විශේෂාංග

ධම්මික පැණියේ වත්මන් කතාව

ධම්මික පැණියේ වත්මන් කතාව

කොළඹ – මහනුවර ඒ-1 ප්‍රධාන මාර්ගයේ උඩුකුඹුර සිට ඔත්නාපිටිය පාරේ ගිය අපි ධම්මික කපුවාගේ නිවස අසලට පැමිණියෙමු. මාස කිහිපයකට පෙර නම් මේ පාරේ ඇඟිල්ලක් ගහන්නට ඉඩ නැත. කොටින්ම කියනවා නම් ගමේ මිනිහෙකුටවත් පාරේ පයින් යන්නට බැරි තරම් මහා තදබදයක් තිබුණේය. ඒ මිනිසුන් කන්දරාවක් ඔවුන් පැමිණි වාහනත්, ආම්බාන් කර ගැනීමට එදා සිටි පොලිස් නිලධාරින් අද ඒ ගමේ නැත. මාස තුනහතරකට පෙර කොරෝනා නිසා ඒ ගමේ ගොඩ ගියේ ධම්මික බාස්උන්නැහේ පමණක් නොවේ. ඔහුගෙන් පැණිය ගන්නට පැමිණි දහස් ගණනක් නිසා ගමටත් සරු කලක් උදා විය.

ඒ කාලයේ ගම්වාසීහු මග දෙපස වෙළෙඳාම් කළහ. බුලත්විට, වතුර බෝතල්, තැඹිලි කුරුම්භා පමණක් නොව බත් පාර්සල්ද අලෙවි කළහ. අද එම වෙළෙඳසල් වැසී ගොසිනි. ධම්මිකගේ නිවස පසුකර යන විට ජනතාව හමු වුවද, ඔවුහු සිය අනන්‍යතාව හෙළිකරමින් කිසිවක් කීමට අකැමැති වූහ. ඔවුන් තවමත් ධම්මික කපුවාට බයය.

‘‘වෙද මහත්තයා ගමේ කෙනෙක් නොවේ. කෑගල්ලේ හෙට්ටිමුල්ලේ. කාලි මෑණියන්ගේ දේවාලයක් කරනවා කියලා තමයි මෙහෙ පදිංචියට ආවේ. කොරෝනා පැණිය බෙදුවේ මේ ගමේ ඉඳලා. කාලි මෑණියෝ වරමක් දුන්නා කියලා ගමේ අයටත් කිව්වා. මාධ්‍යයෙන් පැණියට දුන්න ප්‍රචාරය නිසා දිවා රාත්‍රි නොබලා ජනතාව අපේ ගමට ආවා. පැණි කාලක් රුපියල් 2500 ට වික්කා. නොමිලේ දුන්නේ අවම ප්‍රමාණයක්. රජයේ මැති ඇමැතිවරු, පොලිසියේ ලොක්කෝ, හමුදාවේ ලොක්කෝ පැණි ගන්න ආවා. අපේ ගමේ දුප්පත් අය බත් විකුණුවා. සමහර ආපු අය බත් බැඳගෙන වන්දනා ගමන් යනවා වගේ ආවේ. සෙනඟ වැඩියෙන් ආවොත් වෙද මහත්තයට කාලි වැහෙනවා. ඊට පස්සේ මිනිස්සු එළවනවා.’’
ගම්වාසීන් පැවසුවේ සිනාසෙමිනි.
‘‘තව මොනවද වුණේ’’
අපි විමසුවෙමු.
‘‘සල්ලිවලට විකුණන්න පටන් ගත්ත හින්දා වෙන්න ඇති ගෙදර හිටපු උන්දත් යවලා මෙයා කාලි මැණියෝ එක්ක හිටියේ. ඒ කාලේ ගමේ මිනිහකුට කැගල්ලේ දිසාපති හම්බ වෙන්න පුළුවන්. නමුත් ධම්මික හම්බ වෙන්න බැහැ. ඒ තරමට වටේම ආරක්ෂාව. මෙයට සල්ලි හම්බ වෙනකොට ගමේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාද ගණන් ගත්තේ නැහැ.’’
ගම්වාසීහු කීවේ එසේය.

