ඉසුරුට ගොඩක් දේවල් මට අහිමි වෙලා
11 December 2021
ඉසුරුට ගොඩක් දේවල් මට අහිමි වෙලා
11 December 2021
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරන නළුවෙක්. සාර්ථක චිත්‍රපටයක් වූ ‘හුස්ම’ සිනමා නිර්මාණය වගේම ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයේත් ඔහු රඟපාන්නේ වැඩිහිටියන්ට පමණයි චරිතයක්. නිර්මාණාත්මක නළුවෙක් වන ඉසුරු, අනාගතයෙ වැඩිහිටියන්ට පමණක් ලේබලයට කොටුවෙයිද කියන ප්‍රශ්නයත් එක්කම කතාබහට මුල පිරුවා. මුලින්ම ඔහු කතා කළේ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයේ රංගට ලැබෙන ප්‍රතිචාරය ගැන.
අපිට ලෝකයේ හැමෝම සතුටු වන නිර්මාණයක්වත් පුද්ගලයෙක්වත් වෙන්න බෑ. ඒ නිසා සමහර අය අගය කිරීම් කරද්දී සමහරු විවේචනය කරනවා. ඒ සියල්ල අතරේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ එක්කම මේ වෙලාවේ චිත්‍රපටය තිරගත කරන්න උදයකාන්ත වර්ණසූරිය මහතා සහ නිෂ්පාදක කණ්ඩායම එකතුවෙලා ගත්ත තීරණය ගැන සතුටු වනවා. මම විශ්වාස කරනවා නැවතත් සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන් ගේන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා. රංග කියන්නේ, පිරිමියෙක් විදියට කාන්තාවක් දැලේ දාගන්න සූක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරන චරිතයක්. මට ලැබුණු පිටපතෙත් ඒ ගැන තිබ්බා ඔහු කොයි වෙලාවකවත් කලබල වෙන්නේ නැහැ. කාන්තාවන් දැලේ දාගැනීම සම්බන්ධයෙන් බොහොම පරිණත පුද්ගලයෙක්. මේ සමාජය තුළ අපිට එවැනි පුද්ගලයන් හමුවෙලා තියෙනවා.
මේ කලාව තුළත් එවැනි පුද්ගලයන් ඉන්නවා. අපි හිතන්නේ නැති පුද්ගලයෝ තමයි මේ ආකාරයෙන් කාන්තාවන් රැවටීමට ලක් කරන්නේ. ඒ අය හරි සූක්ෂමයි. ඒ අය පෙන්වන්නේ තමන්ගේ ඇත්ත ස්වරූපය නෙවෙයි. එයාගේ වැඩේම ඒක නිසා ඒ වෙනුවෙන් බොහොම පරිස්සම් වෙනවා. ඒ වගේ කෙනෙක් තමයි රංග. හරි අපූරුවට තමන්ගේ ස්වරූපය එළියට එන්නේ නැති විදියට පියුමිව කොටු කරගන්නවා. ඒ දේ කරන්න ඔහුට ලොකු හයියක් ලැබෙනවා යුනිෆෝර්ම් එක දැරීම සහ ඉහළ නිලයක් දැරීම.
කළු චරිතයක් රඟපෑවත් ඒ කතාවේ සත්‍යයට ඉසුරු තුළ ඇත්තේ ලොකු ගරුත්වයක්. තමා පිරිමියෙක් වුණත් ඔහු ඒ ඇත්ත කතා කරන්න පසුබට වුණේ නැහැ...
මගේ චරිතය යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාට සහ මගෙත් එක්ක වැඩිම දර්ශන වාර ප්‍රමාණයක් රඟපෑ චුලක්ෂිට. ඒක මම ඕනෙම තැනක කියනවා. ඇය මම දකින වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්. පියුමි කියන්නේ සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවම නියෝජනය කරන චරිතයක්. මේ ශ්‍රී ලාංකික සංස්කෘතිය එක්ක හැදුණු ගැහැනියට මේ සමාජ සංස්කෘතිය එක්ක ජීවත් වෙද්දී සිද්ධ වන ගැටුම්කාරී තත්ත්වය තමයි මේ තුළ තියෙන්නේ. මම අනිවාර්යෙන්ම කියනවා ලංකාවේ ඉන්න සියලුම කාන්තාවන්ට ඇවිත් මේ චිත්‍රපටය බලන්න. අපේ ශ්‍රී ලාංකික ගැහැනිය හරිම ගැහැනුකමින් පිරිච්ච ගැහැනියක්නේ. ඉතින් ඒ ගැහැනුකම පාවිච්චි කරන්න දෙන්න එපා පිරිමින්ට. ඔබ රැවටෙනවා නොදැනුවත්ම. ඔය උදව් කරන්න එන අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ කවුරුත් නොවෙන පිරිමියෙක් කාන්තාවකට උදව් කරනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඇයි මේ මට උදව් කරන්නේ කියලා. කලාවේ හෝ වේවා ඕනෙම තැනක. හැමෝම ගැන නෙවෙයි මම කියන්නේ බහුතරය ගැන.
