විශේෂාංග

පෝලිමෙන් පිට දේශපාලන බලවතුන්ට කොවිඩ් එන්නත දෙන්නෙ නෑ

කොවිඩ්-19 වයිරසයට එරෙහිව ලොව රටවල් කිහිපයක් දැන් තම ජනතාවට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර තිබේ. ඒ අතරේ අපේ රටද සැරසෙන්නේ කොවිඩ්-19 එන්නත ජනතාවට දීමටය. එම වැඩසටහන භාරදී ඇත්තේ ජනපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගටය. මේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳ ඔහු දැක්වූ අදහස්ය.

ජනාධිපතිවරයා දුන් අලුත් තනතුර කොහොමද?

අලුත් තනතුර මොකක්ද?

කොවිඩ්-19 එන්නත් ගෙන්වීමේ කමිටුවෙ සභාපති ධුරය පිළිබඳව ඇසුවේ?

විශාල වපසරියක් තියෙන රාජකාරියක්. එන්නත් රැසක් පර්‌යේෂණ මට්ටමින් තියෙනවා. තවත් එන්නත් සංවර්ධිත රටවල් දෙනවා.

අපි ඉන්න තැන කොතැනද?

සංවර්ධිත රටවල්වලට හැකියාව තියෙනවා ජනගහනයට අවශ්‍ය පරිදි එන්නත නිපදවීමට. අපේ රටට එහෙම බැහැ. නිපදවන එන්නත්වලින් අපේ ජනගහනයට සුදුසු එන්නත හඳුනාගෙන දීම අපේ වගකීමයි. එන්නත දීමෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙනවා.

එන්නත් පිළිබඳව ඔබේ දැනුම කොහොමද?

මෙය අධි තාක්ෂණික විෂයයක්. මගේ දැනුම පුංචි දරුවකුගේ වගෙයි. මට පැවරී තිබෙන කාර්යභාරය ඉටු කරනවා.

ඔබට පැවරී ඇති කාර්යභාරය කුමක්ද?

මෙම කාරණයේදී සිටින විවිධ පාර්ශ්වකරුවන් එකතු කර සාමූහික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, හොඳම එන්නත අපේ රටට ගෙන ඒමේ වැඩපිළිවෙළේ මූලිකත්වය ලබාගෙන කටයුතු කිරීමයි.

එන්නත් ගෙනඒමේ කමිටුවේ සෙසු සාමාජිකයන් කවුද?

සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, යුද හමුදාපති, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා දැනට පත්කර තිබෙනවා. තවත් කිහිප දෙනකු ජනාධිපතිවරයා පත් කිරීමට නියමිතයි. මෙම පිරිස ප්‍රධාන පාර්ශ්වකරුවන් වෙනවා.

එන්නත ගෙන ඒම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම් ඉටු නොකළ නිසාද මෙම වගකීම ජනාධිපතිවරයා ඔබට දුන්නේ?

සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත ගෙන ඒම සඳහා වැඩකටයුතු කළා. එහි වගකීම අමාත්‍යාංශයට ලබාදිය යුතුයි. අමාත්‍යාංශය මූලික වැඩ කොටස ඉටු කළා.

මොනවද කරපු මූලික වැඩ කටයුතු?

2020 ජූලි මාසය වනවිට ලෝකයේ රටවල් රැසක් මෙම එන්නත් ගැන කතා කරනවා. එන්නත් එක් එක් අදියරවලට භාජනය කර තිබෙනවා. හතරවැනි අදියරේදී තමයි ජනතාවට එන්නත් දෙන්නේ. තවමත් පර්‌යේෂණ මට්ටමේ තියෙන්නේ. එන්නත ගැනීමට සූදානම් වීමක් තිබිය යුතුයි. සූදානම් වීමේ කර්තව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉටු කළා. වගකීම භාරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීම, රටවල්වලට දැනුම් දීමත් අමාත්‍යාංශය විසින් ඉටු කළා.

එන්නත දෙන්න තෝරාගත් පිරිස කවුද?

පිළිගත් ක්‍රමවේදයක් අනුව එන්නත දීමට සුදුසු පිරිස හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ කමිටු සමග සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹ තිබෙනවා. පළමුවෙන්ම දෙන්නේ ඉදිරි පෙළ වැඩ කරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ට. සෞඛ්‍ය සේවකයන් දැනට ඉන්නවා එක් ලක්ෂ පනස් පන් දහසක්. මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට බින්දුවයි දශම හයයි හතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයත් එයයි.

ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දෙන්නේ නැද්ද?​

දෙවනුව දෙන්නේ ඔවුන්ට. කොවිඩ් ආසාදිතයන් පිටුපස හඹා ගොස් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සාමාජිකයන්ටද කොවිඩ් වැලඳුණා මතකයිනේ. සුදුවැල්ල පොකුර ලෙස හැඳින්වූයේ. ඒ අනුව ඉදිරි පෙළ වැඩ කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක්ලක්ෂ විසි හතර දහස් පන්සීයක් හඳුනාගෙන තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට බින්දුවයි දශම පහයි හයයි.

මෙම වැඩපිළිවෙළ ජාතික එන්නත්කරණ සැලැස්මේ​ කොටසක්ද?

ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ ජාතික එන්නත්කරණ සැලැස්මද මට ලබාදී තිබෙනවා. එම නිසා ඉතා වැදගත් එන්නත් දෙන කණ්ඩායම හඳුනාගත යුතුයි. නැතිනම් මන්ත්‍රීවරයාගේ ලියුමටත් එන්නත් දෙන්න වෙයි. සුදුස්සාට පමණයි එන්නත් මුලින්ම දිය යුත්තේ. තුන්වෙනුව එන්නත් දෙන්නේ වයස අවුරුදු හැට ඉක්මවූ අයටයි. තිස් එක් ලක්ෂ පනස් නවදහස් අටසීයයි. ජනගහනයෙන් සියයට දහ හතරක් වෙනවා. මෙම පිරිස විවිධ බෝවන රෝගවලට ගොදුරු වූවන් වෙනවා. අවුරුදු පනස් පහේ සිට අවුරුදු පනස් නවය දක්වා කොටස හතරවැනි කාණ්ඩයයි. එකොළොස් ලක්ෂ හැත්තෑ අටදහස් පනස් පහක් එම කාණ්ඩයේ ඉන්නවා. ජනගහනයෙන් සියයට පහයි දශම දෙකක් වෙනවා.

එන්නත දෙන වෙනත් කාණ්ඩ තිබෙනවාද?

වයස අවුරුදු පනහේ සිට පනස් හතර දක්වා කාණ්ඩයට පස්වෙනුව එන්නත දිය යුතුයි. දහතුන් ලක්ෂ හතළිස් නවදහස් හතළිස් හයක් එම කාණ්ඩයේ ඉන්නවා. ඊළඟ කණ්ඩායම වයස අවුරුදු හතළිස් පහේ සිට හතළිස් නවය දක්වා වයස් කාණ්ඩයේ පිරිසයි. දහ හතර ලක්ෂ විසිහතර දහස් හැට හතරක් එම කාණ්ඩයේ ඉන්නවා. වයස අවුරුදු තිහේ සිට හතළිස් පහ දක්වා කාණ්ඩය අවසන් කණ්ඩායමයි. හතළිස් අට ලක්ෂ හතළිස් තුන්දහස් පන්සිය හැට දෙකක් එම කාණ්ඩයේ ඉන්නවා. ශ්‍රම බළකාය ඔවුන් වීම විශේෂත්වයක්.

දේශපාලන බලවතුන් ඔය ධුරාවලිය කඩලා එන්නත් නොගැනීම පිළිබඳව දෙන සහතිකය කුමක්ද?

අපි වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයා යටතේයි. නොයෙක් අය ජනාධිපතිවරයාට චෝදනා කරනවා දේශපාලන හිතවත්කම්වලට සලකන්නෙ නැහැ කියලා, තනතුරු දෙන්නේ නැහැ කියලා. මම දන්න ජනාධිපතිවරයා නම් මෙවැනි වැඩකට කිසිදු අයුරකින් ඉඩ දෙන්නේ නැහැ. සහතිකයක් දෙන්න පුළුවන් කවදාවත් ඉඩ දෙන්නෙ නැහැ.

ඔබ පසුව ඉදිරිපත් කළ වයස අවුරුදු තිහේ සිට හැට දක්වා වූ වයස් සීමා කාණ්ඩවලට එන්නත ලැබෙන්න ප්‍රමාද වෙයිද?

බෝවන රෝග සහ වෙනත් රෝගාබාධ තිබෙනවා නම් ඔවුන්ටත් එන්නත දෙනවා. එවැනි රෝගාබාධ තිබෙන අයටත් එන්නත ගැනීමට පුළුවන්.

එන්නත දෙන කාණ්ඩවල පුද්ගලයන් නාමිකව තෝරාගන්නේ කෙසේද?

මැතිවරණ කාර්යාලයේ තිබෙන ලේඛන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු හැඳුනුම්පත් අංකය භාවිත කරමින් නාම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට සකස් කරනවා. ඉදිරි පෙළ එන්නත දෙන නාම ලේඛනය කඩිනමින් සකස් කරනවා.

