විශේෂාංග

කොළඹ නයි තැළෙයි

කොළොම් තොට පොළොවට දරාගත නොහැකි තරමටම කොන්ක්‍රීට් බර දැනෙයි. හිස් ඉඩක් හොයාගත නොහැකි තරමටම කොළඹ පොළොව ‘සිමෙන්ති පොළොවක්’ වී තිබේ. පුදුමය නම් මේ සා නාගරීකරණය මැද වුවත් තවමත් කොළඹ නයි පොළොඟුන් ජීවත් වීමයි. මේ කියන්නේ ගෙන්දගම් පොළාව මත සිටින සියොළඟම විෂ ඇති කකුල් දෙකේ සර්පයන් ගැන නොව, දළගෙහි විෂ ඇති රුදුරු ඝොර සපුන් හෙවත් කොළඹ සිටින විෂඝෝර සර්පයන් ගැනය. එවැනි සර්පයෙක් හසුවුවහොත් කරන්නේ කුමක්ද කියාය.

කොළඹ ඉන්න ඝොර සපුන්

දිවයිනේ වසරකට සර්ප දෂ්ටන 80000 ක් පමණ වාර්තා වේ. එයින් 500 ක් පමණ මාරක දෂ්ටන වේ. සිංහරාජයේ හෝ වස්ගමු වනාන්තරයේ පමණක් නොව කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේද සර්ප දෂ්ටන වාර්තා වේ. මෙරට සිටින උග්‍ර විෂ සහිත සර්පයන් පස්දෙනෙකි. ඒ නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවලා සහ මුදු කරවලාය. මේ අතරින් සමහරෙක් ජීවත්වන විශේෂ දේශගුණික කලාප වේ. නමුත් නයා සහ තිත් පොළඟාට එය එතරම් අදාළ නැත. ඒ නිසා මේ උග්‍ර විෂ සහිත සර්පයන් අතරින් කොළඹදී හමුවන්නේ නයා හෝ තිත් පොළඟාය. මේ දෙදෙනා අතරින්ද වැඩිපුර දකින්නේ නයාය. මෙකී අනෙක් උග්‍ර විෂ සහිත සර්පයෙක් කොළඹ හෝ අවටදී මුණගැසුනොත් ඒ එක්කෝ කොහුබත් ලොරියක, වැලි ලොරියක නැගී පැමිණි එකෙක් මිස කොළඹ ‘ස්ථිර පදිංචිය’ සහිත සර්පයකු නොවේ.

ඇයි කොළඹත් නයි

අනෙක් සර්පයන් නාගරීකරණයත් සමගින් තමන් වෙසෙන පෙදෙස හැරදා ලඳු කැලෑ ආදී තමන්ට ජීවත් විය හැකි වෙනත් පරිසරයන් වෙත පසුබැස යන නමුත් නයා එයින් තරමක් වෙනස්ය. නයා ජීවත් වන්නේ උගේ කියා වෙන්කරගත් බල ප්‍රදේශයකය. මේ නයිහාමි තමන්ගේ වැයික්කිය අතහැර පිටමං වෙන්නට කිසිසේත් සූදානම් නැත. එනිසා එම ප්‍රදේශය ජනවාස වුවද, නයා තමන්ට ජීවත්විය හැකි තැනක් තමන්ගේ වැයික්කියෙන්ම සොයාගෙන එහිම සිටින්නේ, මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ‘පැරදීලා පලා ගියෙ නෑ’ කියන සිංදුවත් කියමින් විය යුතුය. කොළඹ නයි එයට අමතරව ‘කොඩි ගහ යට මම උපන්නේ’ සිංදුවද කියමින් ගෙන්දගම් පොළොවේ කරක් ගසයි. මෙයට වසර සියයකට පමණ මත්තෙන් කොළඹ තිබුණු ලඳු කැලෑ ගැන සමන් කළුආරච්චි මහතා ලියූ ‘කොළඹ පුරාණය’ පොතේ අපූරුවට සඳහන් කර ඇති අතර එදා කුරුඳු වගාවක් තිබූ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ වැසියන්ට, සතුන්ගෙන් හිරිහැර වූ හැටිද, නිවෙස්වල මිදුලේ සිටි නයි සේවකයන් විසින් මරා දැමූ හැටිද, කොළඹ ‘කැලෑවල’ පිඹුරකු අසුවූ කතාවක් ද සඳහන්ය. රැයක් එළිවී බලද්දී වෙනස් වෙනස් කොන්ක්‍රීට් හැඩතල කොළඹ මැවෙද්දී මේ නයි පරම්පරාව අනේක විධ බාධා ඉවසමින් වුව අදටත් ජීවත් වන්නේ තමන්ගේ වැයික්කිය හැර යෑමට සූදානම් නැති බැවිනි. වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි සහකාර නිශාන්ත සේනාධීර මහතා අප සමග පැවසුවේ පසුගිය දිනක කොළඹ වරායේ සිටි අඩි 8ක් පමණ දිගු දැවැන්ත නාගයෙක්ද ඔවුන් විසින් අල්ලාගෙන පැමිණි බවකි. ඒ නයා නැව් නැගී පැමිණි පිටරටක නයෙක් හෙවත් ‘ඉම්පෝටඩ් නයෙකු’ නොව නියම ‘ලෝකල් නයෙකු’ බව වනජීවී මහත්වරුන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ නාගයාද බොහෝවිට කොළොම්තොට සිදුවන ශීඝ්‍ර විපර්යාසයන් දැක දැක කෙසේ හෝ ‘දරණ ගසාගෙන සිටි’ නාග පරම්පරාවක එකෙකු විය යුතුය.

