විශේෂාංග

කොවිඩ් පරීක්ෂාව බල්ලට ගිහින්

ලොවටම මාරකයක් වී ඇති කොරෝනා වයිරසය ලොවෙන් තුරන් වන දිනයක් ගැන සැවොම මගබලා සිටිති. රෝගීන් සොයා ගැනීමට දරන වෙහෙසත්, ඖෂධ සොයා කරන පර්‌යේෂණත් අතරේ බලු ඉව උපයෝගී කොටගෙන කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පිළිබඳ පර්‌යේෂණද මේ දිනවල සිදුවෙමින් පවතී.

මෙම පර්‌යේෂණය සඳහා එක්ව සිටින්නේ ඝර්ම කලාපීය රෝග හා සනීපාරක්ෂාව පිළිබඳ ලන්ඩන් පාසලේ (LSHTD) විද්‍යාඥයන් කණ්ඩායමක් හා ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසකි.

මෑතකදී හඳුනාගත් ලෙඩ රෝග අතර කොරෝනා වයිරසය තරම් මිනිසාට වධයක් වූ අන් රෝගයක් නැත. මෙම වයිරසය රැගත් සුළඟ පවා හමා එන්නේ මිනිසාට එදිරිවය. ඒ එදිරිවාදිකම කොතෙක්ද යත් එක්කෝ තම හිතෛෂීන් සදහටම හෝ අඩුම තරමේ සති දෙක තුනකටවත් වෙන්කර තබන්නට සමත්ය. මේ නිසාම රෝගයෙන් වැළකී සිටීමටත්, රෝගය වැලඳුණේ නම් ඉන් අත්මිදීමටත් මිනිසාට මහ අරගලයක් කරන්නට සිදුවේ. ඒ අරගලය කරදරයක් වන්නේ මුඛවාඩම් දැමීම, නිතර අත් සේදීම, ශරීරය පිරිසුදු කර ගැනීම මෙන්ම අස්සක් මුල්ලක් නෑර විෂබීජ නාශක ඉසින්නට සිදුවීමෙනි. යම් හෙයකින් ආසාදිතයකු හමුවුවහොත් ඔහු ආගිය තැන් අතපත ගෑ දේ මෙන්ම ආශ්‍රය කළ අයද සොයා රටම පීරන්නට සිදුවේ.

කෙසේ නමුත් මේ සියල්ල එක මිටකට ගනිමින් මිනිසාට උදව් කරන්නට බලු කණ්ඩායමක් එක්ව සිටී. ඒ පිළිබඳ පර්‌යේෂණ සිදුකරන විද්‍යාඥයන් විශ්වාසය පළකරන්නේ ‘බල්ලාගේ ඉව භාවිත කරමින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය සාර්ථක එකක් වනු ඇති බවටය. ඒ විශ්වාසයේ සිට ඔවුන් දැන් එම කාර්යයට අත ගසා තිබේ. ඒ අනුව දැන් සුනඛයන් සයදෙනකුගේ කණ්ඩායමක් එම පුහුණුව ලබමින් සිටී. ඔවුන් හඳුන්වන්නේ සුපර් සික්ස් ලෙසය. නෝමන්, ඩිග්බි, ස්ටෝම්, ස්ටාර්, ජැස්පර් හා ඈෂර් මේ කියන සුපර් සික්ස් කණ්ඩායමේ සාමාජිකයන් වන අතර උන් එකෙකුට එකෙක් නොදෙවෙනි අන්දමෙන් පුහුණු කාර්ය සපුරා ඇති බව කියයි.

මෙම බලු කණ්ඩායමට ලැබෙන්නේ සති අටක පුහුණුවකි. එහිදී ඔවුන්ට කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ නිවැරදි භාවය 90% තරම් වන බවද සඳහන්ය. මෙම සත්වයන්ට පුහුණුව ලබාදීමෙන් පසු පොදු ස්ථානවල යෙදවීමට හැකි බව පර්‌යේෂකයන්ගේ අදහසයි. ඒ අනුව දුම්රිය ස්ථාන, ගුවන් තොටුපොළ, බස්නැවතුම් වැනි ජනාකීර්ණ ස්ථානවලට මොවුන්ගේ සේවය ලැබෙනු ඇත.

