ගැහැනු අයට හැඩට ඉන්න රහස් කියන යශෝදරා
16 July 2021
ගැහැනු අයට හැඩට ඉන්න රහස් කියන යශෝදරා
16 July 2021
රූමත් බව හා කාන්තාවන් කියන්නේ ගහට පොත්ත වගේ සම්බන්ධ වුණ දෙයක්. අද හැඩවැඩ පිළිසඳර නීරෝගී, පැහැපත්, හැඩකාර සිරුරක හිමිකාරිනියක් වූ ශාරීරික යෝග්‍යතා පිළිබඳ උපදේශිකා යශෝදරා කොඩිතුවක්කු සමගයි.
කොහොමද මේ දිනවල ඔබේ කටයුතු?
මේ දවස්වල අන්තර්ජාලය හරහා ව්‍යායාම උගන්වනවා. මගේ ව්‍යායාම කරන්න ජිම් එකට යනවා. මගේ සේවාදායකයන්ට ආහාර සැලසුම් හදලා දෙනවා. ඒවා තමයි මේ දවස්වල මගේ වැඩ. ඊට අමතරව මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙනවා.
කොයිතරම් කාලයක් වෙනවද ඔබ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා?
මම ව්‍යායාම කරන්න පටන් අරන් අවුරුදු පහක් වගේ වෙනවා. නමුත් උපදේශකවරියක් ලෙස කටයුතු කරන්න පටන් අරන් අවුරුද්දක් වගේ වෙන්නෙ.
ව්‍යායාම උපදේශකවරියක් ලෙස කටයුතු කිරීමට පෙර ඔබේ රැකියාව?
මට මගේම කියලා රූපලාවණ්‍යාගාර දෙකක් තිබුණා. සැලෝන් කුලශ්‍රී සහ සැලෝන් යශ්. දෙකම නුවර තමයි කළේ. මගේ යටතේ හත්දෙනෙක් වගේ වැඩ කළා. දැන් නම් පූර්ණකාලීනව උපදේශනයට යොමු වෙලා ඉන්නෙ.
තරබාරු අයත් ලස්සනයි කියලා මතයක් හැදිලා තියෙනවා නේද?
ඒක මහත අය ලේසියට හදාගත්ත කතාවක්. ඇත්තටම ඒකෙ සත්‍යතාවක් නෑ. ගොඩාක් අය මහත ගැන හිතෙන් ලතැවෙන ගමන් තමයි ඔය කතාව කියන්නේ. අනිත් එක තමයි ඒ අය කියන කතාවක් තමයි අපි හොඳට කනවනෙ කියලා. හොඳට කනවා කියන්නේ තෙල්, සීනි, පිටි බහුල ආහාරයක් ගන්න එක නෙවෙයි. අපි හොඳට නෙවෙයි හරියටයි කන්න ඕනි.
මගේ ගාවට එන සමහර තරබාරු අය අහන්නෙ කෑම අඩු නොකර ව්‍යායාමවලින් විතරක් ඇඟ අඩු කරන්න බැරිද කියලා. ව්‍යායාමවලින් ඇඟ අඩු කරන්න පුළුවන් සීයට තිහක් විතරයි. ඉතිරි සීයට හැත්තෑවම පාලනය කරන්නේ ආහාරවලින්. ඇඟේ හැඩය සහ සෞඛ්‍යය ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර පිළිබඳ අවධානය යොමු කළ යුතුමයි.