කොළඹ නයි අවසානයි?

සාමාන්‍ය නැයින්නක බිත්තර 20-25ක් පමණද හොඳින් වැඩුණු නැයින්නක් බිත්තර 45-60ත් ප්‍රමාණයක්ද දමයි. මෙයින් 90%කට වඩා ප්‍රමාණයකින් බිත්තර බිඳගෙන නයි පැටව් මතුවේ. ඒ අනුව නැයින්නක් යනු පැටව් මැෂිමක් වුවද ඇගෙන් බිහිවන නයින් අතරින් ඉතිරි වන්නේ ඉතාම අතළොස්සකි. අද කොළඹ සිටින නයි ශීඝ්‍රයෙන් වඳවීගෙන යයි. කොළඹ සිටින නයි වැඩිපුරම මරණයට පත්වන්නේ කුමක් නිසාද? ඒ රථවාහනවලට යටවීමෙනි. නයා යනු, මිනිසකු පොළොව මත තැබෙන අඩියක් තැබුවද එය හොඳින් තම සිරුරට සංවේදී වන සහ එවිට ඇතිවන කම්පනයේ තීව්‍රතාව මත ලොකු සතා සහ පොඩි සතා හඳුනාගත හැකි සර්පයෙකි. නයාගේ ඇස් පෙනීම අතිශයින් දුර්වල වුවත් බොහෝ විට ඈත වාහනයක් එන විට ඒ එන දිශාවේ එල්ලයෙන් තමන්ගේ ගමන්මග වෙනස් කරන්නට හැකියාව නයාට තිබේ. නමුත් කොළඹ අවට නයි වැඩිපුරම මැරෙන්නේ පාර මාරුවීමට ගොස් වාහනවලට යටවීමෙන් බව පශු වෛද්‍ය එස්.එන්.එච් සුරංජිත් මහතා ඇතුළු කොළඹ ප්‍රදේශයේ සතුන් ගැන සෝදිසියෙන් සිටින වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු අප සමග පැවසූහ. සමහර විට කොළඹ නයි, සිය ජීවන අරගලයේ දහසකුත් එකක් ප්‍රශ්න ඔළුවේ තබාගෙන පාර මාරුවන්නට ගොස් මෙසේ වාහනවලට යටවනවා යැයි ඔබට සිතෙන්නට පුළුවන. එසේ නම් කොළඹ නයින්ට වන මේ විපත පාඩමක් කරගනිමින් ඔබ අනෙක් ප්‍රශ්න අමතක කර නිදහස් මනසින් පාර පනින්න යැයි අපි මෙහි අතුරු සටහනක් තබමු.

