brand logo
logo

කතුන් ගණිකාවන් කරන ජාවාරමක්

23 February 2022

කෝටි ගණන් උපයන ජාවාරමේ සුලමුල එළියට

ආන්දෝලනයට තුඩුදුන් ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික ජාවාරමේ යෙදවූ ප්‍රධාන සැකකරු ඇතුළු කල්ලියක් ප්‍රදේශ රැසක කාන්තාවන්, ගණිකාවන් බවට පත් කර රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22 වැනිදා) දැනුම් දුන්නේය. බාලවයස්කාර දැරිය ලිංගික ජාවාරමේ යෙදවූ ප්‍රධාන සැකකරු ඇතුළු 11 දෙනකුගෙන් සමන්විත කල්ලියක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ කාන්තාවන්, ගණිකාවන් බවට පත් කර (කුට්ටනය කර) ගනුදෙනුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 15000 දක්වා මිල ගණන්වලට අලෙවි කර තිබෙන බවත් අධිකරණයට දන්වා සිටි පොලිසිය, එලෙස ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන්ට රුපියල් 1000ක් පමණක් ලබා දී ඉතිරි සියලු මුදල් සැකකරුවන් ගෙන ඇතැයි ද දන්වා සිටියේය. මෙහි ප්‍රධාන සැකකරු වන ගම්පහ, නාරංවල, ඉත්තෑගල පාර පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයතිලක නමැත්තා ලිංගික ජාවාරමෙන් දිනකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් උපයාගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය 2006 වසරේ සිට සැකකරුවන් ගනුදෙනු කළ බැංකු ගිණුම් 08ක රුපියල් හාරකෝටි පනස් හය ලක්ෂයක් (45681908) මුදලක් සංසරණය වී ඇති බව අනාවරණය වූයේ යැයි ද අධිකරණයට දන්වා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ප්‍රධාන සැකකරු වන රජීව් රවිනාත් ජයතිලක නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඊයේ (22 වැනිදා) ඉදිරිපත් කර තිබුණි. සැකකරු මාර්තු 04 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඊයේ නියෝග කළේය. ඉෂාර රත්නකාර
 

More News..