විශේෂාංග

අවුරුදු චාරිත්‍රවල ඇති නොපෙනෙන සමාජ පාලනය

ඕනෑම මිනිස් ශිෂ්ටාචාරයක ප්‍රධාන උත්සව වර්ග දෙකකි. එකක් ජීවිත ප්‍රතිසංස්කරණ උත්සව වන අතර අනෙක සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයි. පුද්ගලයකුට පමණක් අයත් වන උත්සව ජීවිත ප්‍රතිසංස්කරණ උත්සව වේ. ඒ අර්ථයෙන් විවාහ මංගල්‍යය, මල්වර මංගල්‍යය එකී උත්සව ගණයට අයත් වේ. අප සමරන සිංහල අවුරුද්ද ගැනෙනුයේ සමාජ ප්‍රතිසංස්කරණ උත්සව ගනයටය. එනම් එය කිසියම් සමාජයකට පොදුබවක් ඇති උත්සවයක් නිසාය. මෙකී සිංහල අවුරුදු චාරිත්‍ර අපට වැදගත් වනුයේ අපේ සංස්කෘතිය සමග ඇති බැඳියාවත් සමගය. සමාජ පාලනයට නීතිය මෙවලමක් වශයෙන් භාවිත වුවද, නීතියට වඩා සංස්කෘතිය හා බැඳුණු මානව ක්‍රියාකාරකම් පාලන ක්‍රමවේදය ප්‍රබලය. සිංහල අලුත් අවුරුද්ද යනු අපේ සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යෑමට අප භාවිත කරන සංධිස්ථානයකි. සිංහල අලුත් අවුරුද්ද නූතන පාරිභෝජනවාදී සමාජයෙන් ගිලිහෙමින් ඇති ඥාතීත්වය නැවත වතාවක් අලුත් කිරීමට මගපාදන අවස්ථාවකි. එනිසා අවුරුදු චාරිත්‍ර තුළ ඇති සංකේතවල ඇත්තේ අපට නොපෙනෙන සමාජ පාලනයකි.

අවුරුදු නැකැත් නිසා ගල් යුගයට යනවද?

අද බොහෝ දෙනා මේ අවුරුදු නැකැත් දෙස නූතන විද්‍යාත්මක දෘෂ්ටි කෝණයන්ගෙන් බලා ඒවා පහත් දේ ලෙස සලකනු දැකිය හැකිය. නමුත් මේ නැකැත් අතර තිබෙනුයේ මිනිසුන් එකිනෙකාට බද්ධ කරන ක්‍රමවේදයන්ය. ගැමි සමාජයේ ගැටුම් ආරම්භ වනුයේ කුඹුරේ නියරට, නැතිනම් වත්තේ වැට මායිමට ඇතිකරගන්නා නොහොඳ නෝක්කාඩුවකි. එවැනි සුළු තැනකින් ආරම්භ වන නොහොඳ නෝක්කාඩුව අවසන් වනුයේ මහා ඛේදවාචකයන්ගෙනි. නමුත් අවුරුදු චාරිත්‍ර මගින් එවැනි විරසකයන්ට විරාමයක් ලබාදේ. පරණ අවුරුද්දේ සියලු නොහොඳ නෝක්කාඩු අලුත් අවුරුද්දේදී අමතක කර දමයි. එනිසා අනෙකා සමග සහසම්බන්ධය ඇතිකිරීමට අවුරුදු චාරිත්‍ර උපයෝගී වේ. සිංහල අවුරුදු චාරිත්‍රවලදී යම් නිශ්චිත දිශාවක් බලා, ගනුදෙනු කරනු, ආහාර අනුභව කරනු ආදී ලෙසින් විධාන ස්වරූපයෙන් එන චාරිත්‍ර අනුව මිනිසුන් හැඩ ගැසුණි. මෙම චාරිත්‍ර සම්බන්ධයෙන් නූතන අනුකාරකවාදීන් විද්‍යාත්මක දෘෂ්ටිකෝණවලින් බලා ඒවා හරසුන් ගල්යුගයේ ඒවා යැයි පවසනු ඇසේ. විශේෂයෙන් නැකැත් සම්බන්ධයෙන් එම විවේචන දැඩිව එල්ල වේ. විද්‍යාත්මක වශයෙන් එම චාරිත්‍රවල ඇති වටිනාකම් නොමැතිවුවද සමාජවිද්‍යාත්මක හරයන් ඒ තුළ ගැබ්ව ඇති බව ඒ අනුකාරකවාදීන්ට නොපෙනේ. පෙනුණද ඒ පිළිබඳ කතා නොකරති.