ලෝකයේ විවිධ රටවල් එන්නත් නිපදවනවා. මොන එන්නතද ලංකාවට ගෙන එන්නේ?

මොන එන්නතද ගත යුත්තේ කියලා එන්නත් පිළිබඳ විශේෂඥයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දැනට එන්නත් දෙන රටවල ජනතාවට මතුවන අසාත්මිකතා පිළිබඳවද අධ්‍යයනයක නිරත වෙනවා. එම සියල්ල දෙස බලා නිගමනවලට එනවා.

දැනට නිෂ්පාදනය කර ඇති ඇතැම් එන්නත් මිල අධිකයි. එවැනි එන්නත් ලංකාවට ගන්න පුළුවන්ද?

ඇමරිකා එක්සත් ජනපදය නිපදවන ෆයිසර් එන්නත ඩොලර් විස්සක් වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ හැත්තෑවක එම එන්නත තබාගත යුතුයි. එවැනි අධි ශීතකරණ ලංකාවේ නැහැ. භාවිතය අමාරුයි. දිවයින පුරා රෝහල් එක්දහස් පනහක් තිබෙනවා. ඒ අනුව රෝහල් නවසීයක පමණ එන්නත් ලබාදීම සිදු කරන්න වෙයි. අතුරු ආබාධ ආවොත් කඩිනමින් රෝහල්ගත කළ හැකි ස්ථානයක එන්නත් ලබාදිය යුතුයි. එන්නත් දී‍මේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කළ ‘ඇස්කා සෙනකා’ එන්නත ඉන්දියාවේ කර්මාන්තශාලා පහක නිපදවනවා. සාමාන්‍ය ශීතකරණවල තියන්න පුළුවන්. මෙම එන්නත රුපියල් 600ක් විතර වෙන්නේ. මෙම එන්නත සියයට අනූවක් සාර්ථක වී තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නතද ගන්නේ? ඒ ගැන සාකච්ඡා කළාද?

ඉන්දීය විදේශ ඇමැති ලංකාවට පැමිණි සංචාරයේදී මේ ගැන ජනාධිපතිතුමා කතා කළා. ඔවුන් එන්නත දීමට සූදානම් බව ප්‍රකාශ කළා. චීන රජය සමගත් සාකච්ඡා කර තිබෙනවා. ඔවුන්ද එන්නත් තුනක් නිපදවා තිබෙනවා. මෙහිදී රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු අවශ්‍යයි. එන්නත ගන්න රටවල් රැසක් පෝලිමේ ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට එන්නත ගැනීම පිළිබඳ ලිපියක්ද යොමුකර තිබෙනවා.

එන්නත් නොදෙන කණ්ඩායමක්ද තෝරාගෙන තිබෙනවද?

ඔව්. කුඩා දරුවන්, ගර්භණී මාතාවන්ට දෙන්නේ නැහැ. ඔවුන්ට එන්නත දීමට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරන්නේ නැහැ. එම පිරිස සියයට තිස් පහක් වෙනවා.

රුසියාවේ නිෂ්පාදිත එන්නත අපට ගන්න බැරිද?

රුසියාව අපගේ මිත්‍රශීලී රටක්. ඔවුන් සමගත් අපි සාකච්ඡා කරනවා. ඉල්ලීම ඉදිරිපත් කරන්න කියා දැනුම්දී තිබෙනවා.

එන්නත් ගැනීමට අවශ්‍ය මුදල් රජයට තිබේද?

මුදල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකු ආධාරවලින් මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් සපයාගෙන තිබෙනවා.

එන්නත් දෙන කණ්ඩායමට පුහුණුවක් දුන්නද?

ඉතාම අඩු පුහුණුවකින් එන්නත දීමට හැකියි. හෙද හෙදියන්ට දෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව ඉදිරියේදී පැහැදිලි කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් දීමේ කමිටු විසින් එන්නත් දෙන කණ්ඩායම, අවශ්‍ය පොදු පහසුකම්, මුදල් අවශ්‍ය ප්‍රමාණය තීරණය කළ යුතුයි. ජාතික මෙහෙවරක් ලෙස මෙය කළ යුතුයි. මෙය යුද්ධයක් කරනවා හා සමානයි.

පළමු එන්නත්කරණය කළ හැකි කාලය පිළිබඳව යමක් හෙළි කළ හැකිද?

අනුමාන කළ හැක්කේ අප්‍රේල් මාසයට පෙර එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් වෙයි.

උදයජීව ඒකනායක