උපදේශකවරියක් වෙන්න තීරණය කළේ මගේ රුව ගැන හිතලා
කොහොමද ඔබට මුලින්ම මේ වගේ අදහසක් ආවේ? මම ජිම් එකේ ව්‍යායාම කර කර ඉන්නකොට ගෑනු ළමයි ළඟට ඇවිත් හෙමීට අහනවා ඔයා මේකෙ උපදේශකවරියක්ද කියලා. කීප දෙනෙක් අහද්දි මම හිතුවා කොහොමද මේ හැමෝටම එක්ම විදියකට හිතෙන්නේ කියලා. මං ගෙදර ගිහින් අම්මත් එක්ක කිව්ව 'අම්මා හරි වැඩක්නේ හැමෝම වගේ නිතරම අහනවා මම උපදේශකවරියක්ද කියලා’ කිව්වා. අම්මා කිව්ව ‘ඉතින් ඔයා කරන විදිහ දැකලා ඒගොල්ලොන්ට එහෙම හිතෙනවා වෙන්න ඇති’ කියලා. මට මුලින්ම උපදේශකවරියක් වෙන්න ඕන කියන අදහස ඒ විදිහට තමයි ඇති වුණේ. ඊට පස්සේ මම හොයලා බැලුවා කොහේද මේ සම්බන්ධව ඉගෙන ගන්න තියෙන්නේ කියලා. දැනට ලංකාවේ මේ සම්බන්ධයෙන් ලබාගන්න පුළුවන් ඉහළම තත්ත්වය තමයි NVQ Level 4. ඊට පස්සේ ලංකාවේ තියෙන උසස්ම ආයතනයේ ලියාපදිංචි වෙලා හැදෑරීමක් කළා. මම දැන් National qualified physical fitness trainer කෙනෙක්.
ජිම් එකට යන එක අනිවාර්ය නෑ
කාන්තාවන් ව්‍යායාම සඳහා එතරම්ම නැඹුරු නොවන හේතු ලෙස ඔබ දකින්නේ මොනවද? බොහෝ දෙනෙක් කිව්වේ සහ කියන්නේ ‘අනේ මට වෙලාවක් නෑනේ’ කියලා. මම එහෙම කියන අයගෙන් අහනවා ඔයාගෙ පවුල වෙනුවෙන්, සේවා ස්ථානය වෙනුවෙන් වෙන් කරන වෙලාවෙන් ඔයාට ඔයා වෙනුවෙන් විනාඩි 45ක් දවස් දෙකකට වතාවක් හොයා ගන්න බැරිද කියලා. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා කියනවා ඔව් පුළුවන්නෙ කියලා. ව්‍යායාම කරන්න නිශ්චිත වෙලාවක් නෑ. උදේම කරන්න ඕන කියලා. උදේට පහසු නම් උදේට කරන්න. හවසට වෙලාව හොයාගන්න පුළුවන් නම් හවසට කරන්න. කොහොම හරි ව්‍යායාම කරන්නයි ඕන. එහෙම පටන්ගත්ත අය ආපහු ඇවිත් කියනවා ව්‍යායාම පටන් ගන්න කලින් තිබුණ අපහසුතා සහ දැන් දැනෙන සැහැල්ලුව. මට හිතෙන විදියට කාන්තාවන් හිතන විදිය තමයි වෙනස් කරගන්න ඕනි.
ලස්සනට ඉන්න වියදම් කරන්න ඕන කියන එක බොරු මතයක්
ඔබ කියන පිළිවෙළට ආහාර ගන්න නම් අතමිට සරු වෙන්න ඕන නේද? එහෙම දෙයක් නෑ. අපේ රටේ හැදෙන, වටපිටාවේ තියෙන දේවල්වලින් නිසි පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් ශරීර සුවතා මධ්‍යස්ථාන වෙතට හා උපදේශකවරුන්ගේ සහාය ලබා ගන්න මැලිකමක් දක්වන්නේ මේ හේතුව නිසා. මොකද සමාජයේ මතයක් තියෙනවා උපදේශකවරුන් මිල අධික ආහාරපාන නියම කරන බවට. මෙහි සත්‍යතාවක් නැතුවමත් නෙවෙයි. ඒත් මම නම් මගේ සේවාදායකයන්ට දෙන්නෙ සුළු මුදලක් වැයකර ලේසියෙන් හොයාගන්න පුළුවන් ආහාරපාන වර්ගවලින් සමන්විත ආහාර සැලැස්මක්. මම මේ වෙලාවෙ විශේෂ කාරණාවක් මතක් කරන්න ඕන. මම මේ දවස්වල Diplomatic food and nutrition consultant කෙනෙක් වෙන්න සුදුසුකම් සපුරා ගනිමින් ඉන්නෙ.