සමාජවිද්‍යාත්මක වටිනාකම්

කුටුම්භයක් තුළ තත්ත්වය හා කාර්යභාරය යනුවෙන් කොටස් දෙකකි. ශ්‍රී ලාංකීය සමාජය පිය මූලික සමාජයක් වුවද, පවුලක පෝෂණය සිදුවූයේ මවගේ අතිනි. මවගේ අතිනි නිවසේ ළිප ගිනි මෙළෙවෙනුයේ. ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම වැනි චාරිත්‍ර මවගේ සහ පියාගේ කාර්යභාරය දරුවා වෙත සම්‍‍ප්‍රේෂණය කිරීමේ මගකි. සියල්ලෝම එකට වාඩිවී එකම වෙලාවක ආහාර අනුභව කරමින් පවුලේ සියලු සාමාජිකයන්ගේ ආදරය, සෙනෙහස එකට බෙදාහදා ගැනීමට අවස්ථාව අවුරුදු චාරිත්‍ර නිසා උදාවේ. එනිසා පවුල, සමාජය ශක්තිමත් කිරීමට අවුරුදු චාරිත්‍ර ඉවහල් වේ. මෙහි ඇති දේශපාලනික, සමාජමය වැදගත්කම සුවිශේෂීය. අද සමාජ පිළිල බවට පත්ව ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, කාන්තා හිංසනය වැනි දේ වැළැක්වීම උදෙසා වූ විවිධ වැඩසටහන් රාජ්‍ය මට්ටමින් සහ රාජ්‍ය නොවන මට්ටමින් ක්‍රියාත්මක වනු දැකිය හැක. එහෙත් ඒවායේ ඵලදායීතාව සැලකිය යුතු මට්ටමක නැත. එහෙත් අවුරුදු චාරිත්‍රවල ඇති සමාජ විද්‍යාත්මක බව පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, පෙර කී සමාජ ගැටලු යම් ප්‍රමාණයකට සමනය කරගත හැකිය. මක්නිසාද ඉහතින් කී ආකාරයට නීතිමය බැඳීමට වඩා සංස්කෘතිමය බැඳීම මිනිසා පාලනයට වඩා ඵලදායී නිසාය.

සිංහල සිරිත් විරිත් | www.thewoman.lk

 

නැකතට කිරි ඉතිරවීමේදී මව, පියා සහ දූ දරුවෝ ළිප වටා රොක්වෙති. කිරි ඉතිරවීම යනු පෙරදිග සංස්කෘතියේ සෞභාග්‍යයේ සංකේතයකි. පවුලේ සියල්ලෝම කිරි උතුරුවා තම නිවසට සෞභාග්‍යය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරති. කිරි ඉතිරිවෙන මොහොතේ සියල්ලන්ගේම මුවඟ නැගෙන්නේ සිනහවකි. මේ සිදුවීම මුළු රටේම එකම මොහොතක සිදුවේ. අතිධාවනකාරී සමාජයක් එකම මොහොතක එකම හැඟුමකින් සිනහසේ.

අලුත් අවුරුද්ද යනු නැවුම් බවින් යුත් සමයකි. සැම දේම අලුතෙන් සිතීමට, පටන් ගැනීමට පොළඹවන සමයකි. එහි ඇති සමාජ විද්‍යාත්මක වටිනාකමක් නම් නව ජීවන ඉලක්ක ලබාදීමයි. අප හැමදෙනාම නැතකට ලිප ගිනි මොළවා වැඩ ඇල්ලීමේදී නැවුම් හැඟුමකින්, බලාපොරොත්තුවකින් නව ඉලක්කයන් පිළිබඳ සිතමු. ජනවාරි මාසයේ වසර ආරම්භ කර සුබ නව වසරක් ලෙසින් සුපැතුම් පැතුවද ජීවන ඉල්ලකයන් නොඒ. නමුත් ඊළඟ සිංහල අවුරුද්ද එළැඹෙන විට අප සපුරාගත යුතු ඉලක්කයන් සම්බන්ධයෙන් මේ සිංහල අවුරුද්දේ සැලසුම් කරන්නෙමු. එය නව සූදානම්වීමකි. සිංහල අවුරුද්ද යනු ගෙවුණු සමයේ සිදුවූ වැරැදි නිවැරැදි කරගනිමින් ඉදිරිය සැලසුම් කිරීමේ කඩඉමකි.

