විශේෂාංග

කොවිෂීල්ඩ් එන්නතේ ආරක්ෂිත ප්‍රතිශක්තිය සති 16ට වැඩිවෙලා

රට පුරා මේ වනවිට පැතිර යන කොවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීමට තිබෙන විකල්පය වන්නේ එන්නත්කරණ වැඩපිළිවෙළ නොකවඩා පවත්වාගෙන යෑම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පවසා තිබුණි. කෙසේ වුවද මේ වනවිට එන්නත්කරණ අතරමග නතරවී ඇති බවට ඇතැම්හු චෝදනා නගන අතර, කොවිෂිල්ඩ් පළමු එන්නත ලබාගත් පිරිසට තවමත් දෙවැනි එන්නත නොලැබීම පිළිබඳව යම් යම් මැසිවිලි නැගෙනු ඇසේ. කොවිෂීල්ඩ් එන්නතට අමතරව තවත් එන්නත් කීපයක් මේ වනවිට ලොව පුරා භාවිත වන අතර ඒවාද මෙරටට ගෙන්වීම පිලිබද පසුදිනවල සාකච්ඡා පැවැත්විණි. කොවිෂීල්ඩ් දෙවැනි එන්නත ලැබෙන්නේ කවදාද? චීන එන්නත් ලක්ෂ හයක් ලැබී තිබුණත් ඒවා මෙරට ජනතාවට ලබාදෙන්නේ කවදාද? අනෙකුත් එන්නත් මෙරටට ගෙන්වනවාද යන්න පිළිබදව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ සමග කළ සංවාදයයි මේ.

පසුගිය ජනවාරි 29 වැනිදා කොවිඩ් මර්දන එන්නත හෙවත් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නා. එහි දෙවැනි මාත්‍රාව සති 12කින් ලබා දෙන බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කළා. නමුත් මේ වන විට එම කාල සිමාව ඉකුත් වී තිබෙනවා. මෙසේ කාලය ක්‍රමයෙන් ඉකුත් වී යාම තුළ ලබා දුන් පළමු මාත්‍රවෙන් ප්‍රයෝජනයක් වේවිද?

විවිධ වයිරසයන් සඳහා විවිධ ආකාරයේ එන්නත් තිබෙනවා. සාමාන්‍යයෙන් එන්නතක් දුන්නාම එන්නත ප්‍රතිදේහ ජනකයක් ලෙස ශරීරය තුළ ක්‍රියා කරලා ප්‍රතිදේහ සාදනවා. ඒ මගින් ගොඩනැගෙන ප්‍රතිශක්තිය යම් රෝගයක් සාදන්න ශරීරයට අතුළු වෙන විෂබීජයක් විනාශ කරන්න ක්‍රියාකරනවා. මේ ප්‍රතිදේහ ජනකය ප්‍රතිදේහ සෑදීමට අමතරව ශරීරය තුළ මතක සෛල හදනවා‍. වයිරසයක් සඳහා ලබාදෙන ඕනෑම එන්නතක සාමාන්‍ය ක්‍රියාවලිය මේ වගේ.

කොවිඩ් එන්නත ගැන කතා කළොත් කොවිෂීල්ඩ් එන්නත ලබාදුන්නාට පසුව වයිරසයට මුහුණ දීම සඳහා ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙනවා. ඒ මගින් රෝගයට ඔරොත්තු දීම සඳහා ප්‍රතිශක්තියක් හදනවා, ඒ වගේම මතක සෛලත් හදනවා‍. එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයෙකුට නැවත වයිරසය ආසාදනය වුවහොත් මේ මතක සෛල නැවත ක්‍රියාත්ම වී ප්‍රතිදේහ හදලා ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගනවා.

විවිධ වයිරස් රෝගයන් සඳහා ලබාදෙන ප්‍රතිශක්තියේ කාලපරාසය වෙනස්. උදාහරණක් ලෙස කියනවා නම් සරම්ප එන්නත මගින් අපට ලබා දෙන්නේ ආරක්ෂික මට්ටමේ ප්‍රතිශක්තියක්. ආරක්ෂිත මට්ටමේ ප්‍රතිශක්තියක් කියන්නේ රෝග කාරක වයිරසය ශරීරටයට ඇතුළු වුණාම එම වයිරසය මැඬපවත්වන්න කොපමණ ප්‍රතිදේහ ප්‍රමාණයක් ශරීරයේ තියෙන්න ඕනේද කියන එකයි. ආරක්ෂිත මට්ටමේ ප්‍රතිශක්තිය කොපමණ කාලයක් ශරීරයේ තියෙනවාද කියන කාරණව මත තමයි දෙවැනි මාත්‍රාව තීරණය වෙන්නේ.

