පුරුෂ ලිංගය උදරය තුළ ගිලෙන ලෙඩක්
22 April 2021
පුරුෂ ලිංගය උදරය තුළ ගිලෙන ලෙඩක්
22 April 2021
රෝග ලක්ෂණ අවුරුදු 18කට වැඩි කාලයක් වුව ඇදී යා හැකියි
කෝරෝ සින්ඩ්‍රෝමය යනු මනෝචිකිත්සක ආබාධයකි. එහිදී සාමාන්‍යයෙන් සිදු වන්නේ උග්‍ර හා දැඩි කාංසාවක් ඇති වීමය. මෙම රෝගය හේතුවෙන් ඇති වන භයානකම සිතිවිල්ල නම් තමන්ගේ ලිංගේන්ද්‍රය නැවත ආපස්සට හැකිළෙමින් තිබෙන බවට ඇති වන බියයි. තවත් සමහරුන් පැමිණිලි කර සිටින්නේ දිගින් දිගටම තම ලිංගේන්ද්‍රය උදරය තුළට උරා ගනිමින් පවතින බවටයි.මුල් යුගයේදී මෙවැනි රෝගීන් වාර්තා වූයේ අග්නිදිග ආසියාවේ සහ විශේෂයෙන් චීනයේය. එනමුත් මේ වන විට බටහිර රටවලින්ද රෝගය නිරීක්ෂණය වී තිබේ. යමෙකු තුළ කෝරෝ සින්ඩ්‍රෝමය බල පැවැත්විය හැකි කාලය සාමාන්‍යයෙන් සීමිතය. නමුත් සමහර අවස්ථාවල එය නිදන්ගත හෝ පුනරාවර්තන ස්වරූපයක් ගත හැකිය. ඇතැම් විට මෙම රෝගය දින එකේ සිට සති, මාස හෝ අවුරුදු දක්වා දිව ගිය හැකිය. සමහර රෝගීන් තුළ මෙම කොරෝ රෝග ලක්ෂණ අවුරුදු 18කට වැඩි කාලයක් තිස්සේ වරින් වර අඛණ්ඩව දක්නට ලැබෙන අතර, එය තරුණ භින්නෝන්මාදයටද හේතු වේ. කෝරෝ රෝගය සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර බොහෝ දුරට ස්නායු රෝග ඖෂධ හා විෂනාශකවලින් සමන්විත වේ.මෙම බියජනක සිතිවිල්ල කලක් තිස්සේ පැවතීම හේතුවෙන් අදාළ රෝගියා සියදිවි නසා ගැනීමට පවා පෙලඹිය හැකිය. මන්දයත් ලිංගික ශක්තියක් නොමැතිව ජීවත්වීම අතිශයින් ලජ්ජාවට පත් විය යුතු කරුණකැයි බොහෝ දෙනා සිතන බැවිනි.
පහත දැක්වෙන්නේ එවැනි රෝගීන් දෙදෙනකු පිළිබඳ විස්තර
පළමුවැන්නා 40 හැවිරිදි ධීවරයෙකි. ඔහුගේ පැමිණිල්ල වූයේ සිය ලිංගේන්ද්‍රයේ ඉදිරිපසින් දැඩි වේදනාවක් දැනෙන බවයි. ඔහු දිගින් දිගටම සිය ශිෂ්ණය උදරය දෙසට හැකිලීම ගැනද පැමිණිලි කළේය. පසුගිය මාස තුන තුළ තමන්ට දැනුණු මානසික අවපීඩන රෝග ලක්ෂණද ඔහු විස්තර කළේය.රෝගියාගේ උදරයේ හා ශ්‍රෝණියෙහි ටොමොග්‍රැෆි ස්කෑන් පරීක්ෂණයක් සහ සිස්ටොස්කොපි පරීක්ෂාව ඇතුළු සෝදිසි කිරීම් කිහිපයක් සිදු කළද කිසිදු රෝගයක් සොයාගත නොහැකි විය.ගණිකාවක සමග සංසර්ගයේ යෙදීමෙන් පසු ඔහුගේ ශිෂ්ණය මත වයිරසයක් පැතිර යමින් පවතින බව අදාළ රෝගියා විශ්වාස කරමින් සිටියේය. පසුගිය අවුරුදු 18ක කාලය පුරාවටම අදාළ රෝග ලක්ෂණ වරින් වර ඇතිවෙමින්, නැතිවෙමින් පැවති බවට වාර්තා කෙරුණු අතර වැඩ කිරීමේ හැකියාවද සීමා වී තිබිණි.