බොහොම හොඳ ගුණගරුක මිනිසුන් ඉන්නවා. ඒ නිසා මේ දේ සාපේක්ෂයි. මේ නිර්මාණය තුළ තියෙන්නේ සමාජ යථාර්ථය කියවීමක්.
මේ චරිතය නිරූපණය කිරීම සඳහා සෑහෙන කැපකිරීමක් කරන්න සිදුවූ බව ඉසුරුගේ කතාවෙන් අපට වැටහුණා...
මම සාමාන්‍යයෙන් මගේ ඇඟට ආදරෙයි. ඒ නිසා ජිම් ගිහින් ඇඟ හදාගෙන ඉන්න කෙනෙක්. මුලින්ම ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් කරද්දී උදයකාන්ත වර්ණසූරිය මහත්තයා හමුවෙන්න මම ගියේ ෆොටෝ ෂූට් එකක ඉඳලා. එතකොට මගේ ඇඟපත හොඳට තිබ්බා. ඔය කියන්නේ නළු පෙනුමක් කියලා. එතකොට මාව දැකලා කිව්වා අම්මෝ මට මේ ඕනේ නළු පෙනුමක් නෙවෙයි, රාජ්‍ය සේවකයෙක්ගේ චරිතයක් තියෙන්නේ. එතකොට මම ජිම් යන එක නවත්තලා මගේ කිලෝ දහයකින් බර අඩු කරගෙන ඒ චරිතයට ගැළපෙන බොහොම කෙසඟ සිරුරක් තියෙන අට පහ ජොබ් එකක් කරන මනුස්සයෙක් වුණා. ඊට පස්සේ මේ චිත්‍රපටයට එද්දී මට කිව්වා ඉසුරු මට ඕනේ ගැහැනු කැමති වන විදියේ ස්වරූපයක්, ස්මාර්ට් පොලිස් නිලධාරියෙක්ගේ ස්වරූපය. ආයේ මම ඒ වෙනුවෙන් කැපවෙලා කිලෝ 12ක් වගේ වැඩි කරගෙන මගේ ඇඟ හදා ගත්තා.
මීට ප්‍රථම ඔහු රඟපෑ ‘හුස්ම’ චිත්‍රපටයේ රංගනයත් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිකුත් වුණා. මේ චරිතයටත් ඒ ලේබලයම ලැබිලා තියෙනවා. ඉසුරුත් ලේබල් ගහපු නළුවෙක් වෙයි කියන කතාවද මේ කියන්නේ...
නැහැ. මොකද මේ වෙද්දී මගේ තිරගත වුණු චිත්‍රපට කිහිපයම අරන් බැලුවම එක රාමුවකට කොටුවෙලා නැහැ කියන එක පැහැදිලියි. රන්සයුර, නිදහසේ පියා ඩී.එස්, නැති බැරි ටාසන්, රෂ්,හුස්ම, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් සහ දැන් ගිනිමල් පොකුරු. ඔය නිර්මාණවල චරිත දිහා බැලුවොත් අතේ ඇඟිලි පහ වගේ. ඔක්කොම ඇඟිලි තමයි. හැබැයි එකිනෙකට වෙනස් වූ චරිත මම රඟපාලා තියෙන්නේ. හුස්ම 18ට වැඩි සිනමාපටයක් බව ඇත්ත. නමුත් එහි චරිතය මේ ගිනිමල් පොකුරුහි චරිතය එක්ක සමාන කරන්න බෑ. හරියට අහසයි පොළවයි වගේ.
නළුවන්ට චිත්‍රපට නොමැති යුගයක සිනමාවේ බොහෝ නිර්මාණවලට දායකත්වය සපයන්න ඉසුරුට හැකිවෙලා තියෙනවා...
චිත්‍රපට අටක් එන්න තියෙනවා. ඒ අතර අනුරුද්ධ ජයසිංහ මහතාගේ ‘මා’ චිත්‍රපටය. වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ‘සිනමා’, බෙනට් රත්නායක මහතාගේ ‘කවුරුත් දන්නේ නෑ’, අරුණ ජයවර්ධනගේ ‘හැපි බර්ත්ඩේ’ කියන නිර්මාණ තියෙනවා. ඒ සියල්ලේත් තියෙන්නේ එකිනෙකට වෙනස් වූ විවිධ වූ චරිත. ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා තව වෙනස් වූ චරිත සිනමාව තුළ කරන්න. මම කවදාවත් එක වගේ චරිත කරන්නේ නැහැ.