කොවිෂීල්ඩ් එන්නත කියන්නේ අලුතින්ම ලෝකයට හඳුන්වා දුන් එන්නතක්. ඒවායේ තොරතුරු දිනෙන් දින අලුත් වෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ පිළිබඳව දිගින් දිගටම පර්‌යේෂණයන් කරන නිසා අලුත් තොරතුරු ලැබෙනවා. මේ එන්නත නිපද වූ මුල් කාලයේ කියවුණේ ආරක්ෂිත ප්‍රතිශක්තිය තියෙන්නේ සති 4ක් දක්වා පමණයි කියලා. නමුත් මේ විට ඒ දින වකවානු වෙනස් වෙලා එය සති 10 – 12 දක්වා කාලයක් තියෙන බව පර්‌යේෂණයන්ගෙන් තහවුරු වෙලා තියෙනවා. නමුත් දැන් ආයේමත් සොයාගෙන තියෙනවා ආරක්ෂිත ප්‍රතිශක්තිය සති 16 දක්වා පවතිනවා කියලා.

එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන තීරණ ගන්න කමිටුවක් තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශයන් පදනම් කරගෙන තමයි එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ දින වකවානු තීරණය කරන්නේ. දැන් කොහොම වුණත් මැයි මාසයේ පළමු සතියේ ඉඳලා දෙවැනි මාත්‍රාව ලබා දීමට සූදානම් කරලා තියෙනවා.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මගින් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කොපමණ කාලයකට රැකවරණය ලැබෙයිද?

පළමු මාත්‍රාවේදී ශරීරයේ තුළ ගොඩනැගුණ මතක සෛල මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ නිකුත් කරලා තිබෙන්නේ රටකට ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව එක එන්නත් මාත්‍රාවක් බොහෝ දෙනෙකුට දෙනවද? වැඩි ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම දෙනවාද කියන එක රටේ වසංගත තත්ත්වය අනුව තීරණ ගන්න කියලා. අපි එහෙම පෙර සූදානමක් ලෙස තමයි එන්නත් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ. දෙවැනි එන්නත් මාත්‍රාව නැවත අපට ලබා දෙන්න පුළුවන් නම් මතක සෛල මගින් යළිත් ප්‍රතිශක්තිය ඇති කරගන්න පුළුවන්. පළමු හා දෙවැනි මාත්‍රාව දුන් පසුව රෝගයට නිරාවරණ වුණත් කොපමණ කාලයකට ආරක්ෂාවක් ලැබෙයිද කියලා කියන්න දන්නේ නැහැ. මොකද මෙම නව කොරෝනා වයිරසය ලෝකයට තවමත් අලුත්, ඒ වගේම අලුත් එන්නත් නිසා‍. නමුත් යම්කිසි ප්‍රමාණයකට ආරක්ෂවක් තියෙනවා.

කොවිෂීල්ඩ් එන්නතින් පළමු මාත්‍රාව දුන් කෙනෙකුට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය හැකිද?

මේ සම්බන්ධයෙන් විදේශීය රවවල්වල පර්‌යේෂණ පැවැත්වෙනවා. පළමු මාත්‍රාව එක එන්නතකිනුත් දෙවැනි මාත්‍රාව තවත් එන්නතකින් දිය හැකිද යන්න පිළිබඳව සොයා බැලීමට සාක්ෂි මත පදනම්ව තවමත් තහවුරු වෙලා නැහැ. ඒ නිසා දැනට එන්නත් වර්ග වෙනස් කරලා තවම දෙන්න පුළුවන්කමක් නැහැ.

පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන විට තිබූ ප්‍රභේදය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් ව්‍යාප්ත වෙන ප්‍රභේදයන් වෙනස්. ඒ අනුව මුලින් ලබා දුන් කොවිෂීල්ඩ් එන්නතම දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීමෙන් පලක් වේවිද?

ඕනෑම වයිරසයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ආසාදනය වීමේදී එහි විකෘතිතා ඇති වෙනවා. එහෙම වුණාට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වයිරසයේ ව්‍යුහය හඳුනාගත නොහැකි වෙන්නේ නැහැ. කොවිඩ්වලදී ව්‍යුහය විදිහට හඳුනාගන්නේ වයිරසයේ ස්ප්‍රික් ප්‍රෝටීන ආවරණය. කෙඳි වැනි ස්භාවයකින් පෙන්නුම් කරන්නේ ස්ප්‍රික් ප්‍රෝටීන් ආවරණය. මෙම කෙඳි සහිත ව්‍යුහය හඳුනාගැනීම තමයි එන්නත නිපදවීමේදී යොදා ගන්නේ. මෙන්න මේ වෙනස්කමක් එනම් කෙඳි වැනි ස්වාභවය හෙවත් ස්පික්ප්‍රෝටීන්වල යම් විශාල විකෘතිතාවක් ඇති වුණොත් ඒ කියන්නේ අලුත් ප්‍ර‌භේදයක් ඇති වුණොත් එවන් අවස්ථාවකදී එන්නත ලබාදීම සියයට සියයක සාර්ථකත්වයක් පෙන්වයි කියලා කියන්න අමාරුයි‍. නමුත් දැනට තියෙන පර්යේෂණ වාර්තාවන්ට අනුව එහෙම ව්‍යුහාත්මක වෙනසක් පිළිබඳව සොයාගෙන නැහැ.

