පිනි පලස

බැරල්වලට තට්ටු දදා අලුත් නාද හදන නාද්රෝ

ලතින් අප්‍රිකානු බෙර වාදනය ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි කණ්ඩායම ලෙස නාද්රෝ හඳුන්වා දිය හැකියි. මේ අපූරු බෙර වාදනයෙන් රසිකයන්ට පිනවන නාද්රෝ සමග මොහොතක් කතා කළා.

නාද්රෝ කණ්ඩායමේ ආරම්භයෙන්ම අපි මේ කතාව පටන්ගනිමු.

අපි නාද්රෝ කණ්ඩායම පටන්ගත්තේ 2009 වසරේ පෙබරවාරිවල. මම ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. ඒකේ Saga ප්‍රසංගයට ඉදිරිපත් වුණාම තමයි මට හිතුණේ තාල වාද්‍ය ඉගෙනගන්න ඕන කියලා. කාලෙකට පස්සේ මම විදෙස්ගත වෙලා අප්‍රිකානු, ලතින් වගේ තාල වාදන ශෛලියන් ඉගෙන ගත්තා. මට හිතුණා ඒ වාදන ශෛලිය ලංකාවටත් හඳුන්වලා දෙන්න ඕන කියලා. එහෙම තමයි නාද්රෝ බිහි වුණේ.

ඔබගේ කණ්ඩායමට සාමාජිකයන්⁣ තෝරගත්තෙ කොහොමද?

ඒ හැමෝම මගේ යාළුවෝ. රාජකීය විද්‍යාලයේ පිරිසක් සහ දේශීය ⁣වාදන ශිල්පී පියසාර ශිල්පාධිපතිගේ ගෝලයන් තමයි නාද්රෝ කණ්ඩායමේ ඉන්නේ. ප්‍රධාන සාමාජිකයෝ හයයි. පරණ සමහර සාමාජිකයෝ විදේශගත වුණා. ඊට අමතරව තවත් හයක් ඉන්නවා. ප්‍රධාන හය දෙනා තමයි ගයාන් මනෝකුමාර, රංග නුවන්ත, නූපති නිලම්බර, චතුරංග චිත්‍රජිත්, ලහිරු ප්‍රනාන්දු, නුවන් ලියනගේ සහ මම.

මුලින්ම දක්ෂතා එළිදක්වපු මොහොත මතකද?

ඔව්. මුලින්ම ජාතික රූපවාහිනියේ විසි පස්වැනි සංවත්සරය දවසෙ තමයි අපි අපේ දක්ෂතාව පෙන්නුවේ.

ඒකට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

හිතාගන්න බැරි තරමට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් එදා අපිට ලැබුණා. හැමෝම පුදුම වුණා ඇත්තටම අපේ ඉදිරිපත් කිරීම ගැන. මොකද ඊට කලින් ලංකාවේ මෙහෙම අප්‍රිකානු – ලතින් බෙර වාදනයක් කවුරුත් දැකලා තිබුණේ නෑ.

නාද්රෝ කියන්නේ ජාත්‍යන්තරයෙන් පවා ඇගයීම් ලැබූ බෙර වාද්‍ය කණඩායමක්?

2008 කියන්නේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ වසරෙදි අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුවා Live concert එකක්. එදා අපි ලංකාවේ සංගීත ඉතිහාසයේ පළමු වතාවට සම්පූර්ණ ප්‍රසංගයක් බෙර වාදනවලින් පමණක් ඉදිරිපත් කළා. ඒ ප්‍රසංගයට ඇමරිකාවේ ගිටාර් වාදන ශිල්පියෙක් වන රෝනී බෙනිසෙක්, ඉන්දීය බටනළා වාදන ශිල්පී බ්‍රික්‍රම්ජිත් සිං වගේ විවිධ රටවල්වල කලාකරුවෝ පිරිසක් සහභාගී වුණා. ඒ ප්‍රසංගයත් එක්ක මට ජාත්‍යන්තරයේ සම්බන්ධතා හැදුණා.

කණඩායමක් විදිහට වැඩ කරගෙන යද්දි මතගැටුම් එහෙම ඇතිවෙන්නෙ නැද්ද?

