විශේෂාංග

ගුවන් කසළ නසන මෙහෙයුම

මහ පොළොව මත එකතු වන කුණු කසළ කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති ආකාරයටම අභ්‍යවකාශයේ එකතු වන ‘කුණු කසළ’ කළමනාකරණය කිරීමද මහත් අභියෝගයක් බවට පත්ව තිබේ. මෙය මේ වන විට විද්‍යාඥයන් සහ විවිධ ආයතන ඉතා යුහුසුළුව විසඳුම් සොයමින් සිටින කාරණයකි. අභ්‍යවකාශයේ පාවෙමින් ඇති අපද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති පැරණි චන්ද්‍රිකා, චන්ද්‍රිකාවල කොටස්, වෙනත් අභ්‍යවකාශ යානාවලින් බැහැර කරන ලද කොටස් යනාදියයි.

  • ටොන් 9,000ක අපද්‍රව්‍ය තොගයක් පෘථිවිය වටා

 

සංඛ්‍යාලේඛනවලට අනුව ටොන් 9,000ක පමණ අපද්‍රව්‍ය තොගයක් මේ වන විට අපට ඉහළින් පෘථිවිය වටා පාවෙමින් තිබේ. මෙම ද්‍රව්‍ය නිසා මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින චන්ද්‍රිකාවලටද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වැනි යානාවලටද විශාල තර්ජනයක් එල්ල වේ. මෙම අපද්‍රව්‍ය කැබලි ගැටීමෙන් ඇතැම් චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම වුව විනාශ වීමේ අනතුරක් ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තත්ත්වය තවත් බරපතළ වන්නේ ඉදිරියේ දී තවත් චන්ද්‍රිකා විශාල ගණනක් ගුවන්ගත කිරීමට විවිධ පාර්ශ්ව සැලසුම් කරගෙන සිටින නිසාය.

Space junk: The cluttered frontier | MIT News | Massachusetts Institute of  Technology

 

  • එළැඹෙන දශකයේ අලුත් චන්ද්‍රිකා 10,000ක්

ඇතැම් ඇස්තමේන්තුවලට අනුව එළැඹෙන දශකය තුළ අලුත් චන්ද්‍රිකා 10,000කට ආසන්න සංඛ්‍යාවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබේ. මෙයින් බහුතරයක් අන්තර්ජාල සේවා සැපයීම හා බැඳුණු චන්ද්‍රිකාය. මේවා බහුතරයක් අභ්‍යවකාශගත කෙරෙනු ඇත්තේ ස්පේස්එක්ස් (SpaceX), වන්වෙබ්(OneWeb) වැනි සමාගම් මගිනි. මේ වන විටත් අභ්‍යවකාශයේ සැරිසරමින් සිටින ක්‍රියාකාරී චන්ද්‍රිකා ගණන 3,600කට ආසන්නය. මේ සියල්ලට ඉහත කී අපද්‍රව්‍ය එල්ල කරනු ලබන තර්ජනය තවදුරටත් නොසලකා සිටිනු නොහැකි බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ වන විට පෘථිවිය මත සන්නිවේදන කටයුතු, කාලගුණය පිළිබඳ අධ්‍යයනයන්, ජීපීඑස් තාක්‍ෂණය හා බැඳුණු කටයුතු ඇතුළු තව බොහෝ දෑ සඳහා මෙම චන්ද්‍රිකා සම්බන්ධ බව රහසක් නොවේ. මේ නිසා ඒවා ආරක්‍ෂා කර ගැනීම ඉතා තීරණාත්මක කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

  • අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කරන්නෙ කොහොමද?

මෙම අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට බොහෝ අධ්‍යයනයන්, පර් යේෂණ සහ අත්හදාබැලීම් සිදුවෙමින් තිබේ. මීට අදාළ තවත් අලුත් අත්හදාබැලීමක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ජපානය සහ එක්සත් රාජධානිය එක්ව පවත්වාගෙන යන ඇස්ට්‍රොස්කේල් (Astroscale) නැමැති සමාගමක්ය. කුඩා අභ්‍යවකාශ යානයක් සහ ඊට සම්බන්ධ කර ඇති කුඩා චන්ද්‍රිකාවක් මෙම ව්‍යාපෘතිය යටතේ ගුවන්ගත කරනු ලැබිණි. මෙම අත්හදාබැලීමේ දී අපද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන්නේ ඉහත කී කුඩා චන්ද්‍රිකාවයි.

 

  • මාස කිහිපයක ‘ඔට්ටු සෙල්ලම’

අභ්‍යවකාශ යානයේ බර කි.ග්‍රෑ. 175ක් වන අතර චන්ද්‍රිකාවේ බර කි.ග්‍රෑ. 17කි. පෘථිවි කක්ෂයට ළඟා වීමෙන් පසු චන්ද්‍රිකාව අභ්‍යවකාශ යානයෙන් වෙන් කෙරෙනු ඇත. එයින් පසු අභ්‍යවකාශ යානයට පැවරෙන මෙහෙවර වන්නේ අභ්‍යවකාශයේ පාවෙන්නට පටන් ගන්නා චන්ද්‍රිකාව (අපද්‍රව්‍යය) නැවත අල්ලා ගැනීමට කටයුතු කිරීමයි. මෙය මතුපිටින් පෙනෙන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ මෙම චන්ද්‍රිකාව පැයට සැතපුම් 18,000 කට ආසන්න වේගයකින් ගමන් කරනු ඇති නිසාය. මෙහි දී සොයා බැලෙන්නේ එම චන්ද්‍රිකාව සාර්ථකව ග්‍රහණයට ගැනීමට යානයට හැකි වනු ඇත්ද කියාය. මෙය මාස කිහිපයක් තිස්සේ සිදුවන ‘ඔට්ටු සෙල්ලමක්’ වනු ඇති බව විද්‍යාඥයෝ පවසති. ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බරයේ හෝ ඔක්තෝබරයේය. චන්ද්‍රිකාව අල්ලා ගැනීමට යානයට හැකි වුවහොත් ඊළඟට එය කරන්නේ චන්ද්‍රිකාව ඇදගෙන විත් පෘථිවි වායුගෝලයට අත හැරීමයි. එහි දී වායුගෝලයෙන් ඇති කරන ඝර්ෂණය නිසා චන්ද්‍රිකාව ගිනි ගෙන විනාශ වී යයි. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරියේ දී අභ්‍යවකාශ අපද්‍රව්‍ය විනාශ කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම ක්‍රමය හරහාය.

