විශේෂාංග

එන්නතින් පමණක් නොව කොරෝනා වෛරසයටත් ලේ කැටි ගැහෙනවා

එන්නතින් පමණක් නොව කොරෝනා වෛරසයටත් ලේ කැටි ගැහෙනවා

කොවිඩ් එන්නත ලබා ගන්නා ඇතැම් පුද්ගලයන් තුළ රුධිරය කැටී ගැසීමේ තත්ත්වයක් දක්නට ලැබීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය.

මෙවැනි තත්ත්වයක් වාර්තා වූයේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙනි. මෙම තත්ත්වය නිසා බොහෝ දෙනා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන ආකාරයක්ද දැකිය හැකි විය. මේ අතර පසුගිය දිනෙක ඉන්දීය විශේෂඥයකු තවත් බිය උපදවන කාරණයක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබිණි.

එනම් එන්නත නිසා පමණක් නොව කොරෝනා වයිරසය නිසාද ඇතැමුන් තුළ රුධිරය කැටී ගැසීමේ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

කොවිඩ් රෝගයට ගොදුරු වන පුද්ගලයන් තුළ ඇති වන විවිධ සංකූලතා (complications) සම්බන්ධයෙන් පසුගිය කාලයේ නොයෙකුත් තොරතුරු වාර්තා විය. මේ අතරින් මෑත කාලයේ වැඩිම අවධානයක් දිනාගෙන ඇති සංකූලතාවක් බවට පත්ව ඇත්තේ මේ ආකාරයෙන් රුධිරය කැටි ගැසීම පිළිබඳ සංකූලතාවයි.

මෙම තත්ත්වයට පත් වූ රෝගීන් බොහෝ දෙනකු ගැන පසුගිය කාලයේ විවිධ රටවල විශේෂඥයන් වාර්තා කර ඇත. මෙම රෝගීන් වැඩි දෙනකු මධ්‍යම මට්ටමින් සහ දරුණු මට්ටමින් රෝගයට ගොදුරු වූවන් බවද අනාවරණය වේ.

රෝගීන් තුළ ඇති විය හැකි මෙම තත්ත්වය වේලාසනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ, අභ්‍යන්තර අවයව අක්‍රිය වීම, අත්පා වැනි අවයව අහිමි වීම පමණක් නොව මරණය පවා සිදුවිය හැකි බව මෙම විශේෂඥයන්ගේ අදහසයි.

සාමාන්‍යයෙන් නිරෝගී කෙනකුගේ රුධිරය කැටි ගැසීමක් සිදුවන්නේ කිසියම් තුවාලයක් සිදු වූ විටෙක රුධිරය පිටතට ගලා එන අවස්ථාවකය. තුවාලයක් සිදු වූ විගස එයින් රුධිරය ගලා ඒමක් සිදුවුවත් ටික වේලාවකින් එය නතර වන්නේ තුවාලයෙන් පිටත රුධිරය කැටි ගැසීමක් මගින් රුධිරය ගැලීමට බාධාවක් ඇති කරන බැවිනි.

මේ ආකාරයෙන් රුධිරය කැටි ගැසීම කිසිදු ආකාරයකින් අනතුරුදායක නොවුණත් කිසියම් හේතුවක් නිසා සිරුර අභ්‍යන්තරයේ රුධිරය කැටි ගැසීමක් සිදු වුවහොත් එයින් භයානක ප්‍රතිඵල ඇති වෙයි.

මිනිස් සිරුර තුළ රුධිර නාළ දෙවර්ගයක් වේ.

  • එකක් නම් හෘදය වස්තුවේ සිට ශරීරයේ සෙසු අවයවවලට රුධිරය ගෙන යන ධමනි නමින් හැඳින්වෙන වර්ගයයි. අනෙක නම් අවයවවල සිට හෘදය වස්තුව දක්වා රුධිරය ගෙන එන ශිරා නමින් හැඳින්වෙන වර්ගයයි. යම් අවයවයකට රුධිරය ගෙන යන ධමනියක රුධිර කැටියක් සිර වී එම අවයවයට රුධිරය සැපයීමට බාධා ඇති වුවහොත් අදාළ අවයවයෙහි ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් ඇති විය හැකියි.