ධීවරයා හට මානසික අවපීඩනයක් ඇති බව විනිශ්චය කෙරුණු හෙයින් ඔහුට citalopram 20mg සහ quetiapine 200mg යන ප්‍රතිකාර ලබා දෙන ලදී. මාස දෙකකට පසු සිය මනෝභාවය සහ වේදනාව ගැන සැලකිලිමත් වන තරමට ඔහු දියුණු වී තිබුණු නමුත් ශිෂ්ණය පිළිබඳ අසහනය දිගටම පැවතිණි. ‘ලිංගික වයිරසය’ පිළිබඳ ඔහුගේ විශ්වාසයද ස්ථිරව පැවතිණි. රෝගියාට ඇති වන දැඩි කාංසාව සහ නින්ද නොයෑමෙන් මිදීම සඳහාද ඖෂධ නියම කිරීමට සිදු විය.
දෙවැනි රෝගියා 24 හැවිරිදිය. ඔහු අධික ලෙස කෝපගන්නෙකු වූ අතර සිතෙහි ඇති වන මායාවන්ගෙන් පීඩිතව සිටියේය. ආසන්නතම සිද්ධිය වශයෙන් රෝගියා තම පියාට පහරදී තිබුණු අතර දෙමාපියන් හදිසි පොලිස් ඇමතුම් සේවයට පැමිණිලි කර තිබිණි.
වයස අවුරුදු 17දී රෝගියා මිතුරන් හා පවුලේ අය සමග ඇති සබඳතාවලින් ඉවත් වීමට පටන් ගෙන තිබුණු අතර ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බවද හඳුනාගෙන තිබිණි. කෙසේ වෙතත්, වසරක් ඇතුළත ඔහු තදින් කෝප වන්නෙකු බවට පත්ව තිබිණි.තරුණයා හට" ‘පරානොයිඩ් භින්නෝන්මාදය’ ඇති බව හඳුනාගත්තද නියමාකාරයෙන් ඖෂධ ලබා දිය නොහැකි වූයේ ඔහුගේ ප්‍රධාන රෝග ලක්ෂණ තරමක් වෙනස් වූ බැවිනි. පසු දිනෙක රෝගියා වාර්තා කළේ තම ශිෂ්ණය සිය උදරය වෙත ඇදී යන බව දැනෙන බවත් එහෙයින් එය අතුරුදන් වනු ඇතැයි බියක් ඇති බවත්ය.රෝගියා සිතා සිටියේ තමා නිවසේදී ස්වයං වින්දනයේ යෙදෙන විට අසල්වාසීන් කවුළුව හරහා තමා දෙස බලා සිටින බවයි. එහෙයින් තමා සමලිංගිකයකු ලෙස සමච්චලයට ලක් වනු ඇතැයි බිය වූ රෝගියා හට වරින් වර නොයෙක් කටහඬවල් ඇසීමටද පටන් ගෙන තිබිණි. අවසානයේදී රෝගියා දෙමාපියන්ගෙන් උපකාර ඉල්ලා සිටියේය. ඔහුට කිසිවක් සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකි විය.
තවදුරටත් සොයා බැලීමේදී ඔහු වයස අවුරුදු 17දී වැඩිහිටි පිරිමි ඥාති සහෝදරයකු අතින් ලිංගික අතවරයට ලක්වීමේ සිද්ධියක් අනාවරණය විය. මෙම සිදුවීම රෝගියාගේ සිතෙහි වරදකාරි හැඟීමක් ඇති කර තිබූ අතර ඔහුට ස්ත්‍රී පුරුෂ භාවය හා ලිංගිකත්වය පිළිබඳ නොපැහැදිලි හැඟීමක් ඇති වී තිබිණි. තමාට කාන්තාවකට මෙන් පියයුරු ඇතැයි දැනෙන බවද ඔහු වාර්තා කළේය.
ප්‍රථමයෙන් තරුණයා හට මනෝචිකිත්සක ප්‍රතිකාර ලබාදෙන ලදී. ඒ හරහා වරදකාරී හැඟීම් සමනය කොට, යහපත් සමාජ අනුවර්තනයක් සඳහා යොමු කිරීම සිදු විය. මාස දෙකකට පසු, ශ්‍රවණ මායාවන් ඇසීම අඩු වූ අතර පළමු සති 3 තුළ කෝරෝ රෝගයේ ලක්ෂණ අඩු වී ගියේය.
ශ්‍රීනි ලංකා ජයකොඩි