Astroscale space debris removal demo set for launch - BBC News

  • සියලු චන්ද්‍රිකාවලට කාන්දම් තහඩු

මෙහිදී යානය විසින් චන්ද්‍රිකාව අල්ලා ගනු ලබන්නේ කාන්දම් බලයක් උපයෝගි කරගනිමිනි. මේ සඳහා අවශ්‍ය කාන්දම් තහඩු යානයේ මෙන්ම චන්ද්‍රිකාවේද සවි කර තිබේ. මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමය සාර්ථක වීමට නම් ඉදිරියේ දී අභ්‍යවකාශගත කරන සියලුම චන්ද්‍රිකා මෙම කාන්දම් තහඩු සහිතව අභ්‍යවකාශගත කිරීමට සිදුවනු ඇත. එවිට යම් දිනෙක එම චන්ද්‍රිකාවල ආයු කාලය අවසන් වූ පසුව මෙම තාක්‍ෂණය මගින් ඒවා ඉවත් කර විනාශ කිරීමට හැකියාව ලැබේ. දැනටමත් ‘වන්වෙබ්’ සමාගම සමග මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ ඇති බව අස්ට්‍රොස්කේල් සමාගම පවසා තිබේ.

  • කුඩා වීදුරු බෝලයක ප්‍රමාණයේ කැබලි ලක්‍ෂ පහක් අභ්‍යවකාශයේ

ටෙනිස් පන්දුවක ප්‍රමාණය ගත් හෝ ඊට වඩා විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය කැබලි 26,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට පෘථිවියට ඉහළින් පාවෙමින් ඇති බවට ගණන් බලා ඇත. අධික වේගයෙන් ගමන් ගන්නා මෙම ප්‍රමාණයේ අපද්‍රව්‍ය කැබැල්ලක් ගැටුණහොත් චන්ද්‍රිකාවක් සම්පූර්ණයෙන් වුව විනාශ වීමට හැකියාවක් ඇති බව පැවසේ. කුඩා වීදුරු බෝලයක ප්‍රමාණයේ කැබලි ලක්‍ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් අභ්‍යවකාශයේ පාවෙමින් ඇති අතර මෙවැනි කැබැල්ලක් ගැටීමෙන් චන්ද්‍රිකාවකට හෝ යානයකට සැලකිය යුතු මට්ටමේ හානියක් සිදු විය හැකිය. මීට වඩා කුඩා, සාමාන්‍යයෙන් ලුණු කැටයක ප්‍රමාණයේ අපද්‍රව්‍ය කැබලි මිලියන 100ක් පමණ අභ්‍යවකාශයේ පවතින බැව් සැලකෙන අතර මේවායින්ද බරපතළ තර්ජනයක් එල්ල වේ. නිදසුනක් ලෙස, අභ්‍යවකාශ යානාවලින් පිටතට පැමිණ විවිධ කටයුතුවල නිරතවන අජටාකාශගාමීන්ගේ ඇඳුම් මේවා නිසා සිදුරු වීමේ හැකියාවක් පවතී. එය ඉතා භයානක ප්‍රතිඵල ඇති කරන්නක් බව රහසක් නොවේ. විද්‍යාඥයන් පවසන ආකාරයට වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මෙවැනි ඉතා කුඩා කැබලිවලිනි. ඒවා කුඩා වීම නිසාම හඳුනාගැනීම ඉතා අපහසු බැවිනි.

Space junk: US government logged 308,984 potential collisions in 2017

 

  • රොබෝ තාක්ෂණයත් යොදා ගනී

ඇස්ට්‍රොස්කේල් සමාගම මෙන්ම තවත් පාර්ශ්ව කිහිපයක්ද අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙවැනි ව්‍යාපෘතිවල නිරතව සිටියි. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියද එවැනි එක් පාර්ශ්වයකි. 2025 වසරේ ඔවුන් මෙබඳු ව්‍යාපෘතියක් දියත් කිරීමට සූදානම් වන අතර එය හැඳින්වෙන්නේ ක්ලියර්ස්පේස්-1 (ClearSpace-1) යන නමිනි. මෙහි දී අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගැනෙන්නේ වෙනස් ක්‍රමයකි. එය රොබෝ තාක්ෂණය ඇසුරෙන් ක්‍රියාත්මක වන්නක් බව සඳහන් වේ. 2018 වසරේ කරන ලද තවත් අත්හදාබැලීමක දී අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදාගත්තේ දැලක් වැනි මෙවලමකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් රාජධානියේ සරේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි. අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීම සම්බන්ධයෙන් කරන ලද පළමු සාර්ථක අත්හදාබැලීම ලෙස සැලකෙන්නේ මෙයයි.

 

 

•නිහාල් පීරිස්