 

  • අනෙක් අතට අවයවවල සිට හෘදය වෙත රුධිරය ගෙන එන ශිරාවක ඇති වන ලේ කැටියක් ගැල වී විත් හෘදය වස්තුවෙහි සිර වුවහොත් එයින් හෘදයාබාධ වැනි තත්ත්වයන් ඇති වේ. පෙණහලුවල ඇති රුධිර නාළවලද මෙවැනි රුධිර කැටිති ඇති වීමෙන් බරපතළ ප්‍රතිවිපාක ඇති වීමට විශාල ඉඩක් තිබේ.

කොවිඩ් රෝගීන්ගේ පෙණහලුවල ඇති වන ආබාධවලට නියුමෝනියා තත්ත්වය මෙන්ම ඇතැම් අවස්ථාවල මෙවැනි රුධිර කැටිතිද බලපාන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

National Heart Institute

කොවිඩ්-19 සහ ලේ කැටි ගැසීම අතර ඇති සම්බන්ධය ගැන මුලින්ම ඇමරිකාව, ඉතාලිය වැනි රටවලින් වාර්තා වන්නට පටන් ගත් බවත්, එම තොරතුරු තරමක බරපතළ තත්ත්වයක් පෙන්නුම් කළ බවත් ඉන්දීය ශල්‍ය වෛද්‍යවරයකු වන අම්බාරිෂ් සත්වික් සඳහන් කර තිබිණි.

අවුරුදු 30ත් 40ත් අතර වයස්වල පසු වූ රෝගීන් හදිසියේම හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලට ගොදුරු වීමක් එහිදී දක්නට ලැබුණු බව ඔහු පවසයි. කොවිඩ් 19 යනු ශ්වසන පද්ධතියට අදාළ රෝගයක් වන්නා සේම එය රුධිර නාළ සම්බන්ධ රෝගයක්ද බව මේ වනවිට ඇතැම් විශේෂඥයන්ගේ අදහස බැව් වෛද්‍ය සත්වික් සඳහන් කරයි.

ඔහු පවසන ආකාරයට මෙවැනි ලේ කැටි ගැසීමක් සිදු වන්නේ කෙනෙකුට වයිරසය ආසාදනය වී සතියක දෙකක පමණ කාලයක් තුළදීය. ඇතැම් විට තුන්වැනි සතියේ පමණද එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

මේ ආකාරයෙන් ලේ කැටි ගැසීමක් සිදු වීමට වැඩි ඉඩක් ඇත්තේ කවරාකාරයේ රෝගීන් තුළද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය ඔහුගෙන් විමසා තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ තවමත් ඊට නිශ්චිත පිළිතුරක් සොයාගෙන නොමැති බවයි.

මෙබඳු ලේ කැටි ගැසීමක් සිදු වීමට හේතුව තවම නිසි ලෙස සොයාගෙන නොමැති බවත්, ඒ නිසා ඉහත කී ආකාරයේ ප්‍රශ්නවලට තවම පිළිතුරු ලැබී නැති බවත් වෛද්‍ය සත්වික් පවසයි.

කෙසේ නමුත් වයිරසය ආසාදනය වී දින 5කට පමණ පසු සිදු කරන රුධිර පරීක්‍ෂාවක් මගින් මෙවැනි ලේ කැටි ගැසීමක් ඇති විය හැකිද යන්න පිළිබඳව වෛද්‍යවරයකුට ඇතැම් විට යම් ඉඟියක් ලබා ගැනීමට පුලුවන් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

එවැනි තත්ත්වයක් දක්නට ලැබුණහොත් එය වළක්වන ඖෂධ (blood thinners) ලබා දීමට හැකියාව තිබේ.

සහන් වික්‍රමගේ