සමාජානුයෝජනයට අවුරුදු චාරිත්‍රවල වැදගත්කම

සමාජානුයෝජනය යනු සමාජ අවස්ථාවන්වලට සුදුසු ආකාරයෙන් ගළපවා සැකසීමයි. දරුවන්ව සමාජානුයෝජනය කිරීමේදී පවුලේ භූමිකාව ඉතා වැදගත්ය. නමුත් වත්මන් පවුලේ සාමාජිකයන්ට එකට වාඩිවී කතාබහ කළ හැකි සමාජ වපසරියක් නොමැත. පවුලක ගැටුම් ඇතිවනුයේ තත්ත්වය හා කාර්යභාරය ව්‍යාකුල වූ විටය. ආදර්ශමත් ලෙසින් පවුලක තත්ත්වය හා කාර්භාරය බෙදීයාම සම්බන්ධයෙන් සංකේත සිංහල අවුරුදු චාරිත්‍රවල ගැබ්ව ඇත. එනිසා මවගේ පියාගේ කාර්යභාරය මෙන්ම, පවුලේ තම සහෝදර සහෝදරියන් අතර ඇති අන්තර් සබඳතාවත්, පවුලේ බැඳීම, තමාට පවුලේ හිමි කාර්යභාරය ගැන දැනුවත්භාවයක්ද අවුරුදු චාරිත්‍ර ඔස්සේ ලැබේ. එමගින් පවුල තුළ එකිනෙකාට පැවරුණු වගකීම් පිළිබඳ පණිවුඩ අවුරුදු චාරිත්‍ර තුළින් අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය වේ. එම දැනුවත්භාවය ඔස්සේ වැඩෙන දරුවා සමාජයට ගරු කරන්නෙක් බවට පත්වේ. පවුලේ සාමාජිකයන් එකිනෙකාට ගරු කරන තත්ත්වයක් තුළ ඔවුන් අතින් සමාජයට සිදුවන වැරැදි අවම වේ. සමාජයේ අනෙකුත් පුද්ගලයනුත් තම මව, පියා, සහෝදරයා, සහෝදරිය ලෙසින් දැකීමට ඔවුන් පුරුදු වේ. වත්මන් සමාජයෙන් ගිලිහී යමින් තිබෙන්නේ එයයි. සමාජය තුළ ඇත්තේ දුරස්ථ ආකල්පය. නමුත් අවුරුදු චාරිත්‍ර හැඟීම් ලෙසින් ඉටුවීමේදී එකිනෙකා අතර ඇති සංවේදීභාවය, ආදරණීය බව වැඩිවේ. අපිට අපි ආදරය කරන ඉසව්වක නතරකිරීමක් සිංහල අවුරුදු චාරිත්‍ර ඇසුරේ සිදුවේ. වත්මන් මිනිසාගේ බොහෝ කටයුතු ඉටුවනුයේ ද්විතීයික සබඳතා මතය. නමුත් අවුරුදු සමයේ ප්‍රාථමික සබඳතා තුළ නැතිනම් ‘අපි’ නමැති නවාතැනේ ටික දිනකට හෝ අපව නවතා තබයි. එය මනුෂ්‍ය ජීවිතයේ හොඳ ඉල්ලකයන් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසන්නකි. එමෙන්ම අනාගත පරපුරට සංස්කෘතිය පවරාදීමක් ද මෙමගින් සිදුවේ.

 