ජීවිතය ගැන පුදුමාකාර තෘප්තිමත් බවක් ඉසුරු තුළ තියෙනවා...
ඇත්තටම සතුටුයි. ජීවිතේ තියෙන ලොකුම සතුට ඒක තමයි. මම බුදු දහම විශ්වාස කරන කෙනෙක්. මම කඩාවැටීම් ගොඩක් එක්ක ගොඩක් දේවල් අහිමි වෙච්චි කෙනෙක්, ගොඩක් විශ්වාසය කඩවෙච්චි කෙනෙක්, මේ මොහොතේත් ගොඩක් බලාපොරොත්තු බිඳ වැටුණු මනුස්සයෙක්. ඒ නිසා මම ජීවිතේ සතුටු වන එකම දේ තමයි මම බොහොම අධිෂ්ඨානයෙන් අතිරේක රංගන ශිල්පියෙක් විදියට ආව කෙනෙක්. කෙටියෙන්ම කියනවා නම් නළුවෙක් විදියට බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්. පෙනී සිටින චරිතවල ඈත ඇවිදපු මිනිහෙක්. ඒ කියන්නේ සෙනඟ ගොඩේ අත්පුඩි ගහන්න ආව කෙනෙක්. එතකොට එතැන සිට මේ දක්වා ගමන ආවේ මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝගෙම සහයෝගයෙන්, මගේ මහන්සියෙන්. මගේ වෘත්තීය වෙනුවෙන් මම සෑහෙන කැපවීම් කළා. ඒ කැපවීම් කළේ මගේ කැමැත්තෙන්. මොකද මම රැකියාවන් ගොඩක් කරලා යුද හමුදාවෙන් ඈත්වෙලා මේ ආවේ මම ආස දේ කරන්න. මේ රංගනය තුළ මම එන්න ඕනේ තැනට තවම ඇවිත් නැහැ. නමුත් ගමනේ යම් දුරක් මම ඇවිත් තියෙනවා. මට ඕනේ කවදා හරි දක්ෂ චරිතාංග නළුවෙක් විදියට මේ කලාව තුළ පවතින්නයි. ඒක සම්මානවලින්ද මනින්නේ කියන එක ගැන මම හිතන්නේ නැහැ. සම්මාන ලැබෙනවා නම් හොඳයි. කවුරුහරි කියනවා නම් මට සම්මාන ඕනෙ නැහැ කියලා ඒකත් බොරු. මම නම් ආසයි අපි කරන දේ කවුරුහරි අගයනවා නම්, හැබැයි සම්මාන නොලැබුණා කියලා පසුබට වෙන්නේ නැහැ. මම හරිම තෘප්තිමත් මේ වෘත්තිය ගැන.
ඔහුට ආදරය කරන හැම කෙනෙක්ටම ඔහුගේ ජීවිතය තුළින්ම උදාහරණ අරන් කතා කරන්නේ ඔහු මේ මහ පොළොව මත ජීවත් වෙන සාමාන්‍ය චරිතයක් නිසාමයි...
අවුරුදු දෙකක් තිස්සේ පවතින ගෝලීය වසංගත තත්ත්වය එක්ක මේ කාලයේ ගොඩක් පීඩනයෙන් මිනිස්සු ඉන්නේ. ආර්ථිකය අතින් ලෝකයම පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නවලින් මිදිලා මනස සැහැල්ලු කරගන්න තියෙන්නේ මේ කලාව විතරයි. පීඩනයෙන් ඉන්න ඔබට යම් සැහැල්ලුවක් ගෙන දෙන කලාව මගේ වෘත්තීය වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. මම දන්නවා චිත්‍රපටයක් බලන්න මුදල් යොදවන්නත් අමාරු බව. පෙරහැර බලන්න ලැන්ඩ්මාස්ටර් එකේ තෙමි තෙමී ඇවිත් පාරේ ඉටි කොළයක් දාගෙන බිම වාඩි වෙලා පෙරහැර බලපු මනුස්සයෙක් තමයි මමත්. අදටත් අපේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත එහෙමයි. ඒ අයගේ ජීවිත දියුණු වෙලා නැහැ, පාලකයන් දියුණු කරලා නැහැ. ඒ නිසා අමාරුකම් ඇති, ඒත් මොහොතකට හෝ ඒ අමාරුකම් අමතක කරන්න පුළුවන් කලාව එක්ක එකතු වුණොත්. අනවශ්‍ය වියදම් මගහැරලා තමන්ට ලැබෙන දේ කළමනාකරණය කරගත්තොත් විනෝදාස්වාදය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වෙයි. ප්‍රධානම දේ තමා අනිත් අය එක්ක තමන්ව සසඳන්න යන්න එපා.
අනූෂා රණසිංහ