නැහැ. හැමෝම හරිම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. මම කණ්ඩායමේ නායකයා කියලා කොයිම වෙලාවකවත් මගේ තීරණේ තමයි කණ්ඩායම් තීරණය වෙන්න ඕන කියන තැන මම නැහැ. නාද්රෝ කියන්නේ කණ්ඩායමක්. හැමෝම විවිධ දක්ෂයෝ. හැම තීරණයක්ම අපි සාමූහිකව කතාබහ කරලා ගන්නේ.

නාද්රෝ දැන් වසර දහතුනක කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රසංගයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් හොඳම ප්‍රසංගය විදිහට ඔබ දකින්නෙ මොකද්ද?

2017දී අපි විහාරමහාදේවි උද්‍යානයේ ලොකු festival එකක් පැවැත්වුවා අපේ 10 වන සංවත්සරය නිමිත්තෙන්. ‘The bare set’ කියලා. ඒක තමයි ලංකාවේ කලාකාරයෝ වැඩිම ප්‍රමාණයක් සහභාගි වුණ ප්‍රසංගය. ඒ වගේම රටවල් ගාණකින් කලාකාරයෝ ආවා. පහළොස්දහසක විතර ජනතාවක් එදා විහාරමහාදේවි උද්‍යානයට එකතු වුණා. ඒක තමයි විහාරමහාදේවි එකටත් වැඩිම මිනිස්සු ප්‍රමාණයක් එකතු වුණ event එක.

කණ්ඩායම ⁣එක්ක මේ ආපු ගමනෙදි කඩාවැටීම්වලට එහෙම මූණ දීලා නැද්ද?

මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම මම දැකලා තියෙනවා ගොඩක් අය කියනවා ප්‍රශ්න තිබ්බා. වට්ටන්න හැදුවා ඒත් අපි වැටුණේ නෑ වගේ කතා. නමුත් අපි වෙන්න ඇති සාමාජික ගැටලු තියෙද්දිත් කණ්ඩායමක් විදිහට කිසිම ගැටලුවක්, කඩාවැටීමක් නැතුව හොඳින් වැඩකරගෙන යන එකම වාද්‍ය කණ්ඩායම.

හීනයක් තිබුණද කවදහරි බෙර වාද්‍ය කණ්ඩායමක් නිර්මාණය කරනවා කියලා?

නෑ. ඇත්තටම එහෙම හීනයක් තිබුණෙ නෑ. මේක රාජකීය විද්‍යාලයේ සාගා ප්‍රසංගය නිසා මගේ හිතට ආපු ක්ෂණික ආසාවක්. අපේ හිටපු ප්‍රවීණ වයලීන් වාදන ශිල්පී රුවන් වීරසේකරයන් සමග අපි විවිධ වැඩ කළා. එයත් එක්ක වැඩ කරද්දි මේ ගැන තවත් ආසාව වැඩි වුණා.

කණ්ඩායමට Nadroo කියන නම වැටුණේ කොහොමද?

ඒ නම දැම්මේ අරිසෙන් අහුබුදු මහත්මයා. නාද්රෝ කියන නමේ තේරුම ‘හිරුගේ නාදය ඇදගන්නෝ” කියන එක.

ඔබලා ලංකාව තුළ ආකර්ෂණයක් දිනාගත්තේ අමුතුම ආකාරයෙ නාද රටා මවන ලතින්, අප්‍රිකානු තාල වාද්‍ය කණ්ඩාමක් විදිහට. කොහොමද අලුත් නාද රටා නිර්මාණය කරන්නෙ?

අපි අනිවාර්යයෙන් සතියට දවසක්වත් පුහුණුවීම් කරනවා. නුගේගොඩ අපේ ස්ටුඩියෝ එකක් තියෙනවා. අපි බෙර විතරක්ම නෙවෙයි පුහුණුවීම්වලට ගන්නේ. හැලි වළං, බැරල්වලට තට්ටු දදා හරි අපි අලුත් නාද රටා හොයනවා. පස්සේ ඒවට බෙරවලින් පණ දෙනවා. අපි හැමවෙලේම උසස් තත්ත්වයට මූලික තැන දෙනවා.

එරංදි කෞශල්‍යා