කෙමිකල් මැද නයි – ඉන්නේ කොහොමැයි

කොළඹ නයින්ට ඉන්න හිටින්නට හෝ යන්න කියන්නට හරිහමන් තැනක් නැතිකම උන්ගේ විනාශයේ අනෙක් ප්‍රධාන කරුණ වී තිබේ. උන් සිටින්නේ කුණු කානු ආශ්‍රිතව හෝ මී ගුල් ආදිය ආශ්‍රිතවය. නමුත් කොළඹ සිදුවන ක්‍රියාකාරකම් නිසා මෙසේ ඉන්නා තැනක හෝ යන එන තැනකදී රසායනයන් හෙවත් කෙමිකල් හෝ කළුතෙල් ආදිය උන්ගේ ඇඟේ තැවරෙයි. ඉතාම සංවේදී සමක් සහිත මේ සර්පයන් මියැදීම පිණිස ඒ විෂ හෝ එයින් ඇතිවන සමේ රෝගය ප්‍රමාණවත්ය.

කොළඹ නයින්ට මන්ද පෝෂණය

අද කොළඹ නයින් වඳවීමට යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ උන්ට කෑමට හරි හමන් දෙයක් නොලැබීම බවද සත්වවේදීහු අපට පැවසූහ. නයාගේ ප්‍රියතම කෑම වර්ග දෙකෙන් එකක් වන්නේ ගෙයි ගෙබ්බන්ය. ගෙම්බන් වර්ග කොතෙක් හිටියත් නයා විසින් කෑමට ගන්නේ ‘ගෙයි ගෙම්බන්’ යන ගෙඹි විශේෂය පමණි. එදා ගෙයි ගෙම්බන් සුලබව සිටියද අද ගෙයක් ගෙයක් ගානේ ගියද ගෙයි ගෙම්බකු සොයා ගැනීම ලෙහෙසි නැත. ගෙයි ගෙම්බාගේ වඳවී යෑමත් සමගම කොළඹ නයාගේ බඩට එය තදින් දැනෙන්නට ගෙන තිබේ. නයාගේ අනෙක් ප්‍රියතම අහර වන්නේ මීයන්ය. කොළඹ මීයන්ගෙන් අඩු නැති වුවත්, කොළඹ පරිසරයේ නයාගෙන් ගැලවී ජීවත්වීමට අවශ්‍ය තරම් ‘කොන්ක්‍රීට් බංකර’ මීයාට ඇත. ඒවා අස්සේ රිංගීමට නයා එන්නේ නැත. මේ සියල්ලේ ප්‍රතිඵලය නිසි පෝෂණය නොමැතිකමින් හෙවත් මන්ද පෝෂණයෙන් නයාගේ ඉරණම තීරණය වීමය.

නයින්ට ‘බොඩිං’ සහ ‘අපාර්ට්මන්ට්’ අපෙන්

නයා නයාගේ පාඩුවේ හිටියාට අපට කමක් නැත. නමුත් නයි ගෙවල් ඇතුළට, ගෙවතු ඇතුළට රිංගන්නට වීම මාරාන්තික අවදානමක් ගෙන දෙන්නකි. දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී සහ සර්පයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති දේශකයකු මෙන්ම දිවිහිමියෙන් සර්පයන්ගේ ගැලවුම්කරුවකු බවට පත්ව සිටින නිහාල් සෙනරත් මහතා පවසන්නේ නයින්ට ගෙවල් ඉඩම් ආශ්‍රිතව පදිංචි වීම සඳහා නවාතැන් පහසුකම් සපයන්නේ අප විසින්ම බවය. වරෙක කොළඹ අවට තැනක ගොඩගසා ඇති ඇස්බස්ටස් තහඩු තොගයක් යට නයකු සිටින බව සැලවී ඔහු එහි ගොස් ඇත. ඔහුද මිතුරකුද එක්වී එහි තිබූ තහඩු 20න් 19ක් ඉවත් කළේ යටම තහඩුව යට සිටින නයා නිරුපද්‍රිතව අල්ලා ගැනීම සඳහාය. මෙසේ සිදුකර යටම තහඩුව ඔසවද්දී එක නයකු නොව හොඳ සයිස් නයි තිදෙනකු එහි පීලි යට සිට එහෙ මෙහේ ඇදීගොස් ඇති අතර වරෙකට නයි දෙතුන් දෙනකු අල්ලා ගැනීමට පිණිස අත් දොළොසක් නැති බැවින් නිහාල් මහතා ඉන් එකකු පමණක් අල්ලා ගත්තේය. නයා යනු රංචු පිටින් සිටින සතකු නොව තනිව වෙසෙන සතකු වුවද ඉන්න හිටින්නට හරි හමන් තැනක් නොතිබී ඇති බැවින් නයි තිදෙනා පොළොව මත ඇති ඇස්බැස්ටස් තහඩුවේ පීලි තුනක් වෙන්කරගෙන ‘අපාර්ට්මන්ට්’ ක්‍රමයට කොළඹට සරිලන ලෙසින් ජීවත් වී තිබේ.