විස්තාරික පවුල් ලෙස අප අතීතයේ අපි අවුරුදු චාරිත්‍ර අත්වින්ඳෙමු. අවුරුදු ක්‍රීඩා කළෙමු. නමුත් අද වනවිට පවතිනුයේ න්‍යෂ්ටික පවුල්ය. එනිසා අවාසනාවකට වත්මන් පරපුරට එම අත්දැකීම් විරලය. නූතන තාක්ෂණිව ලොව හමුවේ වත්මන් පරපුර වල්මත්ව ඇති පසුබිමක මානව බැඳීම් දුරස්වෙමින් පවතී. ගම සහ පන්සල සමග තිබිය යුතු සබඳතාව දුරස්වෙමින් පැවැතීම නිසා කෘත්‍රීම මිනිසුන් බිහිවෙමින් තිබේ. පවුලක සීයා, ආච්චී භූමිකාව දරුවන් සමාජානුයෝජනය උදෙසා සිදුකරනුයේ විශාල බලපෑමකි. එනිසා අවුරුදු සමයේ හෝ තම දෙමාපියන් වෙත ගොස් දරුවන්ට ඔවුන්ගේ ආච්චී සීයා සමීප කිරීම යනු ළමා මනසට සුවදායී ඔසුවකි. එය ඔවුන්, තුළ මිහිරි මතකයන් ඉතිරිකරවන්නක් වනු ඇත. කටපාඩම් අධ්‍යාපනයෙන් මිදී මඳකට මනසට සුවයක් සැදීමට මේ අවුරුදු චාරිත්‍ර මගින් ඉටුකරනුයේ මහඟු සේවයකි. එකී මානසික විවේකය නව ජවයකින් දරුවන්ගේ ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පිටිබලයකි.

සංස්කෘතිය තුළ හිරවිය යුතුද?

අද අපේ මාධ්‍ය මගින් සිංහල අවුරුදු චාරිත්‍ර වෙළඳකරණයට ලක්කර ඇත. එය අවාසනාවන්ත තත්ත්වයකි. සිංහල අවුරුද්ද පූර්ණවීමට තිබිය යුතු දේ යැයි ජනමනසට මාධ්‍ය ඔස්සේ කා වද්දන සංකල්ප සුදුසු නැත. ඉන් අවුරුදු චාරිත්‍රවල ඇති සමාජමය වටිනාකම හෑල්ලුවට ලක්වේ. ගෙදරක අවුරුදු ඇතිකිරීමටත් නැතිකිරීමටත් අද මාධ්‍යය සමත්ය. නූතන සංවර්ධනයට සංස්කෘතිය බාධාවක් බවට ඇතැම්හු හුවා දක්වති. ලෝකයෙන් අපට ගැළපෙන දේ උකහා ගත යුතු බවත් පවසති. එහි වරදක් නැති නමුදු තම සංස්කෘතිය විනාශ කර ලොව ඉදිරියට ගිය ජාතීන්ට පැවැත්මක් නැත. ජපනුන්, චීන්නුන් ලොව බලවත් රාජ්‍යයන් බවට පත්වී ඇත්තේ තම අනන්‍යතාව නසාගෙන නොවේ. අවාසනාවකට වත්මනේ අපි ලොව හැම සංස්කෘතියකම කොටස් උකහා ගනිමින් එලොවටත් නැති මෙලොවටත් නැති සංස්කෘතියක් වැලඳගෙන ඇත්තෙමු. ඒ හමුවේ අපට අනන්‍යතාවය වල්වැදී ඇත. බටහිර රාජ්‍යයන් අපේ සංස්කෘතිය කුතුහලයෙන් අධ්‍යයනය කරද්දි අප එයට පයින් ගසන ගුණමකු ජාතියක් බවට පත්වෙමින් සිටිමු.

බුදුසරණ: විශේෂාංග | අලුත් අවුරුද්දට අලුත් සිතිවිලි

එනිසා සංස්කෘතිය අමතක කර ආර්ථික දියුණුවක් ළඟාකර ගත හැකි යැයි යමෙකු සිතනවා නම් එය සිහිනයකි. ඒ අර්ථයෙන් අපේ අවුරුදු චාරිත්‍රවලට කුඩම්මාගේ සැලකිලි දැක්වනවා නම් එය සිදුවිය යුත්තක් නොවේ. එය අපේ පරිහානිය ඉක්මන් කිරීමකි. අද අප භුක්ති විඳිමින් සිටිනුයේද එකී ප්‍රතිඵලයි. ඒ නිසාය අද පියවරුන් තම ලෙයින් වැදූ දියණිය දූෂණය කරනුයේ. ධාරක ප්‍රේමය පියවරුන් අතින් දුරස්වීමට හේතුවී ඇත්තේ අපේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අමතක කර නව ලොව අැරණලු දැකීමට යෑමෙනි. අපේ වටිනා චාරිත්‍ර වාරිත්‍ර හරහා මිනිසා සමාජානුයෝජනය නොකිරීමේ ප්‍රතිපලයි ඒ. වර්තමානයේද මේ අවුරුදු චාරිත්‍ර අමතක කර දමා පොතටම ළමා කාලය සීමා කිරීමට, ශිෂ්‍යත්වයට දරුවා හුරු කිරීමට එම දින යොදා ගන්නවා නම් ඔබෙන් ඔබේ දරුවා දුරස්වීම වළක්වාගත නොහැකි වනු ඇති බව සිහිතබා ගත යුතුය. එවැනි පරපුරකින් රටේ මානව බැඳීම් සංවර්ධනය නොවේ. එනිසා අවුරුදු චාරිත්‍ර නව පරම්පරා වෙත සම්ප්‍රේෂණය කිරීමේ වගකීම තිබෙනුයේ වත්මන් දෙමාපියන්ටය. එහිදී මාධ්‍යයට විශාල වගකීම්ක් පැවරේ.