කොහොම නමුත් කොවිඩ් රෝග පාලනය සදහා අප රට තුළ භාවිත කළේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත පමණයි. නමුත් රුසියා‌වේ නිෂ්පාදනය කළ “ස්පුට්නික්” එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ විද්වත් කමිටුවෙන් අවසර ලබා දී තිබෙනවා. නමුත් තවමත් භාවිතය සඳහා ගෙන්වා නැහැ. ඒ වගේමයි “ෆයිසර්”එන්නත මෙරටට ගෙන ඒනවා කිව්වා. සාකච්ඡාවට කීපයක්ම පැවැත්වුවා. චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 6ක ලැබි තිබුණා. නමුත් මේ එන්නත් ජනතාට ලබා දීම දිනෙන් දින කල් යනවා. මේකට හේතුව මොකකද?

එන්නතක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න නම් එය අප රටේ පවතින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවෙන් නිර්දේශ විය යුතුයි. එහෙම නැති එන්නතක් මෙරට ජනතාවට දෙනන් තියා ගේන්වත් අවසර නැහැ. මේ වන විට චීනයේ නිෂ්පාදනය කර තිබෙන සිනොෆාම් එන්නත ගෙන ඒමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලබා දී තිබෙනවා. හෑබැයි ඒ එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දීම සදහා පමණයි. අපේ රටේ ජනතාවට දෙන්න ඖෂධ නියාමන අධිකාරියේ සඵලතාවය සහ ආරක්ෂාකාරී බව ගැන තව සාක්ෂි ඉල්ලා තියෙනවා. ඒක ලැබුණාම හෝ අපේ විද්වත් කමිටුව ගන්න තීරණයක් මත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත හදිසි අවශ්‍යතාවන්ට භාවිත කළ හැකි බවට සහතික කිරීමත් සමග අපේ අයට දෙන්න පියවර ගන්නවා‍. ඒ අතර ස්පුට්නික් එන්නත ගෙන්වන්න අවසර ලැබී තිබෙනවා. ඉදිරියේදී එය ගෙන්වයි. ෆයිසර් එන්නත ගෙන්වන්න මූලික සාකච්ඡාවට කීපයක්ම පවත්වලා තියනවා.

මේ දිනවල පැතිරෙන වයිරසය තරුණ ප්‍රජාවට වැඩි බලපෑමක් එල්ල කරනවා කියලා වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්…

අවුරුදු සමයෙන් පසුව රෝගයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. අවුරුදු සමයේ ප්‍රවේශම් නොවීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. තරුණ ක්‍රියාශීලී අයට තමයි රෝගය පැතිරීම වැඩිවීම අපි දිගටම අත්දැක්කේ. නමුත් රෝහල් වෛද්‍යවරුන් කියන විදිහට රෝග ලක්ෂණ ඔවුන් අතර මේ දිනවල වැඩිපුර දැකලා තියෙනවා. නමුත් තවමත් වැඩිහිටි අයට හා නිදන්ගත රෝග තියෙන අයට රෝගයෙන් සංකූලතා ඇතිවීමත් මියයෑමටත් තියෙන අවදානම වැඩියි. රෝගයට වැඩියෙන් ගොදුරු වුණ කණ්ඩායම් ගතහොත් තරුණ ක්‍රියාශීලී කණ්ඩායම් තමයි වැඩි කොටසක්. නමුත් තීව්‍ර සංකූලතා ඇතිව මියයෑමේ අවදානම වැඩි වශයෙන් පවතින්නේ වැඩිහිටියන්ටයි. ඒකේ වෙනසක් වෙලා නැහැ.

මේ වන විට පැතිර යන නව කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණවල යම් වෙනසක් සිදුවී තිබෙනවාද?