නයින් වෙනුවෙන් අපි හදාදෙන මෙවැනි ‘උදාගම්’වලට අමතරව අප වතුවල දමා ඇති පී.වී.සී බට, ඇන්ටනා බට ආදියද නයින් විසින් තමන්ගේ ‘බෝඩිං’ බවට පත්කර ගන්නා බව ඒ මහතා කරුණු කාරණා සහ සිද්ධි සහිතව පෙන්වා දුන්නේය.

සර්පයින් අල්ලන සාස්තර

වනජීවී මහත්වරු පවසන අන්දමට අද බොහෝ උදවිය සර්පයකු දුටු සැණින් උන්ව තළා දමනවා වෙනුවට උන්ද අපද නිරුපද්‍රිත තත්ත්වයෙන් උන්ව බැහැර කිරීමට උනන්දු වීමේ ප්‍රවණතාවක් අද සමාජයේ තිබේ. මෙහිදී සර්පයා කුඩා නම් බෝතලයක දමාගෙන හෝ ඌ තරමක් විශාල නම් පී.වී.සී බටයකට ඇතුළු කර හෝ අල්ලාගත හැකිය. සර්පයා කුඩා නම්, අඩි 5ක් 6ක් පමණ දිග කැටපොළ කරුවක ආකාරයේ අගිස්ස පිහිටි කෝටුවක් ගෙන එහි කරුව සර්පයාගේ හිසට මඳක් පහළින් සිටින සේ සර්පයාගේ සිරුරට සිරකර, එය හෙමින් නිදහස් කරන අතරේ සර්ප කඳ පිටුපසින් පොඩි තල්ලුවක් දෙමින් ඌව, ‘මෙගා බෝතලයකට’ ඇතුළු කරගත හැකිය. මෙසේ ‘බෝතල් කරන ලද ’ සර්පයාට හුස්ම ගැනීමට හැකිවන සේ බෝතලයේ සිහින් හිල් විදිය යුතුය.

සර්පයා ලොකු නම් සර්පයාගේ බඳ මත ලීයක් තබා සිර කර ‘එන්ඩ් කැප්’ එකකින් එක කොනක් හොඳින් වසන ලද ප්‍රමාණවත් දිගැති පී.වී.සී බටයක් ගෙන, සර්පයාගෙ හිස අසලට ළං කළ විට ඌ උගේ ජන්ම පුරුද්ද පෙන්වා බටය තුළට රිංග ගනියි. සර්ප සිරුරෙන් තුන්කාලක් පමණ ඇතුළට රිංගාගත් පසු බටය ඔසවා සතාට හුස්ම ගැනීමට අවහිරයක් නොවන පරිදි අනෙක් කොන තදින් වැසීමෙන් සර්පයා අල්ලාගත හැකිය. නමුත් මෙම ක්‍රමවේද පුවත්පත් ලිපියකින් පහදා දීමට යෑම යනු තැපැල් මාර්ගික පිහිනුම් පාඨමාලාවක් වැනි දෙයක් විය හැකි බැවින් ඒ පිළිබඳව මතු දැක්වෙන දුරකථන අංකයකින් වැඩි විස්තර විමසන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

