brand logo
logo

එළවළු ඇට ගන්න ඔබ මේ ගැන දැනුවත් ද?

01 November 2022

ප්‍රමිතියෙන් තොර එළවළු බීජ වර්ග 15 ක් හඳුනාගැනේ

නීති විරෝධී ලෙස විවිධ රටවලින් මෙරටට රැගෙන එන ප්‍රමිතියෙන් තොර එළවළු බීජ අලෙවිය ඉහළ ගොස් ඇතැයි බීජ සහ රෝපණ ද්‍රව්‍යකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ප්‍රමිතියෙන් තොර එළවළු බීජ වර්ග 15 ක් පමණ හඳුනාගෙන ඇතැයි එම සංගමයේ උප සභාපති වරුණ මඳවනආරච්චි පැවසුවේය. නිල වශයෙන් බීජ ආනයනය කිරීමට පෙර එහි සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදීමෙන් පසුව කන්න දෙකක් වගාකළ යුතු බවත්, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත් උප සභාපතිවරයා කීවේය. තත්වයෙන් බාල බීජවලින් අධික ආදායමක් උපයා ගන්නා බවත්, ඇතැම් බීජ වර්ග ඉන්දියාවේ කල් ඉකුත්වූ ඒවා බවත් අනාවරණය වේ. ඉන්දියාව, තායිලන්තය ආදී රටවල සංචාරයේ නිරත ඇතැමුන් සිය ගමන් මලු තුළ සඟවා නීති විරෝධී ලෙස බීජ රැගෙන එන අවස්ථා වාර්තා වන බවත්, ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොකෙරෙන බවත් බීජ සහ රෝපණ ද්‍රව්‍යකරුවන්ගේ සංගමය පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීම සහ පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දිස්නා රත්නසිංහ කියා සිටියේ ප්‍රමිතියෙන් තොර බීජ අලෙවි කරන ස්ථාන පිළිබඳව තොරතුරක් ලැබුණහොත් එම ස්ථාන වටලා බීජ පනත යටතේ නීතිමය කටයුතු කරන බවය. නීත්‍යනුකූල නොවන බීජ සම්බන්ධව සහ බීජ හසුරුවන්නන් සම්බන්ධව බීජ පනත මගින් කටයුතු කෙරෙන බවත්, ඒ සඳහා බලයලත් නිලධාරීන් පත්කර ඇතැයිද අධ්‍යක්ෂවරිය කීවාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි කියා සිටියේ ඉන්දියාව, තායිලන්තය ආදී රටවල සංචාරයේ නිරත ඇතැමුන් විවිධ එළවළු බීජ වර්ග මෙරටට ගුවන් මගින් රැගෙන එන අවස්ථාවලදී ඒවා ජාතික ශාක නිරෝධායන සේවය භාරයට ගෙන ගිනි තබා විනාශ කරන බවය. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙලෙස රැගෙන එන බීජ සඳහා සහතිකයක් නොමැති බැවින් ඒවා විනාශ කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය. කෙසේ නමුත්, ජාතික ශාක නිරෝධායන සේවය නොදැනුවත්ව රට තුළට යන බීජ වර්ගද තිබෙන බව ඔහු කීවේය. මේ වසරේදී වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ නීත්‍යනුකූල අයුරින් ආනයනය කිරීමට වැය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 25 ත් 30 ත් අතර වන බව ක්‍රොප් ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය කොළඹදී පවත්වන ලද වැඩසටහනකදී තොරතුරු අනාවරණය කෙරිණි. සාලිය කුමාර ගුණසේකර
 

More News..