‘‘පැණිය හදන්න හොඳ මී පැණි ගන්නවා කීවා. කොහෙන්ද ඔච්චර හොඳ මී පැණි හොයා ගත්තේ. රටේම තියෙන මීපැණි ගෙනත් දුන්නත් වැඩක් නැහැ. වෙද මහත්තයාට පැණි හදන්න අවසර ලැබුණා කියලා එයා ළඟ හිටපු ගෝලයෝ උඩ පැන පැන හිටියා. මෙයට ලංකාවම රැවටුණා. මෙයා වටේ නීතිඥයන් හිටියා. අන්තිමට තමන් කව්ද කියලා මෙයට අමතක වුණා. ධම්මිකගේ මාර්ගයෙන් වටේ හිටපු අය සල්ලි හොයා ගත්තා.’’

කොරෝනාවෙන් ලංකාව බේරා ගැනීමට පහළ වූ ඍෂිවරයා මෙන් සිටි ධම්මික කපු මහත්තයා ගැන දැන් රටේ යළිත් සද්‍්දයක් ඇති වූයේ ඔහුගේ පැණිය මහ බොරුවක් බව විද්‍යාත්මක ඔප්පු වීමත් සමගය. ඒ බව රජය නිල වශයෙන් නිවේදනය කළේ ගිය සතියේය. කෙසේ නමුදු ගිය වසරේ නොවැම්බරයේ ධම්මික පැණිය කරලියට ඒමත් සමග එය මහා බොරුවක් බවත්, මේ පැණියෙන් කොරෝනා රෝගීන් සුව නොවන බවට ‘සතිඅඟ අරුණ’ දිගින් දිගටම අනාවරණය කළේය. ඒ නිසා ධම්මික කපු මහතා අපත් සමග කතා කරන්නට කවදාවත් කැමැති වූයේ නැත.

‘‘ධම්මික වෙද මහත්තයා’’ යනුවෙන් තමාව හඳුනා ගත්තද ඔහු වෙදෙක් නොවෙයි. ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ශ්‍රී භද්‍රකාලී දේවාලයේ කපු ධුරන්දර අප්පු කංකානමලාගේ ධනපාලය.

ධම්මික බණ්ඩාර කොවිඩ් මර්දනයට සුදුසු ප්‍රතිකාරයක් ලෙස හඳුන්වා දුන් පැණිය පළමුවෙන්ම අත්හදා බැලුවේ 2020 අග භාගයේදීය. ඒ වතුපිටිවල මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් සම්බන්ධ කර ගනිමිනි. එම ප්‍රතිකාර මාධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූලා බණ්ඩාර, ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර හා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් ඊට මැදිහත් වූයේ සෞඛ්‍ය භාර ඇමැතිනිය, රාජ්‍ය ඇමැතිවරයාගේද ආශිර්වාදයෙනි. එම ඒකකයේදී පැණිය දුන් රෝගීන් දස දෙනාගේම සිරුරෙන් කොවිඩ් වයිරසය ඉවත් වී ඇති බව 2020 නොවැම්බර් 16 වන දින එම වෛද්‍යවරු මාධ්‍යයට කීවෝය. අනතුරුව දෙවන පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලදී.

එම පරීක්ෂණයට යොදා ගත් රෝගීන් 31 දෙනකුගෙන් සමන්විත නියැදියේ රෝගීන් 16 දෙනකුට ධම්මික පැණිය දෙන ලදී. තවත් රෝගීන් 15 දෙනකුට ආදේශක පැණියක් දී තිබුණි. කෙසේ වෙතත් නියැදි පරීක්ෂණයෙන් පසු එම වෛද්‍යවරයා කීවේ ධම්මික පැණිය දුන් 16 දෙනාගෙම සිරුරෙන් වයිරසය ඉවත් වී ඇති බවය.

අන්තිමේදී මේ ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමට රජය තීරණය කළේ ය.

සායනික පරීක්ෂණය ආරම්භ වීමට පෙර ධම්මික බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයටද පැණි බෙදුවේය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන චන්න ජයසුමන, සිසිර ජයකොඩිද පැණි පානය කළ අය අතර විය. නමුත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැණිය ප්‍රතික්ෂේප කළාය. එයින්ද නොනැවතුණු ධම්මික බණ්ඩාර පාර්ලිමේන්තුවටද පැණි බෙදීමට සමත් විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමැතිවරු පැණිය පානය කළෝය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී ධම්මික පැණිය සම්බන්ධයෙන් සායනික පරීක්ෂණයකට විද්වත් කමිටුවක් පත් කෙරුණි. මහාචාර්ය සිසිර සිරිබද්දන, මහාචාර්ය ජනකද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය සරත් ලේකම්වසම්, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය, මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය රජිත වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ස්වර්ණා කළුතොට, තේනක පිලපිටිය යන වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව පත් කරන ලදී. සායනික කටයුතු සිදු කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පැවරුණි. එහි වෛද්‍ය සේනක පිලපිටිය සායනික පරීක්ෂණයේ වගකීම භාර ගත්තේය. ඔහු බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේදය පිළිබඳ ප්‍රාමාණිකයෙකි.