සුපර් සික්ස් කණ්ඩායමේ සුනඛයන් ගතහොත් ඔවුන් වර්ග කිහිපයකට අයත්ය. කොතර් ස්පැනියල් වර්ගයේ සුනඛයන් තිදෙනෙක්, ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛයෙක්, ලැබ්‍රඩුඩ්ල් වර්ගයේ සුනඛයෙක්, ලැබ්‍රඩෝර් ගෝල්ඩන් ට්‍රයිවර් දෙමුහුන් සුනඛයෙක් ඊට ඇතුළත්ය. මෙම සතුන් මෙවැනි ක්‍රියාවන්ට බෙහෙවින් දක්ෂ බව කියති.

තවද අතීතයේ පටන් මිනිසා හා සුනඛයා අතර තිබුණේ ළඟ බැඳීමකි. ඒ බැඳීම කොතරම් වුවත් බල්ලාගේ ඉවට ළංවෙන්නට නම් මිනිසාට කවදාවත් නොහැකිය. මක්නිසාද යත් මිනිසාගේ ආඝ්‍රාණ සංවේදකවලට වඩා සුනඛයාගේ ආඝ්‍රාණ සංවේදකවල ප්‍රබලතාව දසදහස් ගුණයකින් ප්‍රබල බැවිනි. එය කෙතරම්ද යත් අක්කර කීපයක් විශාල ජලාශයක දියවී ඇති සීනි තේ හැන්දක ආඝ්‍රාණය වෙනම හඳුනා ගන්නට බල්ලන්ට හැකියාව තිබේ. එම හැකියාව උරගා බලන්නට රෝග ලක්ෂණ මඳ වශයෙන් පෙන්වන පිස්න පරීක්ෂාව සිදුකිරීමට අවශ්‍ය අයට මෙන්ම ස්වේ ච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමැති පුද්ගලයන්ටද මෙම පරීක්ෂණයට විද්‍යාඥයෝ ඇරයුම් කරති. ඒ සඳහා පැය තුනකට වැඩි කාලයක් පැලඳ සිටි මුහුණු ආවරණයක්, පැය 12කට වැඩි කාලයක් භාවිත කළ මේස් එකක් හෝ ටී ෂර්ටයක් ඉව කිරීමට සුනඛයාට අවස්ථාව ලබාදේ. අනතුරුව ලෝහ ආධාරකයක් මත මෙම ඇඳුම් හෝ ඇඟලුම සහිත වීදුරු බඳුන රඳවා තත්පර කීපයක් එය ඉව කිරීමට සුනඛයාට ඉඩ දෙනු ලැබේ.

ඒ පිළිබඳව වෛද්‍යාධාරක සුනඛයන් පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනි ක්ලෙයාර් ගෙස්ට් පවසන්නේ මෙවැන්නකි. ඒ සඳහා සුනඛයන්ට ලබාදෙන මේ පුහුණුව කාලීන වශයෙන් වැදගත්. මහජන සහයත් විශේෂයෙන් අවශ්‍යයි. ආදර්ශක ලබාදීමෙන් ඔවුන්ට ඒ වෙනුවෙන් උපකාර විය හැකිනම් ඉක්මනින් ක්‍රියාකාරී එමෙන්ම ආසාදනය වීමෙන් තොර රෝග විනිශ්චකයක් ලබාගත හැකියි. එසේම අප සියලුදෙනාට ඉක්මනින්ම ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.

මෙම පුහුණුව සඳහා ලබාදී ඇති සුනඛයන් හතර දෙනකුම ක්ලේයාර් සතුය.

මැලේරියාව, පිළිකා, දියවැඩියාව, පාකින්සන් ආදී රෝග නිසා එම පුද්ගලයන්ගේ සිරුරින් ලාක්ෂණික ගන්ධයක් නිකුත් කරන බව හෙළිවී තිබේ. බොහෝ පිළිකාවලට ප්‍රාථමික අවස්ථාවේ නිකුත් කෙරෙන වාෂ්පශීලී කාබනික සංයෝග මගින් ඔවුන් හඳුනා ගැනීමේ හැකියාවක් සුනඛයන් සතු බව තවත් අධ්‍යයනයක් පෙන්වා දෙයි.