අපේ අවුරුදු චාරිත්‍රවලින් වැඩගන්නේ බහුජාතික සමාගම්

වත්මන් මාධ්‍ය තුළ සාම්ප්‍රදායික ජනක්‍රීඩා අමතකර දැමූ නවීන වූ ක්‍රීඩා ඇතුළත් අවුරුදු ක්‍රීඩා දැකිය හැකිය. අපේ සාම්ප්‍රදායික ක්‍රීඩාවන් තුළ සාමූහිකත්වය, ජය පරාජය විඳ දරා ගැනීමේ ශක්තිය උගන්වයි. ඒවා තුළ ඇති අපේකම අද ටෙලිවිෂනයේ දකින අවුරුදු ක්‍රීඩාවලට නැත. ඇතත් ඒ සෑම ක්‍රීඩාවකටම වෙළඳ වටිනාකමක් ආරෝපණය කර ඇත. අපේ අවුරුදු චාරිත්‍රවල වටිනාකම් බහුජතික සමාගම් අලෙවිකරමින් සිටී. රූපවාහිනී නාලිකා හොඳම අවුරුදු උත්සවය පවත්වන්නට තරග කරයි. ඊට යොදා ගනුයේ නළු නිළියන්ය. ගායකයන්ය. දේශපාලනඥයන්ය. එවැනි දේ දකින දුවා දරුවා අනුකාරකවාදියෙක් බවට පත් වේ. ඔවුන් අවුරුදු උත්සවයක් යැයි සිතනුයේ එවැනි කැරොල් උත්සවය. අපේ සංස්කෘතිය පවරාදීමක් නොව අපේ සංස්කෘතිය පාවාදීමකි එවැනි දේ නිසා සිදුවනුයේ. එවැනි අවුරුදු උත්සව තුළ ඇත්තේ කෘතීම බවකි.

අපි එදා ජන ක්‍රීඩා කළේ 'සෙල්ලමට' ද? - Aruna

එනිසා මාධ්‍යය වගකීම නියම ලෙස වටහාගත යුතුය. අපට අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දායක වූයේ අපට පෙර පරම්පරාවෙනි. ඒවා අපට, සමාජයට කියාදුන් වියත් වැඩිහිටි පරපුර තවමත් මෙරට ජීවමානය. ඔවුන් හරහා මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල ඇති සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීමට මාධ්‍යයෙන් කළ හැකි මෙහෙවර සුවිශේෂීය.

අවුරුදු උදාවත් සමග ජනාකීර්ණ වූ අග නගරය පාළු ස්වභාවයක් උසුලයි. තම රැකියා පහසුව සඳහා කොළඹ නගරයේ ස්ථානගත වූවන් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට ගම් බිම් බලා ගොස් ඇති බව ඉන් පිළිබිඹු වන බව බොහෝ දෙනා සිතති. නමුත් නිවැරැදි සමීක්ෂණයකින් සොයා බැලුවහොත් සත්‍ය එය නොවේ. ඔවුන් ඇතැම් විට අවුරුදු සමයේ නිවාඩු ගතකරනුයේ නිවාඩු නිකේතනවල නැතිනම් ලොකු තරු හෝටල්වලය. අවුරුදු සමයේ එම හෝටල්වල කෙතරම් කාමර ප්‍රමාණයක් ඇනවුම්ව වී ඇතිදැයි පරීක්ෂා කිරීමෙන් මේ තත්ත්වයේ සත්‍යතාව සොයා බැලිය හැකිය. එනිසා සමාජයේ සියලු දෙනා මේ අවුරුදු චාරිත්‍රවල අගය හඳුනාගෙන නැති බව පැහැදිලිය.

•සංවාද සටහන ලක්මාල් බෝගහවත්ත