සායනික පරීක්ෂණය කෙරුණේ අනුරුධපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. එහි ප්‍රතිකාර ලබන රෝගීන් 68 දෙනකුට පැණිය දුන්හ.

 ‘‘අපි කොවිඩ් රෝගීන් 68 දෙනකුට පැණිය දුන්නා. නමුත් වතුපිටිවල රෝහලේ දී වගේ රෝගීන් 100% ක් සුවපත් වුණේ නම් නැහැ. අපි වෛද්‍ය විද්‍යානුකූලව පරීක්ෂණ කළා. වෘත්තිකයන් ලෙස වැරදි දෙයක් අපට අනුමත කරන්න බැහැ.’’ වෛද්‍ය තේනක පිලපිටිය කීවේය.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය යටතේ සිදු කළ සායනික පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ භාර දෙන ලදී. නමුත් ‘‘සතිඅග අරුණට’ සායනික වාර්තාවේ තොරතුරු කලින්ම ලැබුණු බැවින් මැයි 02 ඉරිදා ‘‘ධම්මික පැණිය සායනික පර්‌යේෂණයෙන් පේල්’’ යනුවෙන් අපි මුලින්ම මේ ප්‍රවෘත්තිය අනාවරණය කළෙමු. කෙසේ වෙතත් කැගල්ලේ ධම්මික බණ්ඩාර විසින් හඳුන්වා දෙන ලද පැණිය කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සඳහා සාධනීය ලක්ෂණ පෙන්නුම් නොකරන බව සායනික පර්‌යේෂණයෙන් තහවුරු වී තිබේ. ඒ අනුව ධම්මික පැණිය තහනම් වෙයිද? ජනතාව තුළ ඇත්තේ එවන් ප්‍රශ්නයකි. දේශීය වෛද්‍ය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර පැවසුවේ සායනික පර්‌යේෂණයෙන් අසමත් වූ පැණිය නිෂ්පාදන කටයුතු නතර කරන ලෙස ලිඛිතව දැනුම් දුන් බවයි. සූත්‍ර කමිටුව මගින් ආහාර අතිරේකයක් ලෙස භාවිත කිරීමට දුන් කාලයද අවසන් බව ඇය අවධාරණය කර සිටියාය.

‘‘ලිඛිතව සියලු පියවර ගෙන තිබෙනවා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ’’ අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවාය.
මේ තීරණය ගැන පැණිය සෑදූ ධම්මික බණ්ඩාර සිටින්නේ නොසතුටිනි. සායනික පරීක්ෂාවට අවම වශයෙන් සියයක පිරිසක් යොදා ගන්න ඕනි. නමුත් රෝගීන් 68 ක් පමණයි යොදාගෙන ඇත්තේ. මෙය සිතාමතාම අසමත් කිරීමේ අරමුණින් අවිධිමත්ව සිදුකර තිබෙනවා. පැණිය දුන්නම මස්, මාළු උම්බලකට කන්න බැහැ. ඒවා භාවිත කළොත් බලය බිඳෙන්න පුළුවන්. මම තවම පැණිය හදනවා.’’

ධම්මික බණ්ඩාර මාධ්‍යයට කීවේය. එහෙත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියන්නේ ඔහු තවදුරටත් පැණිය හදා විකුණනවා නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. කෙසේ නමුදු දැන් දැන් ධම්මික කපු මහත්තයාගේ ගෙදර ළඟ පැණි පෝලිම් ද නැත. ඉඳහිට දෙතුන් දෙනෙක් පැමිණ පැණි රැගෙන යති. ඒත් බලන විට අන්තිමට ඔහුටත් සිද්ධ වූයේ වැව් වතුරත් පිරිත් පැන් කළ දොළුකන්දේ හාමුදුරුවන්ට වූ දෙයමය.

 

උදයජීව ඒකනායක

සාලිය ගමසිංහආරච්චි – කෑගල්ල