අල්ලන සර්පයි- දෙන්නේ කාටැයි

ඔබ විසින් කොළඹදී මෙසේ අල්ලා ගන්නා ලද සර්පයකු කොළඹ බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ අත්තිඩිය කහවිට මාවතේ පිහිටි වනජීවී අඩවි කාර්යාලයට භාරදිය හැකිය. එම අඩවි කාර්යාලයේ දුරකථන අංකය 0113604147 වේ. එය පැය 24 පුරාම ඔබ ගෙනෙන සර්පයන් භාර ගැනීමට සූදානමින් ඇත. පවතින ප්‍රවාහන පහසුකම් මඳකම ඇතුළු ප්‍රායෝගික ප්‍රශ්න මත ඔබේ නිවසට හෝ වත්තට ඇතුළු වූ නයා, පොළඟා අල්ලා ගැනීම පිණිස ඒමට ඒ මහතුන්ට අපහසු නමුත් ඔවුන්ගේ ගමනක් යෙදී ඇති ප්‍රදේශයක නම් පැමිණ හෝ සර්පයා අල්ලා ගැනීමට ඔවුන් සූදානම්ය. නැතිනම්, ඒ මොහොතට අනුව අවශ්‍ය උපදේශයක් ගැනීමට හෝ එම දුරකථන අංකය කොළඹ ජනතාව සතුව තබා ගැනීම නුවණට හුරුය.

දෙහිවල සත්වෝද්‍යානය යනු සර්පයන් භාරගන්නා තැනක් නොවන නමුත් ඔබ විසින් සර්පයකු අල්ලා ගෙනැවිත් දුනහොත් ‘එපා’ කියා හරවා එවන්නේ නැත.

කොළඹ අවට සර්ප අභය භූමි

අද කොළඹ හා අවටින් අල්ලා ගන්නා සර්පයන් බොහොමයක් දෙනා විසින් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියට මුදාහරින්නේ බෙල්ලන්විල පන්සල දෙස බලා සතෙකුට ‘අභය දානය දීමේ’ පිනත් අනුමෝදන් වෙමිනි. සමහරෙක්, දියවන්නාව අවට ඇති කැලෑ බිමටද අල්ලා ගන්නා සර්පයන් මුදාහරිති. එවිට, දියවන්නා ජල කඳ මැදට යන එන සමහර සර්පයන්ගේ විෂ සමග හැරෙන්නවත් බැරි මේ සර්පයෝ ඒ ගැන ලැජ්ජාවෙන් මෙන් ඒ කැලෑව තුළට රිංගා හැංගෙති. අල්ලාගන්නා කුඩා ප්‍රමාණයේ සර්පයන් මුදාහරින අලුත්ම ස්ථානයක් වී ඇත්තේ අධිවේගී මාර්ගයේ කඩුවෙල අතුරුගිරිය දෙසට කණු මතින් දිවෙන කොටසයි. ඒ පහළ ඇත්තේ පුරන්ව ගිය වෙල්යායකි. බෝතලයේ දමාගෙන එන සර්පයා, බෝතලයේ මූඩිය හැර, වාහනයේ වේගය අඩුකර අධිවේගී මගෙන් ඈතට ගුවන්ගත කරයි. බෝතලය වැටෙන්නේ පුරන් බිම මතටය. අපේ නයි අනුන්ගේ වතුවලට දැමීම කෙතෙරම් දුරට සදාචාර සම්පන්නද යන්න වෙනම සිතාබැලිය යුතු නමුත් සිදුවන්නේ එයයි.

නොදන්න සර්පයින් අල්ලා නැහෙන්න එපා

පසුගිය දිනක ‘මම පිඹුරෙක් අල්ලා ගත්තා’ යැයි කියමින් බෑගයක දමාගත් සර්පයකු දෙහිවල සත්තු වත්තට රැගෙන ආ තරුණයකු බෑගයට අතදමා උගේ බෙල්ලෙන් අල්ලා සත්වෝද්‍යාන සේවකයන්ට පෙන්වූ විට ඔවුන්ගේ තරු විසි විය. ඒ සිටියේ පිඹුරකු නොව පත පොළඟෙකි. නමුත් පූරුවේ පිනකට කිසිවකුට අතුරු ආන්තරාවක් සිදු නොවීය. එබැවින් නොදන්නා සර්පයන් ඇල්ලීමකට ගොසින් තමන් නැහෙන්නට එපා යැයි අවවාදයක්ද මේ සමගින් දෙන්නෙමු. එසේම ගෙවල් දොරවල් වතුපිටිවල අනවශ්‍ය දෑ ගොඩගසා තබාගෙන ‘අහක යන නයි වත්ත අස්සෙ දාගන්න එපා’ යැයිද කියන්නෙමු.

ඉන්ද්‍රජිත් සුබසිංහ