍රාප්තිය ඉකුත් දෙදහස් දහය වසරයි. ඒ, මේ අනවසර ගොඩකිරීම්, රජයේ ඉඩම් අත්පත්කර ගැනීම්වලට එරෙහිව දැල්තර පාරිසරික සංවිධානය අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුකරයයි. පහත්බිම් ගොඩ කිරීමේ මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ ඒ නඩුවේ තීන්දුව ඊට වසර හතරහමාරකට පසුව එනම් ඉකුත් 2014 මැයි මාසයේදී ප්‍රකාශයට පත් විය. ඒ, බොල්ගොඩ නදිය පෙර පැවැති තත්ත්වයෙන් යළි තහවුරු කරන ලෙස නඩුවේ වගඋත්තරකරුවන්ට නියෝග කරමිනි. “නඩු තීන්දු‌වේ හැටියට සියලු කටයුතු සිදුවෙමින් තිබුණු අන්තිම අවස්ථාවේ පිට පාර්ශ්වයන් දෙකක් එකතු වෙලා මේ මැනුම් වැරදියි කියල වෙනම නඩුවක් ගොනු කළා. ඒ නිසා අර නඩු තීන්දුව උඩු යටිකුරු වුණා. ඒත් අපි සටන අතහැරියෙ නැහැ. නඩු තීන්දුව ක්‍රියාත්මක නොවීමට එරෙහිව අපි නැවත නඩුවක් ගොනු කරලයි තියෙන්නෙ” නිලුපුල් කහපොළ ආරච්චි මහතා පවසන්නේ ය. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වන නඩුව යළි මේ මාසයේ එකොළොස්වැනිදා විභාගයට ගැනීමට නියමිත බවයි. බොල්ගොඩ ජලාශය යනු තවත් එක් ස්වාභාවික ජලාශයක් පමණක් නොවේ. කොළඹ හා කළුතර වැහි වතුර උරා ගන්නට හැකි හොඳම හා එකම තැන මේ ජලාශයයි. ඒ සතුව වන විශාල වගුරු බිම නිසා විශාල වැහි දියක් රඳවා ගන්නට මේ ජලාශයට හැකිය. එමගින් කොළඹ කළුතර ආශ්‍රිත ප්‍රදේශයන්හි ගංවතුර පාලනයට මෙන් ම වැහි නැති කාලයට ජල අවශ්‍යතාව සපුරන්නට ද මහඟු සේවාවක් සිදු වේ. අනෙක් අතට ධීවර හා සංචාරක කර්මාන්තය අතින් මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය අතින් ද බොල්ගොඩ ජලාශය මහා ධන ඉල්ලමකි. ලන්දේසි පාලන යුගයේ සිටම බොල්ගොඩ ජලාශය හරහා ප්‍රවාහන කටයුතු සිදු වූ බවට සාක්‍ෂි ඕනෑ තරම්ය. ඒ කාලයේ භාණ්ඩ සහ කෝට්ටේ සිට රත්නපුරය දක්වා මගී ප්‍රවාහන කටයුතු සඳහා මේ ජලාශය භාවිත කර ඇති බවට සාක්‍ෂි හමුවේ. විශේෂයෙන් ම සිංහරාජය, දොඹගස් කන්ද, මරේ කන්ද, වැනි කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කයන්ට අයත් වනාන්තරවලින් කපා ගන්නා දැව කඳන් මොරටුවට ගෙන ආයේ කළු ගඟ හා බොල්ගොඩ ගඟ ඔස්සේ ය. කළු ගඟ ඔස්සේ පැමිණ කලුතරට නුදුරු ඇළමෝදරින් හැරී බොල්ගොඩ ජලාශය දිගේ මොරටුවට යන ලී කොටන්වලින් සැදි පහුරු මීට අවුරුදු තිහකට හතළිහකට ඉහතදීත් දැක ගත හැකි විය. එබැවින් සොඳුරු පාරිසරික දායාදයක් වූ බොල්ගොඩ කොමළිය අද අකාලයේ මියෙන්නට සැරහෙන්නේ අපේ ම නොහික්මුණු ක්‍රියාකලාපයන් නිසා ය. මේ බිම සුරකින්නට හුදු නීති පද්ධතියෙන් එහාට ගිය පුළුල් සමාජ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බැව් අප කියන්නේ ඒ නිසාය. ගයාත්‍රි ගීගනආරච්චි
 

More News..