brand logo
logo

අරගලකරුවන්ට බිය වූ ආයතන ප්‍රධානීන් එළියට

16 August 2022

ආයතන ප්‍රධානීන් ගැන ආණ්ඩුව ගත් තීරණය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා සේවයෙන් ඉවත් කිරීම් පසුගිය කාලයේ සිදුකර ඇත්තේ අරගලකරුවන්ට බිය වී සිටි රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීම නිසා බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජූලි නව වන දිනෙන් පසු විදේශගත වීම සඳහා ගුවන් යානා ලබාදීම ප්‍රමාද කළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. හිටපු ජනාධිපතිවරයාට විදේශ ගතවීම සඳහා වීසා ලබාදීම ප්‍රමාද කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුද ඉවත් කර ඇත. සේවා දිගුවක් සහිතව රාජකාරි කළ ඔහු විශ්‍රාම ගොස් ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. අරගලයට පැමිණි පිරිස්වල බල කිරීම් මත දුම්රිය ධාවනයට අවසර ලබාදීම හා සේවා සැපයීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානියකුටද ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ගමන් මලු පරීක්ෂා කර නිදහස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා රේගු ප්‍රධානියකුද තනතුරෙන් ඉවත් කර තිබේ. එලෙස ඉවත් කළ හා ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් පහළ නිලධාරීන්ගේ හා අරගලකරුවන්ගේ බලපෑම් මත රාජකාරි පැහැර හැර ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. ඉදිරියේදී ආයතන ප්‍රධානීන් නිසි ලෙස රාජකාරි කිරීම සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ආණ්ඩුව ගෙන ඇත. උදයජීව ඒකනායක
 

More News..