හුස්ම ඉව කිරීම මගින් පිළිකා රෝගීන් හා අපස්මාර රෝගීන් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍යයේ පුණ්‍යායතන දැනටමත් සුනඛයන් යොදා ගනිති.

නමුත් කොවිඩ් -19 මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම පිණිස සුනඛයන් යොදා ගැනීම ඉතා වැදගත් පරිවර්තනයකි. මේ වනවිටත් ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700000 ඉක්මවා ඇති බැවින් එහි වැදගත්කම අමුතුවෙන් කිව යුතු නැත.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළද සිය මගීන් අතර සිටින කොරෝනා ආසාදිතයන් විනාඩියක් තුළ හඳුනා ගැනීමට සුනඛයන්ව යොදා ගනිමින් සිටී. අධෝරක්ත කැමරා, තාප සංවේදක (Heat Guns) ආදියට වඩා වේගවත් මෙන්ම නිරවද්‍යතාවයකින් ඔවුන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි බව වටහා ගෙන ඇත. එය කෙතරම්ද යත් 40%කට අඩු ආසාදන හැකියාවක් ඇති කොරෝනා වාහකයන් පවා වෙන්කර හඳුනා ගන්නට ඔවුන් සමත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

‘‘රෝග ලක්ෂණ නොපෙන්වන, නමුත් රෝග වාහකයන් වන පුද්ගලයන් හඳුනා ගන්නට මෙමගින් හැකියාව ලැබුණොත් එය වැදගත් සංධිස්ථානයක් වන බවට සැකයක් නැහැ…’’ ගෙස්ට් පවසයි.

මීට පෙර රෝහල් සේවකයකුගේ විෂබීජහරණය කළ මේස් එකක් ඉවකළ සුනඛයකු ලබාදුන් සංඥා අනුව සිදුකළ පරීක්ෂණයේදී ඔහු ආසාදිතයකු බවට තහවුරු විය.

‘‘‘නමුත් SARS-COV-2 ‍වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකළ අධ්‍යයනකදී මේස් විෂබීජහරණය කළ විට ඒවායේ ආඝ්‍රාණය අඩුවී ගියා…’’

පර්‌යේෂණ ප්‍රධානී ජේම්ස් ලොගෑන් ප්‍රකාශ කරයි. ඔහු LSHTDහි රෝග පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාද වේ.

මෙම අධ්‍ය්‍යනය සඳහා පවුම් මිලියන භාගයක රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබේ.

විෂබීජහරණය කරන ලද මේස් හෝ ඇඟලුම් වීදුරු භාජනයක බහා එය වානේ ආධාරකයක රඳවා ඇත. එය ඉව කිරීමට සුනඛ්‍ යාට ඉඩ සලස්වන්නේ ඉන් අනතුරුවය. නිවැරදිව එයට ප්‍රතිචාර දැක්වුවහොත් ඔවුනට ආහාරවලින් සංග්‍රහ කිරීමට පර්‌යේෂකයෝ පසුබට නොවෙයි. ඒ උන් තවදුරටත් උනන්දු කිරීම පිණිසය. ඇතැම් මේස් සාම්පල, ඒවායේ ගන්ධයට හේතුවී ඇති රසායනික සංයෝග හඳුනා ගැනීම පිණිස විශ්ලේෂණය කරනු ලැබේ. එමගින් කොවිඩ් -19ට අදාළ රසායනික සංයෝගය තේරුම් ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

‘‘අප විශ්වාස කරනවා මෙය බ්‍රිතාන්‍ය තුළ පමණක් නොවෙයි අනෙක් රටවල පර්‌යේෂකයන්ද යොමු විය යුතු ක්‍රියාවක් කියලා’’ ලොගෑන් ප්‍රකාශ කරයි.

එය විද්‍යාත්මක කාර්යයක් පමණක් නොව සත්ව සුභසාධනය සම්බන්ධයෙන් වැදගත් කටයුත්තක් බව ඔහුගේ අදහසයි.

ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්වීමට දිනකට පෙර 92%ක නිරවද්‍යතාවයකින් ඔවුන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකියාව පවතින බව තහවුරු වී තිබේ. ජූලි මාසයේදී ජර්මන් පර්‌යේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකදී හෙළි වූයේ සාර්ස් රෝගීන්​ගේ තරල හා නීරෝගී පුද්ගලයන්ගේ තරල වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බවයි.