රෝග ලක්ෂණවල ශීඝ්‍ර වෙනසක් සිදුවෙලා නැහැ. පෙර රෝග ලක්ෂණම තමයි පෙන්නුම් කරන්නේ. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, රසදැනීමේ හා ගඳ සුවඳ දැනීමේ වෙනස, රෝගය උත්සන්න වුණාම තමයි හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙන්නේ.

පසුගිය කාලයේදී රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවීමක් දැක්කා. ඒත් එක්කම ඇතැම් පාර්ශ්ව කියන්න ගත්තා පීසීආර් පරීක්ෂණයන් අඩුවීම තුළ රෝගීන් හඳුනාගැනීමට නොහැකි වන නිසා ව්‍යාජ අඩුවක් පෙන්නුම් කළා කියලා. ඇත්තටම පසුගිය දිනවල ඇත්තටම රෝගීන් වාර්තා වීමේ අඩුවක් වුණාද? නැති නම් එය ව්‍යාජ අඩුවීමක්ද?

පීසීආර් පරීක්ෂණ අඩුවෙන් කළා කියන කතාව පිළිගන්න බැහැ. පීසීආර් පරීක්ෂණයන් තවමත් ඉහළ මට්ටමක තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයක් තියෙනවා වඩාත් අවදානම් කණ්ඩායම්, පරීක්ෂණවලට ලක්කරණ විට එක් රෝගියෙක් හඳුනාගැනීමේදී අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු රෝගීන් නොවන බව තහවුරු කළ යුතුයි කියලා. මේ නිර්ණායකය අපේ රටේ 20 – 40 අතර තිබුණේ. ඒ කියන්නේ පරීක්ෂණවලට ලක්කළ යුතු රෝගීන් පරීක්ෂා කිරීමේදී එක් රෝගියෙක් හඳුනාගැනීමට පුද්ගලයන් 20ක් 40ක් පරීක්ෂා කළ යුතු වෙනවා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීත නිර්ණායකයට වඩා වැඩියි. ඒ කියන්නේ අපේ රටේ නිර්ණායකය දෙගුණයකටත් වඩා වැඩියි.

ඒ වගේමයි ඉලක්කගත කණ්ඩායම්වලට කරන පරීක්ෂණ මගින් හඳුනාගන්නා රෝගීන්ගේ ප්‍රතිශතයක් විදිහට දිගටම වාර්තා වුණේ සියයට 5ට අඩු ප්‍රමාණයක්. පරීක්ෂණ 10000 – 15000 අතර කිරීමේදී රෝගීන්ගේ අඩුවක් දැක්කේ. ඒ වගේම කොරෝනා රෝග ලක්ෂණ රෝගීන් රෝහල් ගත වන රෝගීන්ගේ අඩුවක් තිබුණා. ව්‍යාජ අඩුවක් නම් රෝහල්ගත වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් වෙන්න ඕනේ. රටේ රෝගීන් වැඩිවෙනකොට රෝහල්වලට එන රෝගීන් වැඩිවිය යුතුයි.

රටේ දැන් දැන් ඇති වෙමින් පවතින තත්ත්වය සතුටුදායක නැහැ. මේ තත්ත්වය ඉක්මනින් පාලනය කර ගැනීම සඳහා ජනතාවට දිය යුතු උපදෙස් මොනවාද?

ඇත්තටම මේ රෝගය තමන් තනි තනිමව පාලනය කර ගත යුතු රෝගයක්. ඒ වගේම සාමූහිකවත් රෝගය පාලනය සඳහා කැප විය යුතුයි. හැම පුද්ගලයෙකුටම වගකීමක් තියෙනවා තමන් ප්‍රවේසම් වීමට, ඒ වගේම අනිත් අයව ආරක්ෂා වෙන විදිහට වගකීමෙන් වැඩ කිරීම. හැම කෙනාම මුව ආවරණය නියමිත පරිදි පැලඳීම, දුරස්ථභාවය රැක ගැනීම, නිතරම සබන් ගා දෑත් පිරිසුදු කර ගැනීම, නිතර මුහුණ අතගෑමෙන් වැළකීම, අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වැළැක්වීම, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදීම, නිවසින් බැහැරට යනවා නම් එක් අයෙක් හෝ දෙදෙනෙකු පමණක් පිටවයෑම, හැකි සෑම විටම නිවසේ රැඳීම වැනි සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම තුළින් රෝගය බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි සාමූහිකවත් අපිට වගකීමක් තියෙනවා විවිධ උත්සව හා තරග සංවිධානය නොකර සිටීමට. තනි තනිව හා කණ්ඩායම් වශයෙන් අපි අපේ වගකීම ඉටු කරනවා නම් මේ රෝගය පාලනය කරගැනීම අපහසු නැහැ.

සංවාදය – ශ්‍රියානි විජේසිංහ