කුළුබඩු රට යැවීමෙන් කෝටි 6600ක ආදායමක්
28 December 2020
කුළුබඩු රට යැවීමෙන් කෝටි 6600ක ආදායමක්
28 December 2020
මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය දක්වා වූ කාලයේ කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන හැට හයදහස් හයසිය හැත්තෑවක (කෝටි 6667) ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පවසයි.
මෙම කාලයේ කුළුබඩු මෙට්‍රික් ටොන් හතළිස් අටදහස් දෙසිය විසිහතක් (48,227ක්) අපනයනය කර ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඉකුත් වසරේ (2019) ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය අවසන් වනවිට කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන පනස් අටදහස් දෙසීය හැට එකක (58,261ක) ආදායමක් උපයා තිබිණි. එම වසරේ අපනයනය කරන ලද කුළුබඩු ප්‍රමාණය මෙට්‍රික්ටොන් හතළිස් තුන්දහස් දෙසිය හැට එකකි (43,265 කි).
මෙරට කහ, ඉඟුරු, සාදික්කා, ගම්මිරිස් ආදී කුළුබඩු සඳහා විදේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
“කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොට ගෙන කුළුබඩු කර්මාන්තයේ ඇති වූ සුවිශේෂී ඉල්ලුමට අමතරව දේශීයව වගා කළ හැකි කුළුබඩු වර්ග බොහොමයක් සඳහා ආනයන සීමා පැනවීම දේශීය ඉල්ලුම ඉහළයාමට බලපෑ තවත් කාරණයක්. එමෙන්ම විදේශ වෙළෙඳපළට කුළුබඩු වැඩි වශයෙන් සැපයූ ඉන්දියාව වැනි රටවල අපනයන කෘෂි ආර්ථිකය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කඩා වැටීමට ලක්වුවත් වාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති වූයේ නැහැ. ශ්‍රී ලංකාවේ සුළු පසුබෑමක් ඇති වුණේ පළමු කොවිඩ් රැල්ල හටගත් මාර්තු මාසයේදී පමණයි. කොවිඩ් වසංගතයේ දැඩි බලපෑමට අපේ රට ලක් නොවූ බැවින් විදෙස් රටවල් අපේ අපනයන කෘෂිභෝග විශ්වාසයෙන් යුතුව මිලදී ගත් අතර දේශීය කුළුබඩු භෝගවල ඉල්ලුම අඛණ්ඩව පැවතුණා. එමෙන්ම කොවිඩ් තත්ත්වය හමුවේ දෙස් විදෙස් නව ගැණුම්කරුවන් අපේ කුළුබඩු මිලදී ගැනීමට පෙලඹුණා. මේ සියලු කාරණා නිසා අපනයන කෘෂිභෝග ආදායම ඉහළ නැංවීමට හේතු වුණා” කෘෂි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.
එමෙන්ම ලබන වසරේදී අපනයන ගම්මාන පිහිටුවීමට කටයුතු ආරම්භ කෙරෙන අතර, මූලික අදියරේදී අපනයන ගම්මාන 100 ක් ආරම්භ කිරීමට නියමිතය.
සාලිය කුමාර ගුණසේකර