මේ වනවිට කොරෝනා තත්ත්වයේ වේගවත් ව්‍යාප්තියක් සිදුවන වයඹදිග බ්‍රිතාන්‍යයේ ජනතාවට මෙම පර්‌යේෂණය සඳහා ඉදිරිපත් වන ලෙස පර්‌යේෂණ කණ්ඩායම ආරාධනා කරයි. එසේ වුවද එයට ඕනෑම පුද්ගලයකුට ස්වේ ච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය.

ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ කොවිඩ් -19 පොසිටිව් සාම්පල 325ක් හා කොවිඩ් -19 සාම්පල (නෙගටිව්) 675ක් අධ්‍යයනය කිරීමය. මෙම එකතුවට ජාතික සෞඛ්‍ය සේවාවේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගි කර ගැනීමට නියමිතය.

මෙසේ සාම්පල එකතු කිරීමෙන් පසු ඒවායේ ආඝ්‍රාණයට හේතුවන රසායනික සංයෝගය හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙනු ඇත. එය හඳුනා ගැනීම ඉදිරියේදී ආසාදිතයන් හඳුනා ගැනීම පිණිස වැදගත් බව ඔවුන්ගේ හැඟීමයි. අනතුරුව මිල්ටන් කීන්ස්හි පිහිටි සුනඛයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට එම සාම්පල යොමු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යාම සඳහා ස්වේ ච්ඡා සංවිධාන සමග බලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටී. ඔවුන්ගේ අදහස වන්නේ බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපොළවල පැමිණීමේ දොරටු ආශ්‍රිතව පුහුණු සුනඛයන් යෙදවීමටය. පර්‌යේෂකයන් දැනට හඳුනාගෙන ඇති අන්දමට මෙම සතුන්ගේ කාර්යක්ෂමතාව පැයකට පුද්ගලයන් 250 පරීක්ෂාවට ලක් කිරීම තරම් ඉහළ අගයකි.

‘‘මෙම සුනඛ හමුදාව රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ විප්ලවයක් සිදුකරන බවට සැකයක් නැහැ’’

මෙම පර්‌යේෂණයට සම්බන්ධ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් ලින්ඩ්සේ ප්‍රකාශ කරයි.

‘‘ඉදිරියේදී අපට හැකිවේවි රෝග වාහකයන් හෝ ආසාදිතයන් ලෙස රටට ඇතුළුවන අය ඉක්මනින් හඳුනා ගැනීමට. ඒ සඳහා පුහුණු සුනඛයන් ගුවන් තොටුපොළවල් හා වරායන් ආශ්‍රිතව යෙදවිය හැකියි’’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් -19 දෙවැනි රැල්ලක් ආරම්භ වේ යැයි බිය පළවී ඇති අතර එහිදී මෙම සුනඛයන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. මේ අතර මෙවැනිම අධ්‍යයනයක් සිදුකළ ජර්මන් විද්‍යාඥ කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත්තේ ආසාදිතයන් හඳුනා ගැනීමේදී සුනඛයන් පෙන්වූ නිරවද්‍යතාවය පිළිබඳව තමන් විස්මයට පත් වූ බවයි.

මෙම අධ්‍යයනය බ්‍රිතාන්‍යයට පමණක් නොව ලොවටම ඉතා වැදගත් වන්නකි. සුනඛයකු සිටින්නේ කොහිද එයම මිනිස් ජනාවාසයක් පවතින බවට ඉඟියකි. එතරම්ම සම්බන්ධතාවක් මිනිසා හා සුනඛයා අතර පවතී. ආදි කල්පික වනාන්තරයන්හි අමු මස් කමින් ගත කළ අවදියේ පටන් මිනිසා සමග එන ඔහුගේ සමීප මිත්‍රයා මෙම ව්‍යසනකාරී අවස්ථාවේදීද ඔහු​ගේ පිහිටට පැමිණීම දෛවෝපගත වූවකි.

එපමණක්ද නොවේ, මෙම ක්‍රමය සාර්ථක වුවහොත් ශරීර උෂ්ණත්වය මැන බැලීම හෝ අධික මුදලක් වැයවන පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවෙනු ඇත.

වසන්ත විජේරත්න