roadBlockAd
brand logo
logo

ඔක්තෝම්බර් වතුර බිල ගැන කල්පනාවෙන්

30 August 2022

සැප්තැම්බර් 01 සිට ජල ගාස්තු සියයට 130 කින් ඉහළට

නව ජල ගාස්තු සංශෝධනය කිරීම යටතේ වැඩිවන අගෝස්තු මාසයේ ජල ගාස්තුව ඔක්තෝම්බර් මස මාසික බිලට එකතු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි [වාණිජ] පියල් පද්මනාත 'අරුණට' කියා සිටියේය. ඔහු පැවසුවේ සැප්තැම්බර් මස 01 වැනිදා සිට ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇති බවය. ඒ අනුව අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ රුපියල් 123 ක ජල ගාස්තුව මෙම ඉහළ දැමීමත් සමග රුපියල් 448 ක් බවට පත්ව සියයට 264 කින් ඉහළ යනු ඇත. ගෘහස්ථ ජල ගාස්තු පළමු ජල ඒකක 5 සඳහා ඒකකයක් සඳහා පැවැති රුපියල් 12 ක ගාස්තුව රුපියල් 20 දක්වා සියයට 67 කින් ඉහළ දමා ඇති අතර ඒකක 6 සිට 10 දක්වා ඒකකයක මිල රුපියල් 27 ක් දක්වා ද, ඒකක 11 සිට 15 දක්වා ඒකකයක මිල රුපියල් 34ක් දක්වා ද, ඉහළ දමා තිබේ. ජල ඒකක 16 සිට 20 දක්වා මිල රුපියල් 68 ක් දක්වාත්, ඒකක 21 සිට 25 දක්වා ඒකකයක මිල රුපියල් 99 ක් දක්වාත්, ඒකක 26 සිට 30 දක්වා ඒකක මිල රුපියල් 150 ක් දක්වාත් ඉහළ දමා ඇති අතර ඒකක 31 සිට 40 දක්වා ඒකක මිල රුපියල් 179 ක් දක්වා ද, ඒකක 41 සිට 50 දක්වා ඒකක මිල රුපියල් 204 ක් දක්වා ද, ඒකක 51 සිට 75 දක්වා ඒකක මිල රුපියල් 221 ක් දක්වා ද, ඒකක 75 ට වැඩි ජල ඒකකයක් රුපියල් 238 ක් දක්වා ද, ඉහළ දැමූ බව ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙයි. ජල ඒකක 25 ක් දක්වා රුපියල් 100 ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ද, ඒකක 26 සිට 30 දක්වා පැවැති රුපියල් 200 ක සහ ඒකක 31 සිට 40 දක්වා රුපියල් 400 ක සේවා ගාස්තුව රුපියල් 900 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති අතර ඒකක 41 සිට 50 දක්වා රුපියල් 650 ක් සහ ඒකක 51 සිට 75 දක්වා රුපියල් 1000 ක්ව පැවැති සේවා ගාස්තු රුපියල් 2,400 ක් දක්වාත් ඒකක 75 ට වැඩි බිල්පත් සඳහා මින් පෙර පැවැති රුපියල් 1600 ක සේවා ගාස්තුව රුපියල් 3,500 ක් දක්වාත් ඉහළ දමා තිබේ. මාසිකව ජල ඒකක 15 ක් පාවිච්චි කරන සාමාන්‍ය පවුලක පැවැති රුපියල් 347.20 ක ජල ගාස්තුව මෙම නව සංශෝධනය අනුව රුපියල් 789 ක් දක්වා සියයට 130 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. අශිකා ජයවීර
 

More News..